දිනකට අමතර කැලරි 700 ක් දහනය කරන ශාරීරික ක්‍රියාකාරකම්

දිනකට අමතර කැලරි 700 ක් දහනය කරන ශාරීරික ක්‍රියාකාරකම්

ඔබගේ ඉලක්කය දිනකට අමතර කැලරි 700 ක් දහනය කිරීම නම්, දින 6 කදී ඔබේ බර ග්‍රෑම් 500 කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩුවනු ඇත. එනම්, දින 6 කදී අමතර කැලරි 4200 ක් දහනය වන අතර, එහිදී ඔබේ බර ග්‍රෑම් 540 කින් අඩුවිය යුතුය. බර අඩුකරගැනීම සඳහා යොදාගත හැකි සාර්ථක ක්‍රමවේදයක් ලෙස, අමතර මේද දහනය ඉලක්ක කරගනිමින් ශාරීරික ක්‍රියාකාරකම් ප්‍රමාණය වැඩිකිරීම දැක්විය හැක. දිනකට අමතර කැලරි 700 ක් දහනය කිරීම සඳහා යොදාගත හැකි ශාරීරික ක්‍රියාකාරකම් වල තීව්‍රතාවය (Intensity) මදක් වැඩිය. ඕනෑම ව්‍යායාම වැඩසටහනක් ආරම්භ කරන විට මෙන්, මෙහිදීද ශාරීරික ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට පෙර වෛද්‍යවරයෙකු සමග සාකච්ඡා කිරීම සුදුසු වේ. තවද, ඔබට එකවර සම්පූර්ණ ව්‍යායාම වැඩසටහන කලනොහැකි නම්, දවසකට කොටස් දෙකක් ලෙස කිරීමද කලහැක.

 

ලණු පැනීම (Jump rope)

ලණු පැනීමේදී විශාල කැලරි ප්‍රමාණයක් දහනය වේ. ඔබේ බර කිලෝග්‍රෑම් 65 ක් වේ නම්, පැයක කාලයක් ලණු පැනීම සිදුකලහොත් අමතර කැලරි 720 ක් පමණ දහනය වේ. ඔබේ බර කිලෝග්‍රෑම් 65 කට වඩා වැඩිනම්, මෙම ශාරීරික ක්‍රියාකාරකම සිදුකිරීම මගින් එම ප්‍රමාණයට වඩා කැලරි දහනය වීමක් සිදුවන අතර, ඔබේ බර කිලෝග්‍රෑම් 65 කට වඩා අඩුනම්, කැලරි 720 කට වඩා අඩු ප්‍රමාණයක් දහනය වීම සිදුවේ. ලණු පැනීම, ලණුවක් සහිතව මෙන්ම, ලණුවක් රහිතවද කලහැක. එමෙන්ම, පාද තබන ආකාරයද වරින් වර වෙනස්කල හැක. එනම්, පැත්තෙන් පැත්තට පැනීම, ඉදිරියට සහ පසුපසට පැනීම ආදී වශයෙන් ඔබ කැමති විවිධ ක්‍රම අනුගමනය කලහැක.

 

දිවීම

දිවීම යනු කෙටි කාලයකදී වැඩි අමතර කැලරි ප්‍රමාණයක් දහනය කලහැකි, තීව්‍රතාවය මදක් වැඩි ශාරීරික ක්‍රියාකාරකමකි. ඔබගේ බර කිලෝග්‍රෑම් 74 ක් නම්, පැයට කිලෝමීටර් 17.5 ක වේගයෙන් එනම්, සෑම විනාඩි 3.4 කටම කිලෝමීටරය බැගින් වේගයෙන් දුවන්නේ නම්, විනාඩි 30 කින් කැලරි 707 ක් පමණ දහනය වේ. නමුත්, මෙහි වේගය තරමක් වැඩිය. එමනිසා වේගය අඩුකර පැයකට කිලෝමීටර් 8.8 ක පමණ වේගයෙන් එනම්, සෑම විනාඩි 6.8 කටම කිලෝමීටරය බැගින් වේගයෙන් පැයක කාලයක් දුවන්නේ නම්, කැලරි 740 ක් පමණ දහනය වේ.

 

වෙනත් විකල්ප

බර අඩුකරගැනීමට නම්, දිනපතා අමතර කැලරි දහනය කරගැනීම වැඩිකල යුතුවේ. ඒ සඳහා ඔබට අවශ්‍ය වන්නේ තීව්‍රතාවය අඩු ශාරීරික ක්‍රියාකාරකම් යොදාගැනීම නම්, ඇවිදීම හොඳ විකල්පයක් ලෙස දැක්විය හැක. ඔබේ බර කිලෝග්‍රෑම් 72 ක් නම්, විනාඩි 80 ක් ඇවිදීමෙන් කැලරි 700 ක් පමණ දහනය වේ. නැතහොත්, විනාඩි 68 ක් පිහිනීමෙන් කැලරි 700 ක් දහනය කරගත හැක. විනාඩි 105 ක් එක දිගට ගෙවත්තේ වැඩකලහොත්, එම කැලරි ප්‍රමාණයම දහනය කරගත හැක. ඔබ බයිසිකල් පැදීමට කැමති නම්, පැයට කිලෝමීටර් 16 ක වේගයෙන් විනාඩි 96 ක් බයිසිකල් පැදීමෙන් කැලරි 700 ක් පමණ දහනය වේ. මෙසේ අමතර කැලරි දහනය කරගැනීමට යොදාගත හැකි ව්‍යායාම හෝ ශාරීරික ක්‍රියාකාරකම් වල සීමාවක් නොමැත. එමනිසා, ඔබට විනෝද වියහැකි, පහසුවෙන් කලහැකි, සහ ඔබව දවස පුරා සක්‍රීයව තබන ශාරීරික ක්‍රියාකාරකමක් තෝරාගැනීමට නිදහස ඇත.

 

(ඡායාරූප අනුග්‍රහය: Steven Depolo)

 

සබැඳි ලිපි:

බර අඩුවීම සඳහා දවසකට කොපමණ ව්‍යායාම කල යුතුද?
ව්‍යායාම වලදී දහනය වන කැලරි ප්‍රමාණය ගණනය කරන්නේ කෙසේද?
අමතර මේදය දහනය කිරීමේ මූලධර්ම කිහිපයක් දැනගනිමු.
ඔබ කොපමණ ඉක්මනින් බර අඩුකරගත යුතුද?

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දිනකට අමතර කැලරි 700 ක් දහනය කරන ශාරීරික ක්‍රියාකාරකම්" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*