කෝපි වලට වඩා හරිත තේ පානය කිරීමෙන් ඇතිවන වාසි මොනවාද?

කෝපි වලට වඩා හරිත තේ පානය කිරීමෙන් ඇතිවන වාසි මොනවාද

තේ සහ කෝපි යනු ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය පානයන් දෙකක්. සැබැවින්ම, ඒවා ශ්‍රී ලාංකීය සංස්කෘතියේ අංගයක් වී හමාරය. ජලය හැරුණුකොට තේ සහ කෝපි යනු අප අතර ජනප්‍රියම පානයන් දෙක යැයි කිවහොත්, එය නිවැරදිය. සාමාන්‍ය තේ පරිභෝජනයට වඩා හරිත තේ (Green tea) පරිභෝජනය සාපේක්ෂව අඩුවුවත්, හරිත තේ පානය කිරීම ශ්‍රී ලංකාව තුළ ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් පවතී. කෝපි වෙනුවට හරිත තේ පානය කිරීමට යොමුවීමෙන් අත්වන වාසි, එහි අඩංගු කැෆේන් (Caffeine) ප්‍රමාණය, ආම්ලිකතාවය, සහ මුක්ත ඛණ්ඩක (Free radicals) නැමැති අධි ක්‍රියාකාරී අණු විශේෂයක් හටගන්නා අතර, එම අණු වලින් ශරීරයේ සෛල වලට හානි සිදුවේ. එමනිසා, ප්‍රතිඔක්සිකාරක ශරීරයේ සෛල ආරක්ෂා කරයි.’>ප්‍රතිඔක්සිකාරක (Antioxidants) හා සම්බන්ධ වේ.

 

කැෆේන් ප්‍රමාණය අඩුවීම.

කෝපි සහ තේ පානය කිරීම සාමාන්‍ය පුරුද්දක් බවට පත්වීමට හේතුව, ඒවායේ අඩංගු කැෆේන් වල ඇති ඇබ්බැහි වීමේ ගුණයයි. යම් පානයකට කිරි හෝ සීනි එක්කිරීමෙන් ශරීරයට ලැබෙන ශක්තිය වැඩිවුවත්, කැෆේන් මගින් අමතර ශක්තියක් නොලැබේ. නමුත්, කැෆේන් මගින් අපගේ ස්නායු උත්තේජනය කරන බැවින් මොළයේ ක්‍රියාකාරීත්වය මදක් වැඩිවේ. එමගින්, සැලකිය යුතු ප්‍රමාණයකින් අවධානය ඉහළ යන අතර, බුද්ධිය ආශ්‍රිත ක්‍රියාකාරීත්වයද මද පමණින් ඉහළ යන බව සොයාගෙන ඇත. කෙසේ වුවත්, කැෆේන් වල ඇති අවාසි වන්නේ ඇබ්බැහිවීම, හිසරදය, නොසන්සුන් ස්වභාවය, අනිසි බිය (Anxiety), සහ නින්ද නොයාමය. වැඩිහිටියෙකුට දිනකට ගතහැකි උපරිම කැෆේන් ප්‍රමාණය මිලිග්‍රෑම් 500 ක් බව පර්යේෂකයන්ගේ අදහසයි. කෝපි වල අඩංගු වන කැෆේන් ප්‍රමාණය වෙනස්වන සුළු අතර, සාමාන්‍යයෙන් කෝපි කෝප්පයක කැෆේන් මිලිග්‍රෑම් 200 ක් පමණ අඩංගු වියහැක. නමුත්, එම පරිමාවම ඇති හරිත තේ කෝප්පයක අඩංගු වන්නේ කැෆේන් මිලිග්‍රෑම් 40 කටත් වඩා අඩුවෙනි. එමෙන්ම, හරිත තේ වල L-තියනින් (L-theanine) නම් වූ ඇමිනෝ අම්ලයක් අඩංගු වන අතර, එය කැෆේන් වලින් ඇතිවන ඇතැම් අවාසි සහගත තත්ත්වයන් අවම කරන බවට සාධක පවතී.

 

ආම්ලිකතාවය අඩුවීම

කෝපි වල අඩංගු කැෆේන් මගින් ඔබ තුළ කලබලකාරී ස්වභාවයක් ඉස්මතු කරන අතරම, කෝපි වල ඇති ආම්ලිකතාවය නිසා උදරයේ අපහසුතාවයක් සහ වේදනාවක් ඇතිවීම සිදුවිය හැක. එමෙන්ම, කෝපි වල ආම්ලික ස්වභාවය සහ තිත්ත රස ඇතිකිරීමට හේතුවන ක්ලෝරොජෙනික් අම්ලය (Chlorogenic acid), ඇලිෆැටික් අම්ලය (Aliphatic acid), සහ ටැනින් (Tannin) වැනි රසායන ද්‍රව්‍යයන්ද අඩංගු වේ. එමනිසා, සාමාන්‍යයෙන් කෝපි වල pH අගය 5 කට ආසන්න වේ. නමුත්, හරිත තේ වල pH අගය 7 කට වඩා වැඩිය. එනම්, හරිත තේ කෝපි වලට සාපේක්ෂව ආම්ලිකතාවයෙන් අඩුය. ආම්ලිකතාවයට අමතරව, කෝපි වල ආහාර ජීර්ණ පද්ධතියේ අපහසුතා සහ මළපහ කිරීමට අපහසුතා ඇතිකරන වෙනත් සංඝටක ගණනාවක්ම පවතී. සෑම දෙනෙක්ම එකලෙස ප්‍රිය නොකලත්, හරිත තේ වැනි සාපේක්ෂව භාෂ්මික වන පානයන් ගැනීම, ආම්ලිකතාවයකින් යුතු කෝපි පානය කරනවාට වඩා ඔබේ ආමාශයට අපහසුතා ඇතිවීම අවම කිරීමට හේතුවක් වේ.

 

ප්‍රතිඔක්සිකාරක වැඩිපුර අඩංගුවීම

කෝපි ඇට සහ තේ කොළ යන දෙකෙහිම සෞඛ්‍ය ප්‍රතිලාභ ඇතිකරන ප්‍රතිඔක්සිකාරක අඩංගු වන මුත්, හරිත තේ වල අඩංගු ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණය කෝපි වලට සාපේක්ෂව වැඩිය. මෙම ප්‍රතිඔක්සිකාරක, ඔබේ හෘදයේ සහ රුධිර වාහිනී වල සෞඛ්‍යයට බෙහෙවින් වැදගත් වේ. මක්නිසාද, රුධිර වාහිනී ඇතුළු ශරීරයේ වෙනත් පටක වලට හානි සිදුකරන මුක්ත ඛණ්ඩක (Free radicals) නැමැති රසායන ද්‍රව්‍යයන් නිෂ්ක්‍රීය කර විනාශ කරන්නේ මෙම ප්‍රතිඔක්සිකාරක මගිනි. ඒ අතරින් හරිත තේ වල අඩංගු ප්‍රබලම ප්‍රතිඔක්සිකාරකයක් වන එපිගැලොකැටෙචින් ගැලේට් (Epigallocatechin gallate or EGCG) නැමැති පොලිෆීනෝල් (Polyphenol) කාණ්ඩයට අයත්වන ප්‍රතිඔක්සිකාරකය ඇතැම් පිළිකා වර්ග හටගැනීම වැළැක්වීමට සමත් බව පර්යේෂණ මගින් පෙනීගොස් ඇත.

 

වෙනත් වාසි

කෝපි වෙනුවට හරිත තේ පානය කිරීමෙන් අයත්වන තවත් වාසි ගණනාවකි. ඒ අතර මුඛයෙන් දුඟද පිටවීම අවමවීම, ශරීරයේ පරිවෘත්තීය සීඝ්‍රතාවය (Metabolic rate) වැඩිවීම, අමතර මේදය දහනය වීම, ප්‍රතිශක්තිය ඉහළයාම, මතකය වැඩිදියුණුවීම, මොළය තුළ රුධිර සංසරණය වැඩිදියුණුවීම, ඇතැම් රෝග වැළඳීමට ඇති අවදානම අඩුවීම, ආත්‍රයිටිස් (Arthritis) වැනි ප්‍රදාහ රෝග (Inflammatory diseases) නිසා ඇතිවන වේදනාවන් අඩුවීම වැනි සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ඇත.

 

(ඡායාරූප අනුග්‍රහය: ponafotkas)

 

සබැඳි ලිපි:

හරිත තේ (Green Tea) ගුණයිද?

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "කෝපි වලට වඩා හරිත තේ පානය කිරීමෙන් ඇතිවන වාසි මොනවාද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*