දරුවාට බඩේ කැක්කුමක් හැදුනොත් කුමක් කලයුතුද?

දරුවාට බඩේ කැක්කුමක් හැදුනොත් කුමක් කලයුතුද?

කුඩා දරුවන් අතර බඩේ කැක්කුම යනු තරමක් සුලභ රෝග ලක්ෂණයකි. තම දරුවාට බඩේ කැක්කුමක් සෑදුනු විට දෙමව්පියන් තරමක් කලබල වී වෛද්‍ය උපදෙස් ලබාගැනීමට කටයුතු කිරීම සාමාන්‍යයෙන් දක්නට ලැබෙන දෙයකි. දරුවාගේ බඩේ කැක්කුමක් හෙවත් උදරයේ වේදනාවක් හටගැනීමට හේතුවිය හැකි සාධක ගණනාවක් පවතී. ඒ අතර උදරයේ වාතය පිරීම, ආතතිය නිසා ඇතිවන මළ බද්ධය, පමණ ඉක්මවා ආහාර අනුභව කිරීම, හෝ බඩේ අජීරණයක් වැනි හේතුවක් පැවතිය හැක. ඇතැම් විට, ශරීරයේ වෙනත් කොටසක වේදනාවක් හටගැනීම නිසා දරුවාට බඩේ කැක්කුමක් ඇතිවන අවස්ථාද දැකිය හැක.

 

බඩේ කැක්කුම සමග ඇතිවිය හැකි වෙනත් රෝග ලක්ෂණ මොනවාද?

  • වමනය
  • ඔක්කාරය
  • දියර ලෙස මළපහ පිටවීම
  • මළ බද්ධය
  • උගුරේ වේදනාව
  • පපුවේ හෝ උදරයේ ඉහළ ප්‍රදේශයේ දැවිල්ලක් හටගැනීම
  • උණ
  • බඩ පුරවා දැමීම
  • බඩ පෙරළෙන ස්වභාවයක් දැනීම
  • මුත්‍රා පහකිරීමේදී වේදනාවක් හෝ දැවිල්ලක් හටගැනීම, නැතහොත් මුත්‍රා පිටකරන වාර ගණන වැඩිවීම.

 

ඔබේ දරුවාට උදරයේ වේදනාවක් ඇතිවුන විට වෛද්‍ය උපදෙස් ලබාගත යුතු අවස්ථා මොනවාද?

ඔබේ දරුවාට උදරයේ වේදනාව සමග පහත ලක්ෂණ එකක් හෝ ඇත්නම්, වෛද්‍ය උපදෙස් ලබාගැනීමට කටයුතු කරන්න.

  • උදරයේ වේදනාව වරින් වර ඇතිවීම.
  • උදරයේ වේදනාව ක්‍රමයෙන් උත්සන්න වීම.
  • දැඩි උදරයේ වේදනාවක් ඇතිවීම.
  • උදරයේ වේදනාව දරුවාගේ නාභිය අසලින් ආරම්භ වී, පසුව උදරයේ දකුණු පස පහළ ප්‍රදේශයට ගමන්කිරීම.
  • වේදනාව නිසා ඇවිදීමට අපහසුවීම.
  • උදරයේ වේදනාව සමග දිගටම වමනය පැවතීම.
  • දරුවා විජලණය වූ ස්වභාවයක් ගැනීම.
  • මළපහ පිටනොවීම හෝ පිටකිරීමට අපහසුවීම.
  • මළපහ සමග රුධිරය පිටවීම හෝ තද කළු පැහැයට මළපහ පිටවීම.
  • දවසකට, දෙකකට වඩා ආහාර අරුචිය පැවතීම.
  • මුත්‍රා පහකිරීමේදී දැවිල්ලක් හෝ වේදනාවක් ඇතිවීම, නැතහොත් දරුවා මුත්‍රා පිටකරන වාර ගණන වැඩිවීම.

 

දරුවාට උදරයේ වේදනාව ඇතිවීම වළක්වා ගන්නේ කෙසේද?

පහත සඳහන් උපක්‍රම මගින් ඔබේ දරුවාට උදරයේ වේදනාවක් හටගැනීම වළක්වාගැනීමට හෝ අවම කරගැනීමට හැකියාව ලැබේ.

  • දරුවා පමණ ඉක්මවා ආහාර ගැනීමෙන් වළක්වන්න.
  • දරුවා නින්දට යාමට වහා පෙර ආහාර ගැනීමෙන් වළක්වන්න.
  • දරුවා ආහාරපාන ගැනීමට භාවිතා කරන පිඟන්, කෝප්ප, හැඳි ආදිය වෙනත් අය භාවිතා කිරීමෙන් වළකින්න.
  • දරුවාට ප්‍රමාණවත් අයුරින් දියර ලබාදෙන්න.
  • දරුවාට තන්තු බහුල පළතුරු සහ එළවළු නිතර ලබාදෙන්න.
  • තෙල් සහිත ආහාර ලබාදීම අවම කරන්න.
  • දරුවා ඇතුළු නිවසේ සැවොම හොඳින් අත් සේදීමට හුරුවන්න. විශේෂයෙන්, ආහාර ගැනීමට පෙර සහ වැසිකිලි, කැසිකිලි යාමෙන් පසුව සබන් යොදා හොඳින් අත් සෝදන්න.
  • දරුවාට හොඳින් නිදාගැනීමට ඉඩ සලස්වන්න.
  • දරුවා සමග හොඳින් කතාකරමින්, ඔහුගේ හෝ ඇයගේ සිතේ පවතින ගැටළු හෝ ආතතිය මගහැරවීමට කටයුතු කරන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Sudipta Mallick)

 

සබැඳි ලිපි:

ඔබේ දරුවාට අත් සේදීමට පුරුදු කලයුත්තේ ඇයි?
ඔබේ දරුවාට උණ සෑදුන විට කුමක් කලයුතුද?
කුඩා දරුවන්ට වැළඳෙන ආසාදන වලක්වා ගන්නේ කෙසේද?
දරුවාගේ මළ බද්ධය සුව කරගන්නේ කෙසේද?
දරුවාට බඩේ අජීරණයක් සෑදුන විට කුමක් කරමුද?

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දරුවාට බඩේ කැක්කුමක් හැදුනොත් කුමක් කලයුතුද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*