සිසේරියන් සැත්කම සිදුකරන්නේ ඇයි?

සිසේරියන් සැත්කම සිදුකරන්නේ ඇයි

සිසේරියන් සැත්කම (Cesarean delivery or C-section) යනු ගර්භණී මවගේ උදර බිත්තියේ සහ ගර්භාෂයේ සිදුකරන කැපුමක් තුලින් දරුවෙකු බිහිකිරීමට සිදුකරන සැත්කමකි. ඇතැම් ගර්භණී මව්වරුන්ට සාමාන්‍ය දරු ප්‍රසූතියක් සිදුකිරීම නුසුදුසු වන අවස්ථා වලදී, ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු මෙම සැත්කම නිර්දේශ කිරීම සිදුකරයි. බොහෝවිට එසේ කිරීමට හේතුව වන්නේ ගර්භණී අවධියේදී ඇතැම් සංකූලතා පැවතීම, සාමාන්‍ය දරු ප්‍රසූතියක් සිදුකලහොත් සංකූලතා ඇතිවීමේ අවදානමක් පැවතීම, සහ පෙර දරු ප්‍රසූතියක් සිසේරියන් සැත්කමකින් සිදුකර තිබීම වැනි සාධකයි. ශ්‍රී ලංකාවේ සිදුකරන දරු උපත් අතරින් ආසන්න වශයෙන් 1/3 ක් පමණ සිසේරියන් සැත්කම මගින් සිදුකිරීමට අවශ්‍ය වේ. සාමාන්‍යයෙන්, සිසේරියන් ශල්‍යකර්මය සඳහා ගතවන්නේ පැයකටත් වඩා අඩු කාලයක් වන අතර, ශ්‍රී ලංකාවේ බොහොමයක් මූලික රෝහල් වල සහ ඉන් ඉහළ මට්ටමේ රෝහල් වල මෙම සැත්කම සිදුකිරීමට පහසුකම් ඇත.

සිසේරියන් සැත්කම සිදුකරන ආකාර දෙකකි.

  • පූර්ව සැලසුම් කල සිසේරියන් ශල්‍යකර්මය

සාමාන්‍ය දරු ප්‍රසූතියක් සිදුකලහොත් ගැටළුකාරී තත්ත්වයක් ඇතිවීමට හේතුවන ඇතැම් සංකූලතා සහ තත්ත්වයන් දැනට පැවතීම හෝ සාමාන්‍ය දරු ප්‍රසූතියක් සිදුකලහොත් සංකූලතා ඇතිවීමට වැඩි අවදානමක් පැවතීම වැනි සාධක ඇති බවට වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන ඉදිරි දිනයකදී සිසේරියන් ශල්‍යකර්මය සිදුකිරීමට මෙහිදී නියම කරනු ලැබේ.

  • හදිසි සිසේරියන් ශල්‍යකර්මය

සාමාන්‍ය දරු ප්‍රසූතියකට හෝ පූර්ව සැලසුම් කල සිසේරියන් ශල්‍යකර්මයකට සූදානම් කල ගර්භණී මවකට හෝ දරුවාට යම් සංකූලතාවයක් ඇතිවුවහොත්, හදිසි සිසේරියන් ශල්‍යකර්මයකට භාජනය කිරීමට සිදුවිය හැක. එමගින්, අදාළ සංකූලතාවය නිසා දරුවාට හෝ මවට සිදුවිය හැකි හානි අවම කරගැනීම සිදුකරයි.

ඇතැම් විට සිසේරියන් ශල්‍යකර්මය සිදුකිරීම, සාමාන්‍ය දරු ප්‍රසූතියක් සිදුකරනවාට වඩා ගර්භණී ඔබට මෙන්ම දරුවාටද ආරක්ෂාකාරී වන අවස්ථා පවතී.

 

සිසේරියන් සැත්කම නිර්දේශ කිරීම සිදුවිය හැකි අවස්ථා මොනවාද?

 

  • සාමාන්‍ය දරු ප්‍රසූතිය සඳහා සූදානම් කල මවකගේ ප්‍රසූතියෙහි නිසි ප්‍රගතියක් නොපෙන්වීම.

සාමාන්‍ය දරු ප්‍රසූතිය සිදුවීම අතරමග නතරවීම, සිසේරියන් සැත්කම සිදුකිරීමට වඩාත්ම බලපාන හේතූන් අතරින් එකක් වේ. පැය කිහිපයක් තිස්සේ ගර්භණී මවගේ ගර්භාෂය දැඩිව සංකෝචනය වනවිට පවා ගැබ්ගෙල සාමාන්‍ය දරු ප්‍රසූතියක් සිදුකිරීමට ප්‍රමාණවත් අයුරින් විවෘත නොවීම එක් හේතුවක් වේ. ඇතැම් විට, දරුවාගේ හිස ගැබ්ගෙල ඔස්සේ ගමන් කිරීමට අපහසු වන තරම් විශාලවීම තවත් හේතුවක් ලෙස දැක්විය හැක.

 

  • කුස තුළ සිටින දරුවාට ප්‍රමාණවත් ලෙස ඔක්සිජන් නොලැබීම.

දරුවාට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ නොලැබෙන විට දරුවාගේ හෘද ස්පන්දනය වෙනස් වන අතර, එය හඳුනාගන්නා වෛද්‍යවරයා සිසේරියන් සැත්කමක් සිදුකිරීම හොඳම විකල්පය ලෙස තෝරාගනු ඇත.

 

  • කුස තුළ සිටින දරුවා හෝ දරුවන් අසාමාන්‍ය පිහිටීමක හෝ ඉරියව්වක සිටීම.

මවගේ ගැබ්ගෙලට මුලින්ම ඇතුළුවන පරිදි දරුවාගේ පාද, තට්ටම්, හෝ උරහිස පිහිටීම හෝ දරුවාගේ ශරීරයේ පැත්තක් ගැබ්ගෙල හරහා පිහිටීම සිදුවන අවස්ථා වලදී දරුවා බිහිකිරීමට සුදුසුම ක්‍රමය සිසේරියන් සැත්කම වියහැක. ගර්භාෂය තුළ දරුවන් දෙදෙනෙකු හෝ එයට වැඩි ගණනක් සිටින විට, එක් දරුවෙක් හෝ එයට වැඩි ගණනක් අසාමාන්‍ය පිහිටීමක සිටීමට ඉඩකඩ වැඩිවේ.

 

  • ගැබ තුළ දරුවන් කිහිපදෙනෙක් සිටීම.

ගර්භාෂය තුළ දරුවන් කිහිපදෙනෙක් සිටින විට, දරු ප්‍රසූතිය නිසි කලට පෙර සිදුවෙමින් පවතී නම් හෝ වෙනත් ගැටළු පවතී නම්, සිසේරියන් ශල්‍යකර්මයක් සිදුකිරීමට අවශ්‍ය වියහැක.

 

  • වැදැමහ ගැටළුකාරී ලෙස පිහිටීම.

මවගේ ගැබ්ගෙල වැසෙන සේ වැදැමහ පිහිටීම හෙවත් ප්‍රස්ථිත අපරාව (Placenta previa) නැමැති තත්ත්වය පැවතීම සිසේරියන් සැත්කමකින් දරුවා බිහිකිරීමට හේතුවකි.

 

  • පෙකණිවැල සම්බන්ධ ගැටළු පැවතීම.

දරුවාට පෙර ගැබ්ගෙල හරහා පෙකණිවැලෙහි පුඩුවක් ඇතුළුවීම, ගර්භාෂයේ සිදුවන සංකෝචන මගින් පෙකණිවැල තෙරපී අවහිරවීම, හෝ පෙකණිවැල දරුවාගේ ගෙලවටා එතී පැවතීම, හදිසි සිසේරියන් සැත්කමකින් දරුවා බිහිකිරීමට හේතූන් ලෙස දැක්විය හැක.

 

  • මවට පවතින ඇතැම් සෞඛ්‍ය ගැටළු සහ රෝග

මවට ඇතැම් හෘද රෝග හෝ අධික රුධිර පීඩනය පැවතීම සිසේරියන් සැත්කමක් සිදුකිරීමට හේතුවේ. ඒ අතරින් අධික රුධිර පීඩනය පැවතීම, හදිසි සිසේරියන් ශල්‍යකර්මයක් සිදුකිරීමට හේතුවකි. මවට ඒඩ්ස් (HIV) හෝ ලිංගාශ්‍රිත හර්පීස් රෝගය (Genital herpes) වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (Sexully-transmitted diseases or STDs) පැවතුනහොත්, සාමාන්‍ය දරු ප්‍රසූතියකදී දරුවාට එවැනි රෝග බෝවීමට වැඩි අවදානමක් පවතින බැවින් සිසේරියන් සැත්කමකින් දරුවා බිහිකිරීමට නිර්දේශ කෙරේ.

 

  • සාමාන්‍ය දරු ප්‍රසූතියට අවහිරතා පැවතීම

මවගේ ගර්භාෂයේ ගැබ්ගෙල අවහිර වන පරිදි තන්ත්වාභ හෙවත් ෆයිබ්‍රොයිඩ් (Fibroid) නැමැති විශාල ගෙඩියක් පැවතීම, ශ්‍රෝණියේ හැඩය සැලකිය යුතුලෙස වෙනස්වන පරිදි උකුල් අස්ථි බිඳීමට ලක්වීම, හෝ දරුවාට අසාමාන්‍ය ලෙස විශාල හිසක් පැවතීම (Hydrocephalus) සිසේරියන් සැත්කමකට යොමුවීමට හේතුවිය හැක.

 

  • පෙර දරු ප්‍රසූතියක් සිසේරියන් සැත්කමකින් සිදුකර තිබීම

උදර බිත්තියේ සහ ගර්භාෂයේ මින් පෙර සිදුකර ඇති කැපුමේ ස්වභාවය සහ අනෙකුත් සාධක මත ඔබේ වෛද්‍යවරයා සාමාන්‍ය දරු ප්‍රසූතියක් සිදුකිරීමට උත්සාහ කිරීමට ඉඩ තිබේ. ඇතැම් අවස්ථා වලදී ඔහු හෝ ඇය සිසේරියන් සැත්කම තොරාගැනීමටද ඉඩ ඇත.

 

(ඡායාරූප අනුග්‍රහය: Frank de Kleine)

 

සබැඳි ලිපි:

සිසේරියන් සැත්කමක් සඳහා සූදානම් වන්නේ කොහොමද?
සිසේරියන් සැත්කමකින් දරු උපතක් සිදුකරන්නේ කොහොමද?
සිසේරියන් සැත්කමකට පසුව ඔබ කුමක් කල යුතුද?

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "සිසේරියන් සැත්කම සිදුකරන්නේ ඇයි?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*