පිළිකා රෝගය වළක්වාගැනීමට ඔබ කලයුත්තේ කුමක්ද?

පිළිකා රෝගය වළක්වාගැනීමට ඔබ කලයුත්තේ කුමක්ද

ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ සඳහා හේතුවන රෝග අතරින් පිළිකා රෝගය දෙවන ස්ථානය ගන්නා බව ඔබ දන්නවාද? එනම්, වසරක් තුළදී ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ අතරින් 11.7% කටම හේතුව පිළිකා රෝගයයි. සැබැවින්ම, එය දෙවැනි වන්නේ හෘද රෝග වලට පමණි. කෙසේ වුවත්, පිළිකා වලින් 1/3 ක් වැළඳීම වළක්වාගත හැකිය. ඒ සඳහා ඔබ කලයුත්තේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කිරීම සහ ඔබේ සෞඛ්‍යයට හිතකර පරිසරයක් පවත්වා ගැනීම පමණි.

 

දුම්පානයෙන් වැළකීම

මෙහිදී සක්‍රීය දුම්පානයෙන් මෙන්ම අක්‍රීය දුම්පානයට ගොදුරුවීමෙන්ද වැළකීම වැදගත් වේ. දුම්පානය නිසා පෙනහළු පිළිකා මෙන්ම, මුත්‍රාශයේ, ගැබ්ගෙලෙහි, මහා බඩවැලෙහි, ගුද මාර්ගයේ, ගලනාලයේ, වකුගඩු වල, ස්වරාලයේ, අක්මාවේ, මුඛයේ, උගුරේ, අග්න්‍යාශයේ, ආමාශයේ, පුරස්ථි ග්‍රන්ථියේ, සහ ශ්වාසනාලයේ පිළිකා ඇතිවීම සිදුවිය හැක. එයට අමතරව දුම්පානය නිසා තීව්‍ර මයෙලොයිඩ් ලියුකීමියා (Acute myeloid leukaemia) නම්වූ ලේ පිළිකා තත්ත්වයද ඇතිවිය හැක.

 

දුම්කොළ, බුලත්විට, සහ පුවක් පැකට් භාවිතයෙන් වැළකීම

දුම්කොළ භාවිතය නිසා මුඛයේ, උගුරේ, ගලනාලයේ, සහ අග්න්‍යාශයේ පිළිකා හටගැනීමට ඇති අවදානම ඉහළ යයි. දිනපතා බුලත්විට සපන අයට මෙම අවදානම බෙහෙවින්ම වැඩිය. තවද, බුලත්විට සමග දුම්පානයට සහ/හෝ මත්පැන් පානයට හුරුවූ අයට සහ පුවක් පැකට් හා බාබුල් වැනි දුම්කොළ හා පුවක් ආශ්‍රිත නිෂ්පාදන භාවිතා කිරීමට හුරුවූ අයටද පිළිකා වැළඳීමට ඇති අවදානම බෙහෙවින්ම වැඩිය.

 

මත්පැන් පානයෙන් වැළකීම

සියළු පිළිකා මරණ වලින් 3.3% ක් පමණ මත්පැන් භාවිතය නිසා ඇතිවේ. එම ප්‍රමාණයෙන් 1/3 ක් පමණ සිදුවන්නේ, මත්පැන් ඉතා කුඩා ප්‍රමාණ වලින් පානය කිරීමෙනි. එමෙන්ම, පිළිකාවක් වැළඳීමට දැනටමත් අවදානම් සාධකයක් ඇති අයෙකු ඉතා කුඩා ප්‍රමාණ වලින් මත්පැන් පානය කිරීම පවා පිළිකා වැළඳීමට ඇති අවදානම සැලකිය යුතුලෙස ඉහළ දමන බව පෙනීගොස් ඇත. මෙසේ මත්පැන් පානය කිරීම නිසා වැළඳීමට ඉඩ ඇති පිළිකා අතර පියයුරු, ගලනාලයේ, මුඛයේ, උගුරේ, අක්මාවේ, මහා බඩවැලේ, සහ ගුද මාර්ගයේ පිළිකාද වේ.

 

එළවළු, පළතුරු, සහ පළා වර්ග ආහාරයට ගැනීම.

විවිධ වර්ණයන්ගෙන් සහ රසයන්ගෙන් යුතු එළවළු, පළතුරු, සහ පළා වර්ග අඩංගු සෞඛ්‍ය සම්පන්න සමබර ආහාර වේලක් ආහාරයට ගැනීමෙන් පිළිකා වැළඳීමට ඇති අවදානම අඩුවේ.

 

නිතිපතා ව්‍යායාම කිරීම

නිතිපතා ව්‍යායාම කිරීමෙන්ද පිළිකා රෝගය වැළඳීමට ඇති අවදානම අඩුකරගත හැක. සතියකට අවම වශයෙන් විනාඩි 150 ක් වත් මධ්‍යම-තීව්‍රතාවයකින් යුතු ව්‍යායාම (Moderate-intensity exercises) සහ අවම වශයෙන් විනාඩි 75 ක් වත් අධි-තීව්‍රතාවයකින් යුතු ව්‍යායාම (High-intensity exercises) කිරීම සාමාන්‍ය නිර්දේශයයි.

 

උසට සරිලන සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම

ශරීර ස්කන්ධ දර්ශකය (Body mass index or BMI) 18.5 සහ 24.9 අතර පවත්වා ගැනීම සෞඛ්‍ය සම්පන්න වේ. එහි අගය, 23 ආසන්නයේ පවත්වා ගැනීම බෙහෙවින්ම සුදුසු වේ. ඔබ, අධිබර (Overweight) හෝ තරබාරු (Obese) නම්, බඩවැල්වල, පියයුරුවල, ගලනාලයේ, ගර්භාෂයේ, ගැබ්ගෙලෙහි, ඩිම්බ කෝෂවල, වකුගඩුවල, අග්න්‍යාශයේ, තයිරොයිඩ් ග්‍රන්ථියේ, පිත්තාශයේ, සහ පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා වැළඳීමට ඇති අවදානම වැඩිවේ.

 

අනාරක්ෂිත ලිංගික හැසිරීම් වලින් වැළකීම

අනාරක්ෂිත ලිංගික හැසිරීම් වල යෙදෙන්නන් හට ගැබ්ගෙලෙහි, යෝනි මාර්ගයේ, ශිෂ්ණයේ, ගුද මාර්ගයේ, උගුරේ, සහ පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා වැළඳීමට වැඩි අවදානමක් ඇත.

 

මානසික ආතතිය පාලනය කිරීම

මානසික ආතතියද පිළිකා ඇතිවීමේ අවදානම ඉහළ දමයි. එමනිසා, මානසික ආතතිය පාලනය කරගැනීම වැදගත් වේ.

 

අප අවට පරිසරය සෞඛ්‍යයට හිතකර ලෙස පවත්වා ගැනීම

ඔබගේ නිවස සහ ගෙවත්ත පිරිසිදුව පවත්වා ගන්න. එමෙන්ම, රැකියාව ආශ්‍රිතව රසායන ද්‍රව්‍ය හෝ විකිරණ වලට නිරාවරණය වීම අවම කරගන්න. රැකියාව කිරීමේදී, සැමවිටම නිර්දේශිත ආරක්ෂිත ඇඳුම්, පැළඳුම්, සහ උපාංග පැලඳීමට කටයුතු කරන්න.

පිළිකා වලින් 1/3 ක් පමණ මූලික අවධියේදී හඳුනාගත හොත්, නිසි ප්‍රතිකාර කිරීමෙන් පසුව සම්පූර්ණයෙන්ම සුවකරගැනීමට හැකියාව ඇත. එමනිසා, පිළිකා රෝගයේ රෝග ලක්ෂණ පිළිබඳව හොඳින් දැනුවත්වීම ඉතාම වැදගත් වේ. පිළිකා වලදී ඇතිවන ඇතැම් රෝග ලක්ෂණ වෙනත් රෝග නිසාද ඇතිවිය හැකිබව මතකයේ තබාගන්න. එමෙන්ම, යම් රෝග ලක්ෂණයක් තිබූ පමණින්ම පිළිකාවක් ඇතැයි රෝග නිශ්චය කල නොහැකිය. පිළිකා රෝගය ඇති හෝ නැති බවට විනිශ්චය කලහැක්කේ, වෛද්‍යවරයෙකුගේ සායනික පරීක්ෂාවකින්, සහ සෛල හෝ පටක පරීක්ෂාව, මැමෝග්‍රැම් පරීක්ෂාව, එන්ඩොස්කොපි පරීක්ෂාව වැනි විශේෂ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව පමණි. ඔබට සැකසහිත රෝග ලක්ෂණයක් පවතී නම්, ප්‍රදේශයේ සිටින සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීතුමා/තුමිය හෝ වෙනත් වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබාගන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Mark Warner)

 

සබැඳි ලිපි:

සමේ පිළිකා ඕනෑම අයෙකුට වැළඳෙන්න පුලුවන්!
පියයුරු පිළිකාව කලින් හඳුනාගෙන ජීවිතය රැකගන්න.
පිළිකා ඇතිවීම වළක්වා ගනිමු!
ගැබ්ගෙල පිළිකාව වළක්වා ගන්නේ කෙසේද?
මත්පැන් භාවිතය පිළිකා වලට අත වනයි!

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "පිළිකා රෝගය වළක්වාගැනීමට ඔබ කලයුත්තේ කුමක්ද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*