වෙහෙස දැනීම අඩුකරගන්නේ කොහොමද?

වෙහෙස දැනීම අඩුකරගන්නේ කොහොමද

එක දිගටම කායිකව හෝ මානසිකව මහන්සි වී වැඩකරන විට වෙහෙස දැනීම එතරම් අරුමයක් නොවේ. ඔබ පෙරදින නිදිවරාගෙන වැඩකලේ නම් හෝ උදෑසනම පැවරුමක් කිරීමට හෝ විභාගයකට මුහුණදීමට තිබේ නම්, තරමක වෙහෙසකාරී බවක් ගතට මෙන්ම සිතටද දැනීම සාමාන්‍ය දෙයකි. එවන් විටෙක අපේ ශරීර ශක්තිය මදක් හීනවී ඇති සෙයක් අපට දැනේ. මානසික ආතතියද එයට එක් හේතුවකි.

වෙහෙස අඩුකරගැනීම සඳහා උණුසුම් කෝපි කෝප්පයකට මදක් පිහිට වියහැකි යැයි සිතන මුත්, නිදිවරාගෙන වැඩකරන විට පාන්දර 2 ට 3 ට පමණ කැෆේන් අඩංගු එවැනි පානයක් ගැනීමෙන් ඔබේ මුළු නින්දම අවුල් සහගත වීමට එය හේතුවක් වියහැක. එවිට, පසුදින ඔබට දැනෙන වෙහෙසකාරී බව නැවත ඔබ කෝපි හෝ තේ කෝප්පයක් වෙත තල්ලුකරනු ඇත. මෙසේ ආරම්භ වන්නේ නිමක් නොමැති වෙහෙසකාරී චක්‍රයකි.

කෙසේ වුවත්, වාසනාවකට මෙන් ඔබේ ශක්තිය වැඩිදියුණු කර, වෙහෙසකර බව දුරුකරගැනීමට ක්‍රම කිහිපයක් පවතී. ඔබට දිවාකාලයේදී විනාඩි කිහිපයක කෙටි නින්දක් ලබාගැනීමට හැකියාවක් නැත්නම්, පහත සඳහන් ක්‍රම වලින් එකක් අනුගමනය කිරීමෙන් ඔබට සහනයක් ලැබෙනු ඇත.

 

බාහිර පරිසරයේ මදක් ඇවිදින්න.

බාහිර පරිසරයේ මදක් ඇවිදීම මගින් ඔබේ ශරීරයේ රුධිර සංසරණය සහ ඔක්සිජන් පරිවහනය වැඩිදියුණු වන අතර, එය ඔබව හොඳ අවධානයකින් තැබීමට හේතුවේ. එමෙන්ම, මද හිරු එළියෙන් ලැබෙන විටමින් D වලින් ශරීරයට ශක්ති සම්පන්න බවක් එක්කරන බව සහ වෙහෙස මගහරවන බව පර්යේෂණ ගණනාවකින්ම පෙන්වා දී ඇත. ඔබට වෙහෙසකර බවක් දැනේ නම්, මද හිරු එළිය ඇති විටෙක විනාඩි 10-15 ක් ඇවිදින්න. ඉන් පසුව, තේ හෝ කෝපි කොප්පයක් පානය කිරීම හෝ ආහාර ගැනීම සිදුකල හැක.

 

විනාඩි කිහිපයක් භාවනා කරන්න.

මානසික ආතතිය විසින් ඔබට වෙහෙසකර බවක් ගෙන ආවද, විනාඩි කිහිපයක් භාවනා කිරීමෙන් ඔබේ මනසට සිසිලසක් දැනෙනු ඇත. මෙය බෞද්ධ භාවනා ක්‍රමයක් ලෙස සිදුකිරීම අත්‍යාවශ්‍ය නොවේ. පහසු තැනක පහසු ලෙස වාඩිවී දෑස් පියාගන්න. ඉන් පසුව හුස්ම ගැනීමට සිත යොදවන්න. ශරීරයේ සියළු මාංශ පේශි සියල්ල එකවරම සෙමෙන් මදක් හකුළුවන්න. මෙහිදී, ශරීරයේ කිසිඳු චලනයක් සිදුකිරීමට අවශ්‍ය නොවේ. ඉන් පසුව, එක් එක් මාංශ පේශි කාණ්ඩය බැගින් ලිහිල් කරන්න. ඔබ ලිහිල් කරන එක් එක් මාංශ පේශි කාණ්ඩය කෙරෙහි සිත රඳවාගන්න අමතක කරන්න එපා. මෙම ක්‍රියාකාරකම විනාඩි 3-5 ක් පමණ සිදුකර දෑස් විවර කරන්න. ඔබට තවමත් වෙහෙසකාරී බවක් දැනේ නම්, නැවත වරක් මුල සිට කරන්න. ඔබේ ශරීරයට පහසුවක් දැනෙන තුරු මෙය සිදුකරන්න.

 

දිනපතා ව්‍යායාම කරන්න.

දිනපතා ව්‍යායාම කිරීමෙන්, ඔබේ ශරීරයේ රුධිර සංසරණය සහ පටක කරා ඔක්සිජන් පරිවහනය වැඩිදියුණු වන අතර, එමගින් වෙහෙසකර බව දුරුවී ඔබට ශක්ති සම්පන්න හැඟීමක් ඇතිවේ. නමුත්, මෙම ප්‍රතිලාභය ලැබීමට නම් නිතිපතා ව්‍යායාම කිරීම සිදුකල යුතුවේ. සතියකට දින දෙකක් හෝ තුනක් අධි-තීව්‍ර විරාම පුහුණුව (High-intensity interval training or HIIT) සිදුකිරීමට උත්සාහ ගන්න. එය, ඔබගේ ශරීරයේ පරිවෘත්තීය සීඝ්‍රතාවය (Metabolic rate) වැඩිකර, ශක්තිය ඉහළ දැමීමට සමත්ය.

 

මදක් කලින් නිදාගන්න.

ඇතැම් අයෙකුට මෙහි විහිළු සහගත බවක් ඇතැයි දැනුනහොත්, එය පුදුමයක් නොවේ. නමුත්, වත්මන් සමාජයේ බහුතරයකට ඇති ගැටළුවක් වන්නේ සුවදායක නින්දක් ලබාගැනීමට අපහසු වීමයි. සුවදායක නින්දක් නොලැබීමෙන්, ඔබේ කාර්යක්ෂමතාවය හා මතකය බිඳවැටෙන අතර, දවස පුරා නිදිමත ස්වභාවයක් ඇතිවේ. එවන් විටෙක පැය 7 ක් පමණ නිදාගැනීම, ඔබට පිහිට වනු ඇත. සුවදායක නින්දක් ලබාගැනීමට ප්‍රයෝජනවත් ඉඟි අවශ්‍ය වන්නේ එවන් විටෙකය.

 

(ඡායාරූප අනුග්‍රහය: bark)

 

සබැඳි ලිපි:

මානසික ආතතිය පාලනය කරගන්නේ කොහොමද?
හොඳ නින්දක් ලබාගැනීමෙන් ඇති වාසි
සරල ලෙස ජීවත්වන්නේ කෙසේද?
මානසික සුවතාවය වැඩිදියුණු කරගන්නේ කෙසේද?

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "වෙහෙස දැනීම අඩුකරගන්නේ කොහොමද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*