අප ස්වාභාවික ආහාර ගතයුත්තේ ඇයි?

අප ස්වාභාවික ආහාර ගතයුත්තේ ඇයි

අවම මට්ටමකට පිරිසැකසුම් කරන ලද, කල් තබාගැනීමේ රසායනික ද්‍රව්‍ය සහ කෘතිම රසකාරක එක් නොකරන ලද ආහාර, ස්වාභාවික ආහාර ලෙස හැඳින්විය හැක. එබැවින් ස්වාභාවික ආහාර, පිරිසැකසුම් කරන ලද ආහාර (Processed foods) වලට වඩා බෙහෙවින් සෞඛ්‍ය සම්පන්න බව කිවහැක.

ස්වාභාවික ආහාර පිරිසැකසුම් කරන්නේ අවම මට්ටමකටය. එහිදී, කෘතිම රසායන ද්‍රව්‍ය කිසිවක් එක් නොකර පොතු ගැසීම, කෙටීම, ඇඹරීම, තැම්බීම, පිසීම, බැදීම, උඳුනේ පිළිස්සීම, වියළීම, පදම් කිරීම, ශීත කිරීම, අධිශීතකරණය වැනි ක්‍රියාදාම වලට පමණක් ලක් කරයි. එබැවින්, ආහාර වල ඇති ස්වාභාවික ගුණය මුළුමනින්ම පාහේ ආරක්ෂා වේ. කෙසේ වුවත්, ඔබේ පෝෂණය සහ සෞඛ්‍යය ගැන සිතා ආහාර අමුවෙන් ගැනීම එතරම් හොඳ දෙයක් නොවේ. මක්නිසාද, ඇතැම් අමු ආහාර වල ආහාරයට නුසුදුසු සංඝටක සහ අපවිත්‍රකාරක පැවතීමට ඉඩ ඇත. එබැවින්, අමු ආහාර හෝ පිරිසැකසුම් කරන ලද ආහාර වලට වඩා ස්වාභාවික ආහාර මගින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ඉතා ඉහළය.

 

ස්වාභාවික ආහාර වල ඇති පෝෂණ ගුණය සහ සෞඛ්‍ය ප්‍රතිලාභ

ස්වාභාවික ආහාර සැකසීමේදී අවම වශයෙන් පිරිසැකසුම් කිරීමකට ලක්වන බැවින්, අන්තර්ගත පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය ඉතා ඉහළය. එමෙන්ම, ඒවායේ අඩංගු ආහාරමය තන්තු සහ ස්වාභාවික රසකාරක ප්‍රමාණය ඉහළ අගයක් ගන්නා අතර, එමගින් තවත් සෞඛ්‍යමය වාසි රැසක් හිමිවේ. ස්වාභාවික ආහාර වලින් පිළියෙල කරගත් සහ අවම වශයෙන් පිරිසැකසුම් කරන ලද ආහාර “මන්දගාමී” ආහාර (Slow foods) ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාවේ කෙසේ වෙතත් ලෝකයේ බොහෝ අවන්හල් වල මෙවැනි ආහාර අලුත්ම ප්‍රවණතාවය බවට පත්වී ඇත. පිරිසැකසුම් කරන ලද ආහාර වලට වඩා මන්දගාමී ආහාර වල ග්ලයිසීමික් අගය (Glycaemic index) බෙහෙවින් අඩුය. එනම්, මන්දගාමී ආහාර මගින් ඔබේ රුධිරයේ සීනි මට්ටම ඉහළ දමන්නේ පිරිසැකසුම් කරන ලද ආහාර වලට වඩා අඩු මට්ටමකිනි.

එමෙන්ම, ස්වාභාවික ආහාර වල මුක්ත ඛණ්ඩක (Free radicals) නැමැති අධි ක්‍රියාකාරී අණු විශේෂයක් හටගන්නා අතර, එම අණු වලින් ශරීරයේ සෛල වලට හානි සිදුවේ. එමනිසා, ප්‍රතිඔක්සිකාරක ශරීරයේ සෛල ආරක්ෂා කරයි.’>ප්‍රතිඔක්සිකාරක (Antioxidants) විශාල වශයෙන් අඩංගු වේ. මෙම ප්‍රතිඔක්සිකාරක මගින් ඔබේ ශරීරයේ ඇති පටක සහ සෛල වලට ඔක්සිකාර හානි (Oxidative damages) සිදුකරන මුක්ත ඛණ්ඩක (Free radicals) නැමැති හානිකර රසායන ද්‍රව්‍ය උදාසීන කරන බැවින්, ඔබව ආරක්ෂා කරයි. එබැවින්, ස්වාභාවික ආහාර ගැනීම පිළිකා, හෘද රෝග, අංශභාගය, දියවැඩියාව, අකලට වයස්ගතවීම වැනි සෞඛ්‍ය ගැටළු වළක්වා ගැනීමට ඇති හොඳ ප්‍රතිකර්මයක් ලෙස හැඳින්විය හැක. ඇතැම් ස්වාභාවික ආහාර වල ජීව විද්‍යාත්මකව ක්‍රියාකාරී සංඝටක අඩංගු වන අතර, ඒවා රෝග සමනය කරන සහ රෝග නසන ඖෂධීය ගුණ සහිතය. එමනිසා, ස්වාභාවික ආහාර වලින් මූලික වශයෙන් ලැබෙන්නේ පෝෂණ ගුණය පමණක් නොවේ. ඒවා ඔබේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කරන අතර, රෝග වැළඳීම වැළැක්වීමද සිදුකරයි. එබැවින්, ස්වාභාවික ආහාර “ක්‍රියාකාරී” ආහාර (Functional foods) ලෙසද හඳුන්වනු ලැබේ. ඒවායේ උපරිම ගුණය සහ ප්‍රතිලාභ ලබාගැනීමට නම්, ආහාර අතිරේකයක් ලෙස නොව ආහාරයක් ලෙස භාවිතා කිරීම අවශ්‍ය වේ.

 

මූලාශ්‍රය : පෝෂණ අංශය, සෞඛ්‍ය අමාත්‍යංශය

 

(ඡායාරූප අනුග්‍රහය: Indi Samarajiva)

 

සබැඳි ලිපි:

එළවලු සමග සුවැති දිවියක්…
ආහාරයේ ඇති ෆ්ලේවොනොයිඩ වලින් ඇති ප්‍රයෝජන
සකස් කරන ලද ආහාර ගැන ඔබ දැනුවත්ද?
සෞඛ්‍ය සම්පන්න දිවියකට එළවළු සහ පළතුරු

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "අප ස්වාභාවික ආහාර ගතයුත්තේ ඇයි?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*