පිළිස්සුම් තුවාළ සිදුවීමෙන් ඔබේ දරුවා ආරක්ෂා කරගන්නේ කෙසේද?

පිළිස්සුම් තුවාළ සිදුවීමෙන් ඔබේ දරුවා ආරක්ෂා කරගන්නේ කෙසේද?

කුඩා දරුවන්ට සිදුවන අනතුරු අතර පිළිස්සුම් තුවාළ, ශ්‍රී ලංකාවේ බහුලව දැකිය හැකි තත්ත්වයකි. එය, සුළු පිළිස්සිමක සිට ජීවිතයට අනතුරක් ගෙනදිය හැකි මාරාන්තික පිළිස්සීමක් දක්වා වෙනස් වියහැක. අනතුරක් සිදුවීමට නොදී කුඩා දරුවෙක් සැමවිටම ආරක්ෂාකාරීව බලාගැනීම කල නොහැකි දෙයක් වුවත්, ඇතැම් සරළ ක්‍රම අනුගමනය කිරීමෙන් ඔබේ දරුවාට පිළිස්සුම් තුවාළ සිදුවීමට ඉඩ නොදී ආරක්ෂා කරගත හැක. ඔබේ සුළු නොසැලකිල්ලකින් ඔබේ දරුවාට හානියක් සිදුවීමට ඉඩ ඇතිබව සැමවිටම මතකයේ තබාගන්න.

  • සැමවිටම ගිණිපෙට්ටි, ලයිටර්, රසායනික ද්‍රව්‍ය, දල්වන ලද ඉටි පන්දම්, ලාම්පු, චිමිනි ආදිය දරුවාට ලඟාවිය නොහැකි ස්ථානයක ආරක්ෂිතව තැබීමට වගබලාගන්න.
  • නිවසේ ඇති දරුවාගේ අතපොවන මානයේ ඇති විදුළි පේනු සහ කෙවෙනි ආවරණය කර තබන්න.
  • විදුළි උපකරණ වල ඇති පැරණි, ගෙවීගිය, හෝ හානි වූ රැහැන් ඉවත්කරන්න.
  • බුදුන් වැඳීමට භාවිතා කරන පොල්තෙල් පහන්, හඳුන්කූරු ආදිය දරුවාට හසුනොවන සේ තබන්න. එමෙන්ම, ඒවා ඇද නොවැටෙන සේ සහ වෙනත් ද්‍රව්‍ය වලට ගිණි නොඇවිලෙන සේ ආරක්ෂිතව තැබීමට වගබලාගන්න.
  • කිසිවිටෙක කුඩා දරුවන්ට ඉස්තිරික්ක සහ හිසකෙස් සකසන තාපය නිපදවන උපකරණ (Flat irons and curling irons) භාවිතා කිරීමට ඉඩදෙන්න එපා. වැඩිහිටි දරුවෙක් එවැනි උපකරණ භාවිතා කරන විට, ඔබගේ අධීක්ෂණය යටතේ එසේ කිරීමට ඉඩහරින්න.
  • පළපුරුදු විදුළි කාර්මිකයෙකු ලවා වරින් වර පරීක්ෂා කිරීමෙන්, නිවසේ විද්‍යුත් පරිපථ දෝෂ රහිත බව තහවුරු කරගන්න. අවශ්‍ය විටෙක අලුත්වැඩියාවන් සිදුකරන්න.
  • කිසිවිටෙක නිවස තුළ දුම්පානය කරන්න එපා.
  • රතිඤ්ඤා, බඹර චක්‍ර, අහස්කූරු, නිලා ආදී ගිණිකෙලි දැල්වීමෙන් වළකින්න. කිසිවිටෙක ඔබේ දරුවාට ගිණිකෙලි දැල්වීමට ඉඩනොදෙන්න.
  • දරුවා නෑවීමට හෝ සේදීමට උණු ජලය භාවිතා කරන්නේ නම්, සැමවිටම ජලයේ උෂ්ණත්වය දරුවාට හානිකර නොවන මට්ටමක පවතින බව තහවුරු කරගන්න. ජලය උණුසුම් කරන හීටරයක් භාවිතා කරන්නේ නම්, එහි රෙගියුලේටරය ආරක්ෂිත මට්ටමේ ඇතිදැයි සුපරීක්ෂාකාරී වන්න.
  • කුඩා දරුවන්ට මුළුතැන්ගෙය තුළ සෙල්ලම් කරන්න ඉඩදෙන්න එපා. කුඩා දරුවන්ට ලිප ආසන්නයට යා නොහැකි වනසේ ආවරණය කර තබන්න. එමෙන්ම, ගෑස් ලිපෙහි නල වලින් ගෑස් කාන්දු නොවන බවට තහවුරු කරගන්න. පැරණි වූ, ගෙවීගිය, හෝ කඩතොළු වූ ගෑස් නල සහ රෙගියුලේටර් වෙනුවට අලුත් ඒවා යොදන්න.
  • නිවසේ කුඩා දරුවන් සිටී නම්, මේසයට මේස රෙදි හෝ ඉටිරෙදි දැමීමෙන් වළකින්න. නැතහොත්, කුඩා දරුවන් මේස රෙද්ද ඇදීම මගින් මේසය මත තබා ඇති උණුසුම් දියර, ආහාර, හෝ ජලය ඔහුගේ හෝ ඇයගේ ශරීරයට වැටීමට ඉඩ ඇත.
  • සැමවිටම, උණු දියර, ජලය, හෝ ආහාර දරුවාට අතපෙවිය නොහැකි දුරකින් ආරක්ෂිතව තැබීමට වගබලාගන්න.
  • කිසිවිටෙක, දරුවා උකුළේ තබාගනිමින් උණු පානයන් හෝ ආහාර ගැනීම සිදුකරන්න එපා. කුඩා දරුවන් ගැවසෙන ස්ථාන අසලින් උණු දියර හෝ ආහාර අඩංගු භාජන රැගෙන යාමෙන් වළකින්න. එක් තැනක සිට වෙනත් තැනකට උණු දියරයක් හෝ ආහාරයක් ගෙනයාමට සිදුව ඇත්නම්, දරුවා සිටින්නේ කොතනකදැයි සැමවිටම පරීක්ෂාකාරී වන්න.
  • කිසිවිටෙක, කුඩා දරුවා වඩාගෙන ආහාර පිසින්න එපා.
  • කිසිවිටෙක, දරුවාගේ බෝතල් ආදිය මයික්‍රොවේව් උඳුන තුළ රත්කරන්න එපා. එසේ කිරීමෙන්, බෝතල් සහ එහි අඩංගු දියර අසාමාන්‍ය ලෙස රත්වීමට ඉඩ ඇත. එමෙන්ම, දරුවාට උණුසුම් පානයක් හෝ ආහාර ලබාදෙන්නේ නම්, එහි උෂ්ණත්වය දරුවාට ආරක්ෂිත මට්ටමක පවතින බව තහවුරු කරගන්න.
  • කිසිවිටෙක, කිසිඳු දෙයක් ලිපට හෝ ගින්දරට දැමීමෙන් වළකින ලෙසට දරුවාට උපදෙස් දෙන්න.
  • දැඩි අවු රශ්මිය හෝ තාපය ඇති දිනවල, කුඩා දරුවන් එළිමහනේ සෙල්ලම් කරනවිට ඔංචිල්ලා, සීසෝ වැනි එලිමහන් උපකරණ අධිකව රත්වී තිබීමට ඉඩ ඇත. එමනිසා, කුඩා දරුවාට සෙල්ලම් කිරීමට ඉඩදීමට පෙර, හානිකර අයුරින් සෙල්ලම් කරන උපකරණ රත්වී නොමැති බව තහවුරු කරගන්න. හැකිනම්, උදයේ හෝ සවස් කාලයේ දරුවාට සෙල්ලම් කිරීමට ඉඩ සලසන්න.
  • ඔබගේ වාහනය දැඩි හිරු එළියට හෝ තාපයට නිරාවරණය වී තිබුණි නම්, කුඩා දරුවාගේ අසුන සිසිල් වනතුරු හෝ සිසිල් කරන තුරු දරුවා තැබීමෙන් වළකින්න. හැකිනම්, භාවිතා නොකරන අවස්ථා වලදී, දරුවාගේ අසුන ඝන තුවායකින් හෝ රෙද්දකින් ආවරණය කර තබන්න. එමෙන්ම, ආසන පටි වල ඇති ලෝහමය කොටස් හිරු එළිය නොවැටෙන සේ ආවරණය කර තැබීමට වගබලාගන්න.
  • දරුවා එළිමහනට ගෙනයන්නේ නම්, සමේ නිරාවරණය වන කොටස් වල හිරු එළියෙන් සම ආරක්ෂා කරන ආලේපන (Sunscreen) ගැල්වීමට අමතක කරන්න එපා. එවැනි ආලේපන තෝරාගන්නා විට ඒවායේ SPF අගය අවම වශයෙන් 15 වත් වන ඒවා තෝරාගන්න. හිරු එළියට නිරාවරණය වීමට විනාඩි 20-30 කට පෙර ආලේපනය ගැල්වීමට කටයුතු කරන්න. හැකිනම්, සෑම පැය දෙකකටම වරක් නැවත ආලේප කරන්න. දරුවා ජලක්‍රීඩාවක නියැලෙන්නේ නම්, එයට වඩා අඩු කාලයකදී නැවත ආලේප කලයුතු බව සලකන්න.
  • වයස මාස 6 ට වඩා අඩු ළදරුවන් හිරු එළියට නිරාවරණය කිරීමෙන් වළකින්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Monik Markus)

 

සබැඳි ලිපි:

ඔබේ දරුවාට ලබාදෙන සෙල්ලම් බඩු ආරක්ෂිතයිද?
දරුවාගේ ඇසට අනතුරක් වූ විට කුමක් කල යුතුද?
දරුවාගේ උගුරේ යමක් සිරවුවහොත් කුමක් කල යුතුද?
දරුවාගේ කැපුම් තුවාළයක් සිදුවුවහොත් කුමක් කලයුතුද?
දරුවාගේ හිසට සිදුවන අනතුරු වලදී කුමක් කල යුතුද?
නිවසේදී ඔබේ කුඩා දරුවා ආරක්ෂා කරගන්නේ කෙසේද?

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "පිළිස්සුම් තුවාළ සිදුවීමෙන් ඔබේ දරුවා ආරක්ෂා කරගන්නේ කෙසේද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*