ඔබේ කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනය අඩුයිද?

ඔබේ කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනය අඩුයිද?

සෑම ගර්භණී මවකගේම අපේක්ෂාව වන්නේ තම කුස තුළ සිටින සිඟිත්තාගේ සෞඛ්‍ය සම්පන්න වැඩීමයි. නමුත්, ඇතැම් විට කුස තුළ වැඩෙන දරුවා නිසි පරිදි නොවැඩෙන්න පුලුවන්. කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනය අඩුවීම (Intrauterine growth restriction or IUGR) යනු නූපන් බිළිඳාගේ වර්ධනය වන වේගය අඩුවීම නිසා ඔහු හෝ ඇය ප්‍රමාණවත් පරිදි නොවැඩී තිබීමයි. මෙසේ සිදුවීම නිසා සිඟිති දරුවාට ගර්භණී අවධිය තුළ, දරු උපතේදී මෙන්ම, ඉපදුනු පසුවත් යම් සෞඛ්‍ය ගැටළු ඇතිවීමට ඉඩ තිබේ.

 

කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනය අඩුවීමේදී ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු මොනවාද?

  • අඩු උපත් බර
  • සාමාන්‍ය දරු ප්‍රසූතියේදී ඇතිවන ආතතීන් දරාගත නොහැකිවීම
  • දරුවාගේ ශරීරයේ ඔක්සිජන් මට්ටම අඩුවීම (Hypoxia)
  • දරුවාගේ ශරීරයේ සීනි මට්ටම අඩුවීම (Hypoglycaemia)
  • නිතර ආසාදන ඇතිවීම
  • ඇප්ගා ලකුණු මට්ටම (Apgar score) අඩුවීම
  • ගර්භාෂය තුළදී පහවුනු දරුවාගේම මළ ද්‍රව්‍ය, හුස්මගැනීම නිසා දරුවාගේ පෙනහලු තුළට ඇතුළුවීම (Meconium aspiration) මගින් ශ්වසන ගැටළු ඇතිවීම
  • දරුවාට ශරීර උෂ්ණත්වය නිසි පරිදි යාමනය (Regulate) කරගැනීමට නොහැකිවීම
  • රුධිරයේ රතු රුධිරාණු සංඛ්‍යාව අසාමාන්‍ය පරිදි ඉහළ යාම.
  • ඉතා උග්‍ර අවස්ථා වලදී, ගර්භාෂය තුළම දරුවා මියයාමට ද ඉඩ ඇත.
  • දරුවාගේ දිගුකාලීන වර්ධනය වීමේ ගැටළු හටගැනීම

 

කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනය අඩුවීමට හේතු මොනවාද?

මෙසේ ගර්භාෂය තුළ වෙසෙන සිඟිත්තා නිසි පරිදි නොවැඩීමට හේතු ගණනාවක් ඇත. වැදැමහ (Placenta) ආශ්‍රිත ගැටළු එයින් ප්‍රධාන තැනක් ගනී. වැදැමහ යනු කළලය සහ මව අතර සම්බන්ධතාවය ඇතිකරන පටකයක් වන අතර, එමගින් මවගේ සිට ඔක්සිජන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ කළලයට ලැබේ. එමෙන්ම, වැදැමහ ඔස්සේ කළලය තුළ නිපදවෙන බහිස්ස්‍රාවී ද්‍රව්‍ය ඉවත්කිරීමද සිදුවේ.

එයට අමතරව, ගර්භණී මවගේ පවතින ඇතැම් රෝග සහ සෞඛ්‍ය ගැටළු නිසාද කළලයේ වර්ධනය අඩුවීම සිදුවිය හැක.

  • පාලනය නොවූ දියවැඩියාව
  • අධික රුධිර පීඩනය
  • පෙර ගර්භණී අවධියක අධික රුධිර පීඩනය හෝ දරුවාගේ බර අඩුවීම වැනි ඉතිහාසයක් පැවතීම
  • හෘද රෝග
  • රුබෙල්ලා (Rubella), සයිටොමෙගලො වයිරස් (Cytomegalovirus), ටොක්සොප්ලැස්මෝසිස් (Toxoplasmosis), සිෆිලිස් (Syphilis) වැනි ආසාදන
  • මවට දරුණු ආසාදනයක් වැළඳීම
  • වකුගඩු රෝගය
  • දිගුකාලීන පෙනහලු රෝග
  • පෝෂණ ඌණතා (Malnutrition) හෝ රක්තහීනතාවය (Anaemia)
  • දෑකැති සෛල රක්තහීනතාවය (Sickle cell anaemia)
  • සක්‍රීය හෝ අක්‍රීය දුම්පානය
  • මත්පැන් පානය හෝ මත්ද්‍රව්‍ය භාවිතය
  • මවගේ වයස අවුරුදු 40 ට වඩා වැඩිවීම
  • අධි-තීව්‍ර ව්‍යායාම (High-intensity exercise) කිරීම

කළලයේ ඇති ඇතැම් ජාන විකෘති සහ ගැබ තුළ කළල දෙකක් හෝ එයට වැඩි ගණනක් වර්ධනය වීම වැනි සාධකද, කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනය අඩුවීමට හේතුවිය හැක. ඇතැම් විට, සහජයෙන්ම කුඩා දරුවන්, කුස තුළ වැඩීමේදී සෙමෙන් වර්ධනය වනු දැකිය හැක. මෙවන් දරුවන් කුඩා මුත්, නිරෝගී නම් විශේෂ ප්‍රතිකර්මයක් අවශ්‍ය නොවේ.

ඇතැම් අවස්ථා වලදී, දරුවා බිහිකිරීමට අනුමාන කර ඇති දින නිවැරදි නොවන විටදී ද, කුස තුළ වැඩෙන දරුවා නිසි ලෙස නොවැඩෙන බවට වැරදි වැටහීමක් ඇතිවිය හැකියි. සාමාන්‍යයෙන්, මෙම දිනය ගණනය කරන්නේ ගර්භණී මවට අවසන් වරට ඔසප්වීම ආරම්භ වූ දින සිට සති 40 ක කාලයක් ගණනය කිරීමෙනි. අවසන් වරට ඔසප් වූ දිනය මවට නිවැරදිව මතක නැත්නම් හෝ මවගේ ඔසප්වීම අක්‍රමවත් නම්, මෙම ගැටළුව ඇතිවිය හැකියි. එවැනි අවස්ථාවකදී, ගර්භයට මුල් මාස තුන ඇතුළත සිදුකරන ස්කෑන් පරීක්ෂණයකින් දරුවා බිහිවන දිනය ගණනය කල හැකියි.

 

ගැබ තුළ වැඩෙන දරුවාගේ වර්ධනය අඩුවීමේදී ඇතිවන හෝ හඳුනාගත හැකි ලක්ෂණ මොනවාද?

මෙය හඳුනාගත හැකි ප්‍රධානම ලක්ෂණය ලෙස ගර්භයේ වයසට සරිලන ලෙස තිබිය යුතු ප්‍රමාණයට වඩා කළලය හෝ දරුවා කුඩාවීම දැක්විය හැක. කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනය අඩුවීමට බලපෑ හේතුව අනුව දරුවාගේ සමස්ථ ශරීරයම කුඩාවීම හෝ පෝෂණ ඌණතාවයක ස්වරූපය ගැනීම සිදුවිය හැක. එවැනි දරුවෙකු කෘෂ ස්වභාවයක් ගැනීම, සුදුමැලි වීම, සහ ඔහුගේ හෝ ඇයගේ සමෙහි වියළි හා ලිහිල් ස්වභාවයක් පැවතීම දැකිය හැක. දරුවාගේ පෙකණිවැලෙහි ද, බොහෝවිට සිහින්වීම සහ මතුපිට දිළිසෙන සුළු ස්වභාවය අඩුවීම වැනි ලක්ෂණ දැකිය හැක. නමුත්, බිහිවන විට කුඩා දරුවන් සියල්ලම කුස තුළ වැඩීමේදී වර්ධනයවීම අඩුවූ දරුවන් නොවන බව මතක තබාගන්න.

 

කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනය අඩුවීම නිර්ණය කරන්නේ කෙසේද?

වෛද්‍යවරයෙකුට කුස තුළ වැඩෙන දරුවාගේ ප්‍රමාණය මැනිය හැකි ක්‍රම ගණනාවක් පවතී. එයින් සරළතම සහ බහුලවම භාවිතා කරන ක්‍රමය වන්නේ, මවගේ උකුල් අස්ථි වල යූනික අස්ථියේ (Pubic bone) සිට ගර්භයේ මුදුන (Fundus) ට ඇති පරතරය මිණුම් පටියකින් මැන බැලීමය. සාමාන්‍යයෙන්, ගර්භයට සති 20 කට වඩා වයස්ගත වූ විට, මෙම පරතරය සෙන්ටිමීටර් වලින් ගත්කල එය ගර්භයේ සති ගණනට ආසන්න වශයෙන් සමාන වේ. මෙම අගය, ගර්භයේ සැබෑ වයසට වඩා අඩුනම්, කළලය නිසි අයුරින් වර්ධනය නොවෙමින් පැවතීමට ඉඩ ඇත.

  • අතිධ්වනි ස්කෑන් (Ultrasound scan) පරීක්ෂණය

අතිධ්වනි ස්කෑන් පරීක්ෂණයක් මගින් කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනය ප්‍රමාණවත් දැයි පහසුවෙන් මැන බැලිය හැක. මෙහිදී, කළලයේ හිසෙහි සහ උදරයේ ප්‍රමාණයන් මැන, සාමාන්‍ය වර්ධන සටහන් සහ ප්‍රස්ථාර සමග සැසඳීම සිදුකරයි. එමගින්, දරුවාගේ බරද ගණනය කල හැක. එයට අමතරව, කලලය වටා ගර්භාෂය තුළ පවතින තරළයෙහි (Amniotic fluid) පරිමාව ද, අතිධ්වනි ස්කෑන් පරීක්ෂණයකදී මැන බැලීම සිදුකරයි. එම තරළයේ ප්‍රමාණය අඩුනම්, කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනය අඩුබවට සැකකල හැක.

  • ඩොප්ලර් ස්කෑන් (Doppler scan)

මෙය රුධිර වාහිනී තුළ රුධිර සංසරණයෙහි වේගය සහ පරිමාව මැන බලන ක්‍රමවේදයකි. මෙහිදී, පෙකණි වැළෙහි සහ දරුවාගේ මොළයේ රුධිර සංසරණය පරීක්ෂාවට ලක්කෙරේ.

  • මවගේ බර මැනීම

සාමාන්‍යයෙන්, මාතෘ සායන වලදී ගර්භණී මවගේ බර වැඩිවීම සටහන් කරනු ලැබේ. ගර්භණී මවකගේ බර වැඩිවීම ප්‍රමාණවත් පරිදි සිදුනොවේ නම්, එයට හේතුව කුස තුළ දරුවාගේ වර්ධනය අඩුවීම වියහැක.

  • කළලය පරීක්ෂා කිරීම

මවගේ උදරය මත ඇදෙන සුළු පටියක් යොදා අලවන සංවේදී විද්‍යුත් අග්‍ර හෙවත් ඉලෙක්ට්‍රෝඩ ඔස්සේ තිරයක් මත දර්ශනය වන සහ/හෝ කඩදාසි පටියක් මත සටහන් වන රටාව අනුව දරුවාගේ හෘද ස්පන්දන වේගය සහ රටාව හඳුනාගත හැක. මෙය Cardiotocography හෙවත් CTG ලෙස හැඳින්වේ.

  • Amniocentesis ක්‍රමවේදය

Amniocentesis නම් වූ ක්‍රමවේදය සිදුකිරීමේදී, උදරයේ සම හරහා ඇතුළු කරන සිහින් කටුවක ආධාරයෙන් ගර්භය තුළ පවතින තරළයෙන් ස්වල්පයක් ගෙන පරීක්ෂා කරනු ලැබේ. එමගින්, ආසාදනයක් හෝ කුස තුළ වර්ධනය අඩුවීමට හේතුවන ඇතැම් ජාන විකෘති හඳුනාගැනීමට හැකියාව ඇත.

 

කුස තුළ දරුවාගේ වර්ධනය අඩුවීමක් ඇත්නම් ඒ සඳහා ප්‍රතිකාර සිදුකරන්නේ කෙසේද?

සෞඛ්‍ය සම්පන්න ගර්භණී මවකට වුවද, කුස තුළ දරුවාගේ වර්ධනය අඩුවීම ඇතිවිය හැක. කෙසේ වුවත්, කළලයේ වර්ධනය අඩුවීමට ඇති අවදානම අඩුකරගැනීම සඳහා ගර්භණී මවකට අනුගමනය කලහැකි ක්‍රම ගණනාවක් පවතී. එමගින්, සෞඛ්‍ය සම්පන්න ගර්භණී අවධියක් ගතකර සුවැති දරුවෙක් බිහිකිරීමට හැකියාව ලැබේ.

  • නිසි කලට, නිසි පරිදි මාතෘ සායන වලට සහභාගී වන්න. මාතෘ සායන සටහන් සහ අනෙකුත් වෛද්‍ය වාර්තා ආරක්ෂිතව තබාගන්න. සෞඛ්‍ය ගැටළු සහ ඉදිරියේදී ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු කලින් හඳුනාගැනීමෙන් ඒවාට කලින් ප්‍රතිකර්ම කිරීමට හැකියාව ලැබේ.
  • ගැබ තුළ සිටින දරුවාගේ චලනයන් ගැන අවධානයෙන් සිටින්න. දරුවාගේ චලන අසාමාන්‍ය ලෙස අඩුවීම හෝ නැවතීම යම් ගැටළුකාරී තත්ත්වයක් නිසා ඇතිවිය හැක. එවන් වෙනසක් දැනුනහොත් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට කටයුතු කරන්න.
  • ඔබ දැනට වෙනත් රෝග තත්ත්වයකට ගන්නා ඇතැම් ඖෂධ, කුස තුළ වැඩෙන දරුවාට ගැටළු ඇතිකල හැක. එමනිසා, ගර්භණී වීමට පෙර ඔබ ගන්නා ඖෂධ පිළිබඳව ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න. යම් රෝගයකට ප්‍රතිකාර ගැනීමේදී, ඔබ ගර්භණී නම් ඒ බව වෛද්‍යවරයාට පැවසීමට අමතක කරන්න එපා.
  • දරුවා බිහිකිරීමෙන් අනතුරුව නිසි ලෙස මව්කිරි ලබාදෙන්න. නිසි පෝෂණය ලැබෙන විට අඩු බර දරුවා ක්‍රමයෙන් නියමිත බර ලඟා කරගනී.
  • ගර්භණී අවධිය තුළදී සෞඛ්‍ය සම්පන්න ආහාර ප්‍රමාණවත් ලෙස ගැනීමට කටයුතු කරන්න. එමෙන්ම, මාතෘ සායන වලින් නිර්දේශ කරන විටමින් සහ ඛණිජ ලවණ පෙති සහ අතිරේක නිසි ලෙස ගැනීමටත් අමතක කරන්න එපා. එය ඔබේ දරුවාගේ සෞඛ්‍ය සම්පන්න වර්ධනයට ඉතාම වැදගත් වේ.
  • ප්‍රමාණවත් ලෙස විවේක ගන්න. එය, ඔබේ සෞඛ්‍යයට මෙන්ම, කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනයටද ඉතා වැදගත් වේ. දිනකට පැය 8 ක් පමණ නිදාගන්න. සවස් කාලයේදී, පැයක් හෝ දෙකක් විවේක ගැනීමද සිදුකරන්න.
  • සක්‍රීය සහ අක්‍රීය දුම්පානයෙන් වළකින්න. ගර්භණී සමය තුළ කිසිවිටෙක මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කරන්න එපා.
  • ගර්භණී සමයේදී අධි-තීව්‍ර ව්‍යායාම කිරීමෙන් වළකින්න. එහෙත්, ගර්භණී අවධිය තුළදී මද- හෝ මධ්‍යම-තීව්‍රතාවයකින් යුතු ව්‍යායාම (Mild- or moderate-intensity exercises) වල දිනකට විනාඩි 45 කට වඩා අඩු කාලයක් නියැලීම ඔබේ සහ ඔබේ දරුවාගේ සෞඛ්‍යයට වැදගත් බව සලකන්න.

කුස තුළ වැඩෙන යම් දරුවකුගේ වර්ධනය අඩුයැයි හැඟේ නම්, එවැනි මව්වරුන් ප්‍රසව සහ නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමුකිරීම කල යුතුවේ. සාමාන්‍යයෙන්, එවන් දරුවෙකු සති දෙකකට වරක් අතිධ්වනි ස්කෑන් පරීක්ෂාවකට ලක්කිරීම සිදුවේ. එහිදී, හඳුනා ගන්නා අවදානම් තත්ත්ව අනුව, කලින් දරුවා බිහිකිරීමට නිර්දේශ කරන අවස්ථා ඇත. ඇතැම් අවස්ථා වලදී, විශේෂඥ වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ දරුවාගේ වර්ධනය සිදුවීමට කාලය ලබාදීමද සිදුවේ. ඇතැම් දරුවන්ගේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා ඩොප්ලර් ස්කෑන් සහ CTG පරීක්ෂණ වරින් වර සිදුකල යුතුය.

බොහොමයක් කුඩා දරුවන් සාමාන්‍ය පරිදි බිහිකල හැකි අතර, ඉතා කුඩා අවදානම් සහිත දරුවන් සිසේරියන් සැත්කමකින් බිහිකිරීමට අවශ්‍ය වේ.

අඩු උපත් බරකින් යුතු දරුවන්ට මුල් මාස කිහිපය තුළ යම් යම් සංකූලතා ඇතිවීමේ අවදානම වැඩි බැවින්, ඔවුන් හොඳින් රැකබලා ගැනීම වැදගත් වේ. කෙසේ වුවත්, එවැනි දරුවන්ට වැඩිහිටි අවධියේදී දියවැඩියාව, හෘද රෝග, අධික රුධිර පීඩනය වැනි සෞඛ්‍ය ගැටළු ඇතිවීමට ඇති අවදානම, සාමාන්‍ය බර සහිතව උපදින දරුවන්ට වඩා වැඩිය.

 

(ඡායාරූප අනුග්‍රහය: mliu92)

 

සබැඳි ලිපි:

ගර්භණී සමයේදී බර පාලනය කරගන්නේ කොහොමද?
ගර්භණී සමයේදී ඇතිවන ඔක්කාරය සමනය කරගන්නේ කෙසේද?
ගර්භණී සමයේ ව්‍යායාම කිරීම වැදගත්ද?

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ඔබේ කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනය අඩුයිද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*