රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ජීවන රටාව වෙනස්කර ගනිමු.

රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ජීවන රටාව වෙනස්කර ගනිමු

අධික රුධිර පීඩනය පාලනය කරගැනීමට මෙන්ම, එය වැළඳීම වළක්වා ගැනීම සඳහා ඔබේ ජීවන රටාවේ වෙනස්කම් ඇතිකර ගැනීම වැදගත් වේ. ඔබ, අධික රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ඖෂධීය ප්‍රතිකාර ගන්නා අයෙකු වුවද ඔබේ ජීවන රටාවේ මෙම වෙනස්කම් ඇතිකර ගැනීම අත්‍යාවශ්‍ය බව අමතක නොකල යුතුය. ඒ සඳහා ඔබට කලහැකි දේවල් නම්:

 

සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම.

ඔබේ ආහාරයේ වැඩිපුර එළවළු, පළතුරු, මාළු, මේදය අඩු මස්, කුරුට්ට සහිත සහල් හා ධාන්‍ය, සහ මේදය අඩු කිරි ආහාර අඩංගු කරගැනීම රුධිර පීඩනය පාලනය කරගැනීමට සහ අධික රුධිර පීඩනය වැළඳීම වළක්වා ගැනීමට එකලෙස වැදගත් වේ. එළවළු සහ පළතුරු වලින් බහුලව ලැබෙන පොටෑසියම් ද මේ සඳහා ඉවහල් වේ. එමෙන්ම, ශරීරයට අහිතකර සංතෘප්ත මේදය සහ ට්‍රාන්ස් මේදය බහුල ආහාර ගැනීම සීමාකිරීමද කල යුතුවේ.

 

ලුණු භාවිතය අඩුකරන්න.

වැඩිහිටියෙකු දිනකට පරිභෝජනය කලයුතු උපරිම ලුණු ප්‍රමාණය තේ හැඳි එකක් හෙවත් ග්‍රෑම් 5 කි. මෙම ප්‍රමාණයට ආහාරයට එකතුකරන ලුණු මෙන්ම, ආහාරයේ අඩංගු වන ලුණුද අයත්වන බව සැලකිය යුතුවේ. ඔබගේ වයස අවුරුදු 51 හෝ එයට වැඩිනම්, ඔබට අධික රුධිර පීඩනය ඇත්නම්, ඔබට දියවැඩියාව ඇත්නම්, හෝ ඔබට වකුගඩු රෝගය ඇත්නම්, දිනකට පරිභෝජනය කලයුතු උපරිම ලුණු ප්‍රමාණය ග්‍රෑම් 4 දක්වා අඩුවිය යුතුබව මතක තබාගන්න. ඔබ වෙළඳපොලෙන් ඇසුරුම්කල ආහාර ද්‍රව්‍ය මිළදී ගන්නවා නම්, ඒවායේ දවටනයේ සඳහන්ව ඇති ලුණු ප්‍රමාණය පිළිබඳව සැමවිටම සැලකිලිමත් වන්න.

 

සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වාගන්න.

සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වාගැනීම සහ ඔබ අධිබර හෝ තරබාරු නම් බර අඩුකරගැනීම, අධික රුධිර පීඩනය පාලනය කරගැනීමට මෙන්ම, ඒ හා සම්බන්ධ අනෙකුත් සංකූලතා ඇතිවීම වළක්වා ගැනීමට ඉතාම වැදගත් වේ. ඔබගේ ශරීරයේ බර වැඩිනම්, එයින් අවම වශයෙන් කිලෝග්‍රෑම් 2.3 ක් පවා අඩුකරගැනීම, රුධිර පීඩනය අඩුවීමට හේතුවේ.

 

ශාරීරික ක්‍රියාකාරකම් වැඩිකරන්න.

නිතර ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීම, රුධිර පීඩනය අඩුවීමට, මානසික ආතතිය පාලනය වීමට, අනෙකුත් සෞඛ්‍ය ගැටළු අවම වීමට, සහ ශරීරයේ නිසි බර පවත්වාගැනීමට වැදගත් වේ. සාමාන්‍යයෙන්, වැඩිහිටි අයෙක් සතියකට අවම වශයෙන් විනාඩි 150 ක් වත් මධ්‍යම ප්‍රමාණයේ තීව්‍රතාවයකින් යුතු ශාරීරික ක්‍රියාකාරකම් (Moderate-intensity physical activities) කිරීම හෝ සතියකට විනාඩි 75 ක් අධි-තීව්‍ර ශාරීරික ක්‍රියාකාරකම් (High-intensity physical activities) කිරීම කල යුතුය. නැතහොත්, මෙම ශාරීරික ක්‍රියාකාරකම් වර්ග දෙකෙහි සංකලනයක් කලහැක. එමෙන්ම, සතියකට අවම වශයෙන් දින දෙකක්වත් ශක්ති වර්ධන ව්‍යායාම (Strengthening exercises) කිරීමද කල යුතුවේ.

 

මත්පැන් භාවිතය අවම කරන්න හෝ නවතා දමන්න.

ඔබ දැනට සෞඛ්‍ය සම්පන්න වුවත්, මත්පැන් භාවිතය ඔබේ රුධිර පීඩනය ඉහළ යාමට හේතුවක් වියහැකි බව අමතක නොකරන්න.

 

දුම්පානය සහ දුම්කොළ භාවිතයෙන් වළකින්න.

දුම්කොළ වල අඩංගු වන හානිකර රසායන ද්‍රව්‍යයන්ට ඔබේ ධමනි වල බිත්ති වලට හානිකිරීමට හැකියාව ඇත. එවිට, ධමනි බිත්ති ක්‍රමයෙන් දෘඩ ස්වභාවයකට පත්වීම නිසා අධික රුධිර පීඩනය වැළඳීමට ඉඩ ඇත.

 

මානසික ආතතිය පාලනය කරගන්න.

මානසික ආතතිය හැකිතරම් අඩුකරගන්න. මානසික දරාගැනීමේ හැකියාව වැඩිකරන ක්‍රමවේද, ශරීරය ලිහිල්කරන උපක්‍රම, හුස්මගැනීමේ ව්‍යායාම, හෝ භාවනා කිරීම වැනි සෞඛ්‍ය සම්පන්න ක්‍රම මේ සඳහා යොදාගත හැක. නිතිපතා ව්‍යායාම කිරීම සහ ප්‍රමාණවත් ලෙස නිදාගැනීමද, මානසික ආතතිය පාලනය කරගැනීමට වැදගත් වේ.

 

ශරීරය ලිහිල්කරන ක්‍රියාකාරකම් සිදුකරන්න. නැතහොත් සෙමෙන් සහ ගැඹුරෙන් හුස්මගන්න.

සෙමෙන් සහ ගැඹුරෙන් හුස්මගැනීමට පුරුදුවීම, ඔබේ ශරීරය සහ මනස ලිහිල්කර ගැනීම පහසු කරවයි.

 

ඔබ ගර්භණී නම්, රුධිර පීඩනය පාලනය කරගන්න.

ඔබ අධික රුධිර පීඩනය ඇති කාන්තාවක් නම්, ගර්භණී අවධියේදී රුධිර පීඩනය පාලනය කරගැනීම සඳහා වෛද්‍ය උපදෙස් ලබාගන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: whologwhy)

 

සබැඳි ලිපි:

අධික රුධිර පීඩනය ගැන මදක් දැනගනිමු.
අධික රුධිර පීඩනය වැළඳීමට ඔබටත් අවදානමක් තිබෙනවාද?
අධික රුධිර පීඩනය නිසා ඇතිවිය හැකි සංකූලතා ගැන දැනගනිමු.
ඔබට අධික රුධිර පීඩනය ඇතැයි රෝග විනිශ්චය කරන්නේ කෙසේද?
අධික රුධිර පීඩනය සඳහා ප්‍රතිකාර කරන්නේ කොහොමද?
අධික රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ඉඟි 10 ක්…

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ජීවන රටාව වෙනස්කර ගනිමු." පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*