පැණිරස කෑමට ඇති ආශාවෙන් මිදෙන්නේ කොහොමද?

පැණිරස කෑමට ඇති ආශාවෙන් මිදෙන්නේ කොහොමද?

පැණිරස කෑමට ඇති ආශාවෙන් මිදීම යන්න, මාතෘකාව තරම් සරළ දෙයක් නොවේ. මක්නිසාද, ඒ තරමටම පැණිරස කෑමට ලැදිකමක් අපට ඇත. සැබැවින්ම, සීනි බහුල ආහාර ගැනීම අඩුකිරීමට උවමනාවක් ඇතිවුවද, පැණිරස කෑමට ඇති රුචිය මැඩපැවැත්වීම තරමක් අසීරු කටයුත්තකි. කෙසේ වුවත්, ඇතැම් උපක්‍රම මගින් රසකැවිලි ආහාරයට ගැනීමට ඇති රුචිකත්වය අඩුකර, ආහාර පාන වල ඇති අතිරේක සීනි වලින් මිදීමට හැකියාව ඇත. නමුත්, එය සිතන තරම් පහසු නොවන බව මතක තබාගැනීමද වැදගත් වේ. ඔබ සැලසුමකට අනුව වැඩකරන්නේ නම්, ඔබේ ආහාරයේ ඇති නිශ්ඵල කැලරි වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඉවත්කිරීමට හැකියාව ඇත.

 

අමතර සීනි අඩංගු පානයන්ට සමුදෙන්න.

පැණිබීම, කාබනීකෘත බීම, පළතුරු බීම යනාදියෙන් සැලකිය යුතු සීනි ප්‍රමාණයක් අපේ ශරීරයට ඇතුළු වේ. මදක් සිතන්න ඔබ දිනකට බීම වර්ග, තේ, කෝපි, කිරි ආදී පානයන්ගෙන් කොපමණ සීනි ප්‍රමාණයක් ශරීරයට ඇතුළු කරගන්නවාද කියා. මෙයයි ඔබ පළමුවෙන්ම සැලකිල්ලට ගත යුත්තේ. එවැනි පානයන් වෙනුවට හැකිවිට සිසිල් ජලය තෝරාගන්න. ඔබට යම් රසයක් එකතු කරගැනීමට අවශ්‍ය නම් දෙහි, දොඩම්, හෝ ලෙමන් යුෂ ස්වල්පයක් එයට එකතු කරගන්න. ඔබට තේ, කෝපි, කිරි වැනි පානයකින් මිදීම අපහසු නම්, එක් කෝප්පයකට හෝ වීදුරුවකට එක්කරන සීනි ප්‍රමාණය එක් තේ හැන්දක් දක්වා ක්‍රමයෙන් අඩුකරන්න. එමෙන්ම, දවසකට එවැනි පානයක් ගන්නා වාර ගණන අඩුකිරීමද හොඳ උපක්‍රමයකි.

 

කෘතිම රසකාරක වලට සමුදෙන්න.

සීනි වෙනුවට යොදන කෘතිම රසකාරක ආහාර පාන වලට එක්කිරීම, සීනි වලින් මිදීමට හොඳ උපක්‍රමයක් ලෙස පෙනුනද එය සැබෑවක් නොවේ. එවැනි කෘතිම රසකාරක භාවිතයට හුරුවීමෙන් ශරීරයේ බර අඩුකරගැනීමට හැකියාව ලැබෙන බවට පැහැදිලි විද්‍යාත්මක සාක්ෂි නොමැත. එමෙන්ම, කෘතිම රසකාරක පැණිරස බැවින්, සීනි වලට ඇති රුචිකත්වය සහ ඇබ්බැහිවීම තවදුරටත් වර්ධනය වියහැකි බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. එබැවින්, සීනි වෙනුවට යොදාගන්නා කෘතිම රසකාරක වලට සමුදීමද වැදගත් වේ.

 

මනා සිහියකින් යුතුව ආහාර ගන්න.

රසකැවිල්ලක් හෝ සීනි සහිත බීමක් ආහාරයට ගැනීමට ආශාවක් ඇතිවූ විගසම මොහොතක් සිතන්න. ඔබට එසේ සිතුනේ සැබැවින්ම කුසගින්නක් ඇතිවූ නිසාද නැතහොත් මානසික ආතතිය නිසාද? ඔබේ ආහාර රුචිකත්වයන් පිටුපස තිබෙන සැබෑ හේතුව සොයාගන්න. එවිට, ඔබේ ආහාර ගැනීම පාලනය කිරීම එතරම් අපහසු නොවනු ඇත. ඇතැම්විට, මද වේලාවක් විවේක ගැනීම, මදක් ඇවිදීම, මිතුරෙකු සමග කෙටි කතාබහක යෙදීම වැනි උපක්‍රම මගින් පැණිරස කෑමට ඇති රුචිකත්වය මැඩපවත්වා ගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම, ආහාර ගන්නා විට අවධානය වෙනතකට යොමු නොකර ආහාර ගැනීමට හුරුවන්න. එමගින්, ආහාර පාන වල සැබෑ රසය විඳීමට හැකිවන අතර, පැණිරස ආහාර වලින් මිදීමට එය හේතුවක් වේ.

 

ආහාර වල අඩංගු සීනි ප්‍රමාණයන් ගැන සැමවිටම සැලකිලිමත් වන්න.

ආහාර පාන මිළදී ගන්නා විට, ලේබලය කියවීමට පුරුදු වන්න. එහි ඇති පෝෂ්‍ය පදාර්ථ සහ අමුද්‍රව්‍ය ප්‍රමාණයන් පිළිබඳ අදහසක් ඇතිකරගන්න. යම් ආහාරයක හෝ පානයක ලේබලයෙහි සීනි ග්‍රෑම් 8 කට වඩා අඩංගු වන බව සහ අමතරව සීනි එකතුකර ඇතිබව සඳහන් වේ නම්, එම ආහාරය හෝ පානය මිළදී නොගෙන යලි රාක්කයේ තැබීම නුවනට හුරුය. අමුද්‍රව්‍ය ලැයිස්තුවේ සීනි ඇතිබව සඳහන් නොවේ නම්, එම ආහාරයේ අඩංගු වන්නේ ස්වභාවිකව ඇති සීනි පමණි. එය එතරම් වදවිය යුතු කාරණයක් නොවේ. මක්නිසාද, අපේ ශරීරය ස්වභාවිකව අඩංගු වන සීනි කෙරෙහි ප්‍රතිචාර දක්වන්නේ, ආහාරයේ ඇති අමතර සීනි වලට වඩා වෙනස් අයුරකිනි. අමතර රසකාරක වල බොහෝවිට අඩංගු වන්නේ සුක්‍රෝස්, ඩෙක්ස්ට්‍රෝස්, සෝර්බිටෝල්, මැනිටෝල්, පැණි, අගාවේ නැමැති ශාක සාරය, ඩෙක්ස්ට්‍රින්, මෝල්ටොඩෙක්ස්ට්‍රින්, ෆ්‍රක්ටෝස් අධික කෝන් සිරප්, සහ වෙනත් සිරප් වර්ග වේ. යම් අමුද්‍රව්‍යයක නාමය -ඕස් (-ose) හෝ -ඕල් (-ol) ලෙස අවසන් වේ නම්, බොහෝ විට එය සීනි වර්ගයක් වේ. සුක්‍රලෝස් යනු සීනි වෙනුවට යොදන කෘතිම රසකාරකයකි.

 

ස්වභාවික ආහාර ගැනීමට යොමුවන්න.

සීනි වලින් තොරව ජීවිතය විඳීමට නොහැකි බව සිතනවා නම්, එය එසේ නොවන බව සිතට ගැනීමට කාලය එළඹ ඇත. මක්නිසාද, ස්වභාවික සීනි අඩංගු නැවුම් හෝ වියළි පළතුරු, සීනි එකතු නොකරන ලද යෝගට්, කුරුට්ට සහිත ධාන්‍ය ආහාර, එළවළු ආදිය ආහාරයට ගනිමින් ජීවිතය විඳිය හැකිබව සිතට ගන්න. එමෙන්ම, එවැනි ආහාර වලින් ප්‍රෝටීන්, විටමින්, ඛණිජ ලවණ, සහ තන්තු වැනි අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථද බහුලව ලැබේ. මෙම පෝෂ්‍ය පදාර්ථ රසකැවිලි සහ පැණිබීම වර්ග වල අඩංගු වන්නේ ඉතාම අල්ප වශයෙනි. ස්වභාවික ආහාර වල අඩංගු ප්‍රෝටීන් සහ තන්තු නිසා ආහාර ජීර්ණය සෙමෙන් සිදුවන බැවින්, රුධිරයේ සීනි මට්ටම එකවර ඉහළ යාමද වැළකේ. ඒවා, නැවත ඉක්මනින් කුසගිනි ඇතිවීමද වළක්වන අතර, එමගින් දවස පුරා ඔබ ලබාගන්නා කැලරි ප්‍රමාණය සීමාකිරීමද සිදුකරයි. එමනිසා, අමතර සීනි අඩංගු ආහාර වලට සමුදීම සඳහා ඔබේ ආහාරයේ වැඩි තැනක් පළතුරු, එළවළු, කුරුට්ට සහිත ධාන්‍ය ආහාර, සීනි එකතු නොකරන ලද යෝගට් වැනි ආහාර වලට වෙන්කරන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Andy Rogers)

 

සබැඳි ලිපි:

සීනි, රසකැවිලි, සහ රසකල පානයන් අඩුවෙන් ගතයුත්තේ ඇයි?
ආහාර වල ශක්ති ඝනත්වය ගැන දැනගැනීම වැදගත් වන්නේ ඇයි?
ඔබේ දරුවා නිතර පැණිරස කනවාද?
ඔබේ දරුවා පූර්ව-දියවැඩියා තත්ත්වයෙන් මුදාගන්නේ කෙසේද?
දරුවාගේ දත් ආරක්ෂා කරගනිමු!

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "පැණිරස කෑමට ඇති ආශාවෙන් මිදෙන්නේ කොහොමද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*