දරුවාගේ උගුරේ වේදනාවක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?

දරුවාගේ උගුරේ වේදනාවක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?

උගුරේ වේදනාව යනු දරුවන් අතර තරමක් සුලභ තත්ත්වයකි. බොහොමයක් උගුරේ වේදනාවන් හටගන්නේ වෛරස් ආසාදන හේතුවෙනි. ඒ අතර, සෙම්ප්‍රතිශ්‍යාව සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇති කරන වෛරස වර්ග ප්‍රමුඛස්ථානයක් ගනී. බැක්ටීරියා ආසාදන නිසාද දරුවාගේ උගුරේ වේදනාවක් ඇතිවිය හැක. බොහොමයක් අවස්ථා වලදී, බැක්ටීරියා නිසා ඇතිවන උගුරේ වේදනාව හටගන්නේ Streptococcus pyogenes නැමැති බැක්ටීරියාව නිසාය. කෙසේ වුවත්, එය අවුරුදු දෙකට වඩා අඩු දරුවන්ට ඇතිවන්නේ කලාතුරකිනි. උගුරේ වේදනාව ඇතිවන්නේ ආසාදනය වීමක් නිසාම පමණක් නොවේ. ඇතැම්විට, අසාත්මිකතා (Allergies) ඇතිවිට සහ වියළි වාතයට නිරාවරණය වීම නිසාද උගුරේ වේදනාව ඇතිවිය හැක. එමෙන්ම, දිගටම ඔබේ දරුවා සිගරට් දුම් වලට නිරාවරණය වේ නම්, කල් පවතින උගුරේ වේදනාවක් ඇතිවිය හැක.

 

රෝග ලක්ෂණ

  • උගුරේ වේදනාව
  • උණ
  • බෙල්ලේ වසා ගැටිති ඉදිමීම
  • පිටකරන හුස්ම දුඟදකින් යුතුවීම
  • උගුර කසන සුළු ස්වභාවයක් ගැනීම
  • උගුර රතුපැහැ වීම

 

උගුරේ වේදනාවක් ඇතිවිට කුමක් කල යුතුද?

ඇතැම් සරළ ක්‍රම මගින් උගුරේ වේදනාව සමනය කරගත හැක. ඒවා නම්:

  • උණුසුම් දියර ස්වල්පය බැගින් පානය කිරීම
  • ශීත පානයක් හෝ අයිස් ක්‍රීම් වැනි දෙයක් ආහාරයට ගැනීම. තත්ත්වය තවත් උග්‍ර වේ යැයි සිතා මෙසේ කිරීමට ශ්‍රී ලංකාවේ වෙසෙන මව්වරුන් බොහොමයක් බිය වුවද, උගුරේ වේදනාව සමනය කිරීමට එවැනි සිසිල් ආහාර ගැනීම ඉවහල් කරගත හැක.
  • ඇල් ජලයෙන් හෝ හරිත තේ (Green tea) සාරයෙන් උගුර සේදීම
  • ටොෆී හෝ ලොසින්ජර වැනි දැඩි රසකැවිල්ලක් සෙමෙන් මුවේ දියකරමින් උරාබීම. මෙවැනි රසකැවිලි උගුරේ සිරවීමට වැඩි අවදානමක් ඇති බැවින්, වයස අවුරුදු හතරට වඩා අඩු දරුවන්ට මෙම ක්‍රමය භාවිතා නොකල යුතුබව කරුණාවෙන් සලකන්න.
  • අවශ්‍ය විටෙක නියමිත මාත්‍රාවට අනුව පැරසිටමෝල් (Paracetamol) ලබාදීම

 

උගුරේ වේදනාව ඇති දරුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකල යුතු අවස්ථා මොනවාද?

උගුරේ වේදනාව සමග පහත සඳහන් රෝග ලක්ෂණ පවතී නම්, වෛද්‍ය උපදෙස් ලබාගැනීම සුදුසු වේ.

  • හුස්ම ගැනීමට හෝ ගිලීමට අපහසුතාවයක් පැවතීම
  • දිගටම කුඩා දරුවාගේ මුඛයෙන් පිටතට කෙළ වැගිරීම
  • ඉක්මනින් වෙහෙසට පත්වීම
  • උගුරේ සැරව හෝ සැරව බිබිළි පැවතීම
  • සතියකට වඩා කාලයක් උගුරේ වේදනාව පැවතීම

 

උගුරේ වේදනාව ඇතිවීම වළක්වා ගන්නේ කෙසේද?

බොහොමයක් ආසාදන වැළැක්වීමට යොදාගන්නාක් මෙන්, නිතර හොඳින් අත් සේදීම, උගුරේ වේදනාව ඇතිවීම වළක්වන මූලික උපක්‍රමයකි. එමෙන්ම, ආහාර පාන ගැනීමට යොදාගන්නා පිඟන්, වීදුරු, සහ කෝප්ප අන් අය සමග හවුලේ භාවිතා කිරීමෙන් වැළකීමද වැදගත් වේ. හැකි සෑමවිටම, ඔබේ දරුවා උගුරේ වේදනාව ඇති අන් අයගෙන් ඈත්කර තබන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: littlelionkat)

 

සබැඳි ලිපි:

ශ්වසන පද්ධතියේ ආසාදන වැලැක්වීමට උගුර සෝදමු!
ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිය වැඩි කරගන්නේ කෙසේද?
ඔබේ දරුවාට අත් සේදීමට පුරුදු කලයුත්තේ ඇයි?
ඔබේ දරුවාට උණ සෑදුන විට කුමක් කලයුතුද?
කුඩා දරුවන්ට වැළඳෙන ආසාදන වලක්වා ගන්නේ කෙසේද?

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දරුවාගේ උගුරේ වේදනාවක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*