ව්‍යායාම කිරීමෙන් අනතුරුව වෙහෙසකර බව සන්සිඳුවා ගන්නේ කොහොමද?

ව්‍යායාම කිරීමෙන් අනතුරුව වෙහෙසකර බව සන්සිඳුවා ගන්නේ කොහොමද?

ප්‍රමාණවත් ලෙස ව්‍යායාම කිරීමෙන් ලැබෙන එක් වාසියක් වන්නේ, දවස පුරා සක්‍රීයව වැඩ කටයුතු කිරීමට ශක්තිය ලැබීමයි. නමුත්, එසේ නොවන අවස්ථාද පැවතිය හැක. ව්‍යායාම කිරීමට පෙර තිබුනාටත් වඩා වෙහෙසකාරී බවක් ව්‍යායාම කිරීමෙන් අනතුරුව ඇතිවේ නම්, එයින් ගම්‍ය වන්නේ යම්කිසි ගැටළුවක් ඇති බවයි. එසේ වීමට හේතු කිහිපයක් පැවතිය හැක. එම හේතුව හඳුනා ගෙන එය නිවැරදි කරගැනීමෙන්, ව්‍යායාම කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ලැබෙන එදිනෙදා කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය ලබාගැනීම එතරම් අපහසු කාර්යයක් නොවනු ඇත.

 

සෙමෙන් ආරම්භ කරන්න.

එකවරම සියළු ව්‍යායාම කිරීමට හෝ වැඩි තීව්‍රතාවයකින් ව්‍යායාම කිරීම ආරම්භ කිරීමට උත්සාහ කිරීම එතරම් හොඳ දෙයක් නොවේ. ඔබ ව්‍යායාම කිරීමෙන් අනතුරුව ඇතිවන වෙහෙසකාරී බව ගැන සැලකිලිමත් නම්, ඔබ කරන නරකම ක්‍රියාවක් ලෙස එය හැඳින්විය හැක. උදාහරණයක් ලෙස ඔබ මින් පෙර කර ඇත්තේ කිලෝමීටර් 2 ක් සෙමෙන් දිවීම (Jogging) නම්, එකවර කිලෝමීටර් 5 ක් සෙමෙන් දිවීමට උත්සාහ කරන්න එපා. මුලින්ම ව්‍යායාම කිරීම ආරම්භ කරන විට ඇවිදින්න. එයට ඔබේ ශරීරය හොඳින් හුරු වූ පසු කෙටි දුරක් සෙමෙන් දිවීමට පුරුදුවන්න. කාලය ගතවත්ම, දුවන දුර හෝ කාලය ක්‍රමයෙන් වැඩිකරන්න. ඉතා ඉක්මනින් ව්‍යායාම බොහොමයක් හෝ වැඩි තීව්‍රතාවයකින් ව්‍යායාම කිරීමට උත්සාහ කිරීමේ ප්‍රතිඵලය වන්නේ, ව්‍යායාම වැඩසටහන අවසානයේදී වෙහෙසකාරී බවක් දැනීම පමණි.

 

ඔබේ ආහාර හෙවත් ඉන්ධන වල ගුණාත්මකභාවය ගැන සැලකිලිමත් වන්න.

සිද්ධාන්ත වලට අනුව, ව්‍යායාම වැඩසටහනක් කරන අතරතුර ආහාර ගැනීම සීමාකිරීම මගින් බර අඩුකරගැනීමට හැකියාව ලැබිය යුතුය. මෙය එක්තරා ආකාරයක වැරදි අදහසකි. සැබැවින්ම වන්නේ, ව්‍යායාම වැඩසටහනකට සහභාගී වනවිට ඔබේ ශරීරයට වැඩිපුර ආහාර අවශ්‍ය වීමයි. ව්‍යායාම මගින් වැඩිපුර කැලරි හෙවත් ඉන්ධන දහනය වනවිට, ශරීරය නිසි පරිදි පවත්වා ගැනීමට වැඩිපුර කැලරි ලබාගැනීමට සිදුවේ. ව්‍යායාම කිරීම ආරම්භ කිරීමට පෙර නිවැරදි ආහාර වර්ග ප්‍රමාණවත් ලෙස නොගැනීමෙන්, ව්‍යායාම කිරීමෙන් පසුව ඔබේ ශරීරයේ ශක්තිය සිඳුනු බවක් දැනෙනු ඇත. ඇතැම්විට, ශරීරයට රෝගී බවක්ද දැනෙනු ඇත. තෙල් රහිත මස්, නැවුම් එළවළු හා පළතුරු, සහ කුරුට්ට සහිත ධාන්‍ය වර්ග වැනි විවිධත්වයකින් යුතු ආහාර ගැනීම මගින් අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ගණනාවක් ඔබේ ශරීරයට ලැබෙනු ඇත. එවිට, වැඩිපුර ව්‍යායාම කිරීමට හැකියාව ලැබේ. එමෙන්ම, ව්‍යායාම කිරීමෙන් අනතුරුව කෙටි ආහාරයක් ගැනීමද ඉතාම වැදගත් වේ. ඒ සඳහා ව්‍යායාම කිරීමෙන් විනාඩි 30 කට පසුව, යෝගට් එකක් සමග පළතුරක් හෝ මේදය අඩු කිරි වීදුරුවක් සමග පළතුරක් ආහාරයට ගත යුතුය.

 

සජලනය කිරීමේ වැදගත්කම

ප්‍රමාණවත් ලෙස දියර පානය කිරීමද ඉතාම වැදගත් මුත්, අපට බොහෝවිට මගහැරෙන දෙයකි. එය ව්‍යායාම කරන අතරතුර සහ ව්‍යායාම කිරීමෙන් පසුව පමණක් නොව, ව්‍යායාම කිරීමට පෙර සිටම වැදගත් වන දෙයකි. මක්නිසාද, ඔබේ ශරීරයේ බරින් 60% ක් පමණ ඇත්තේ ජලය වන අතර, සමස්ථ ශරීර පද්ධතියම රඳාපවතින්නේ ජලය මතය. ප්‍රමාණවත් ලෙස දියර පානය නොකලහොත් විජලනය ඇතිවන අතර, එමගින් ශරීර ශක්තිය සැලකිය යුතු ලෙස පහළ යෑම සිදුවේ. ව්‍යායාම කිරීමෙන් පසුව බොහෝ වෙහෙසකර බවක් දැනෙන්නේ නම්, ව්‍යායාම කිරීමට පෙර, අතරතුර, සහ පසුව වැඩිපුර දියර පානය කරන්න.

 

විවේකය

වැඩි තීව්‍රතාවයකින් යුතු ශාරීරික ක්‍රියාකාරකම් කරන අතරතුර ශරීරයේ දුර්වල බවක් දැනීම ඇතැම්විට සිදුවේ. ව්‍යායාම කිරීමෙන් අනතුරුව ප්‍රමාණවත් ලෙස විවේක ගැනීමෙන් ශරීරයට ශක්තිමත් බවක් ඇතිවේ. ඔබේ ශරීරයට දරාගත නොහැකි තරම් ව්‍යායාම ප්‍රමාණයක් හෝ තීව්‍රතාවයකින් යුතු ව්‍යායාම කරන්න එපා. එමගින්, ව්‍යායාම වලට පසුව බොහෝ වෙහෙසකාරී බවක් ඇතිවීම සිදුවේ. ඔබ එසේ කරන්නේ ශරීරයට යහපතක් කිරීමට අපේක්ෂාවෙන් වුවද, සැබැවින්ම සිදුවන්නේ ශරීරයට අනර්ථයක් සිදුවීම පමණි. අධි-තීව්‍රතාවයකින් යුතු ශාරීරික ක්‍රියාකාරකම් කරන්නේ නම්, අවම වශයෙන් පසු දිනය වත් විවේක ගැනීම සිදුකරන්න. එවිට, ඔබේ ශරීරය සිදුවූ හානි අලුත්වැඩියා කරගනිමින් සහ මාංශ පේශි තුලැති ක්ෂය වූ ශක්ති ගබඩා නැවත පුරවා ගනිමින් නව දිනකට සූදානම් වනු ඇත. අධි-තීව්‍රතාවයකින් යුතු ව්‍යායාම සිදුකල දිනට පසුදිනද ව්‍යායාම කිරීමට සිදුවේ නම්, පසු දිනට මද තීව්‍රතාවයකින් යුතු ශාරීරික ක්‍රියාකාරකම් තෝරාගැනීමෙන් ඔබේ ශරීරයට නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වීම පහසු වේ.

 

වෙනත් වෛද්‍ය ගැටළු

නිසි ලෙස ආහාර ගැනීම, විවේක ගැනීම, සහ සජලනය ඔබේ වෙහෙසකාරී බවට පිළියමක් නොවන බව පෙනේ නම්, ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීම වඩාත් උචිත වේ. ඇතැම් පෝෂණ ඌණතා සහ වෙනත් වෛද්‍ය ගැටළු එයට හේතුව විය හැක. ඒවාට නිසි ප්‍රතිකර්ම කිරීමෙන්, වෙහෙසකාරී බව ඉක්මනින්ම පහව යනු ඇත.

 

(ඡායාරූප අනුග්‍රහය: Lidyanne Aquino)

 

සබැඳි ලිපි:

බර එසවීමේ ව්‍යායාම වලට පසුව විවේක ගැනීම
ව්‍යායාම කරන විට ආහාරපාන ගතයුත්තේ කෙසේද?
ව්‍යායාම නොකරන විවේක දිනයක් අවශ්‍ය බවට සලකුණු 5ක්
ව්‍යායාම වැඩසටහනක ප්‍රතිඵල නැතිකරන වැරදි 11 ක්
ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම කිරීම වැදගත් වන්නේ ඇයි?

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ව්‍යායාම කිරීමෙන් අනතුරුව වෙහෙසකර බව සන්සිඳුවා ගන්නේ කොහොමද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*