ගර්භණී සමයේදී ඇතිවන ඔක්කාරය සමනය කරගන්නේ කෙසේද?

ගර්භණී සමයේදී ඇතිවන ඔක්කාරය සමනය කරගන්නේ කෙසේද?

ගර්භණී සමයේදී ඇතිවන ඔක්කාරය පිළිබඳව ගර්භණී වූ කාන්තාවන් බොහොමයකට අත්දැකීම් ඇතිවාට සැකයක් නැත. මෙය උදා ආබාධය (Morning sickness) ලෙස හැඳින්වේ. මෙම තත්ත්වය උදා ආබාධය ලෙස හැඳින්වුවද, දිවා කාලයේ හෝ රාත්‍රී කාලයේ ඕනෑම වේලාවක ඇතිවිය හැක. මෙලෙස ඔක්කාරය ඇතිවීම ගර්භණී සමයේ මුල් ත්‍රයිමාසිකය (First trimester) තුළ වැඩි වශයෙන් සිදුවනු දැකිය හැක. නමුත්, ඇතැම් කාන්තාවට මුළු ගර්භණී සමය පුරාවටම උදා ආබාධය පවතී. කලාතුරකින්, උදා ආබාධය උග්‍ර ලෙස ඇතිවන අතර, එය ගර්භණී අතිඡර්දිය (Hyperemesis gravidarum) ලෙස හැඳින්වේ. එසේ වූ විට, ගර්භණී මව රෝහල්ගත කර ප්‍රතිකර්ම ලෙස ශිරා නැමැති රුධිර වාහිනී ඔස්සේ’>අන්තශ්ශෛරික දියර (Intravenous fluids) සහ ඖෂධ ලබාදීමට සිදුවිය හැක.

 

රෝග ලක්ෂණ

උදා ආබාධය ලෙස ඔක්කාරය ඇතිවීමේදී ඇතැම්විට වමනය යෑම සිදුනොවේ. මෙම තත්ත්වය ගර්භණී සමයේ මුල් ත්‍රයිමාසිකය තුළ බහුලව ඇතිවන අතර, ඇතැම්විට දරු පිළිසිඳ ගැනීමෙන් පසු මුල් සති දෙක තුළදී ආරම්භ වනු දැකිය හැක.

පහත සඳහන් ලක්ෂණ එකක් හෝ පවතී නම්, ඔබේ වෛද්‍යවරයා හමුවීම උචිත වේ.

  • ඔක්කාරය සහ වමනය උග්‍ර ලෙස පැවතීම.
  • උදරයේ වේදනාව සහ උණ පැවතීම.
  • දියර කිසිවක් පානය කිරීමට නොහැකි තරම් තත්ත්වය උග්‍රවීම.
  • මුත්‍රා සුළු ප්‍රමාණයක් පහවීම හෝ මුත්‍රා තද පැහැයක් ගැනීම.
  • සිටගත් විට කරකැවිල්ලක් හෝ ක්ලාන්තයක් ඇතිවීම.
  • වමනය සමග රුධිරය පිටවීම.
  • ඔබේ හෘද ස්පන්දනය හෝ නාඩි වැටීම වේගවත් වීම.

 

උදා ආබාධය ඇතිවන්නේ ඇයි?

උදා ආබාධය ඇතිවීම සඳහා හේතුවන සැබෑ යාන්ත්‍රණය පැහැදිලිව සොයාගෙන නැත. කෙසේ වුවත්, ගර්භාෂයේ පවතින වැදැමහ මගින් ශ්‍රාවය කරන hCG හෙවත් Human Chorionic Gonadotropin නම් වූ හෝමෝනය නිසා උදා ආබාධය ඇතිවන බව වෛද්‍ය වෘත්තිකයන්ගේ අදහසයි. ඉතාමත් කලාතුරකින්, ගර්භණී තත්ත්වයට සම්බන්ධයක් නොමැති තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝග සහ අක්මා රෝග වැනි තත්ත්වයන් නිසාද උග්‍ර ලෙස ඔක්කාරය සහ/හෝ වමනය ඇතිවනු දැකිය හැක.

 

උදා ආබාධය ඇතිවීමට හේතුවිය හැකි අවදානම් සාධක මොනවාද?

ඕනෑම ගර්භණී මවකට උදා ආබාධය ඇතිවිය හැකි මුත්, පහත සඳහන් ලක්ෂණ සහ තත්ත්ව ඇති අයට උදා ආබාධය හටගැනීමට වැඩි අවදානමක් ඇත.

  • ගර්භණී සමයට පෙර, වාහනයක ගමන් කරන විට වමනය යෑම, ඉරුවාරදය (Migraine), ඇතැම් රසයන්ට හා ගන්ධයන්ට ඔක්කාරය ඇතිවීම, පවුල් සැලසුම් පෙති ගැනීමේදී ඔක්කාරය ඇතිවීම වැනි තත්ත්ව පැවතීම.
  • පෙර ගැබ්ගැනීමකදීද උදා ආබාධය හටගෙන තිබීම.
  • උදරය තුළ කලල දෙකක් හෝ එයට වැඩි ගණනක් පැවතීම.

එමෙන්ම, පහත සඳහන් ලක්ෂණ හෝ තත්ත්වයන් ඔබට ඇත්නම්, ගර්භණී අතිඡර්දිය හටගැනීමට වැඩි අවදානමක් ඇත.

  • ඔබේ ගර්භය තුළ ගැහැණු කලලයක් පැවතීම.
  • ඔබේ පවුලේ කාන්තා ඥාතීන්ට ගර්භණී අතිඡර්දිය හටගත් රෝග ඉතිහාසයක් පැවතීම.
  • පෙර ගැබ්ගැනීමකදී ඔබට ගර්භණී අතිඡර්දිය වැළඳී තිබීම.

 

උදා ආබාධය හේතුවෙන් ඇතිවිය හැකි සංකූලතා මොනවාද?

සාමාන්‍යයෙන්, උදා ආබාධය නිසා ගර්භණී මවට හෝ දරුවාට සංකූලතාවයක් ඇතිනොවේ. නමුත්, ඔබ ගැබ්ගැනීමට පෙර ඔබේ උසට සරිලන බරට වඩා අඩු බරකින් යුක්ත වූයේ නම්, උදා ආබාධය හේතුවෙන් ගර්භණී සමයේදී සෞඛ්‍ය සම්පන්නව බර වැඩිවීම සිදුනොවන අතර, අඩුබර දරු උපතක් සිදුවිය හැක. ඉතාමත් කලාතුරකින්, නිතර වමනය යෑම නිසා ගලනාලය තුවාළ වීම හෝ ඉරීයාම සිදුවන අවස්ථා දැකිය හැක.

 

උදා ආබාධය සඳහා සිදුකරන පරීක්ෂණ සහ රෝග විනිශ්චය කිරීම.

උදා ආබාධය සඳහා රෝග විනිශ්චය සිදුකරන්නේ රෝග ලක්ෂණ මත පදනම්වය. නමුත්, ඔබට ගර්භණී අතිඡර්දිය ඇත්නම්, මුත්‍රා සහ රුධිර පරීක්ෂණ කිහිපයක් සිදුකිරීමට ඔබේ වෛද්‍යවරයා නියම කරනු ඇත. ඔබව පරීක්ෂා කරන ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා අතිධ්වනි ස්කෑන් (Ultrasound scan) පරීක්ෂණයක් සිදුකොට ගර්භයේ ඇති කලල ගණන සහ ඔක්කාරය ඇතිවීමට හේතුවිය හැකි වෙනත් තත්ත්වයන් පවතිනවා දැයි පරීක්ෂා කරනු ඇත.

 

උදා ආබාධය සඳහා ප්‍රතිකාර කිරීම.

උදා ආබාධය ඇතිවන බොහොමයක් කාන්තාවන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය නොවේ. නමුත්, රෝග ලක්ෂණ දිගටම පවතී නම් හෝ උග්‍ර නම්, ඔබේ වෛද්‍යවරයා ඖෂධ ප්‍රතිකාර නියම කරනු ඇත. ඔබට ගර්භණී අතිඡර්දිය ඇත්නම්, රෝහල්ගත වීමට උපදෙස් ලබා දී අන්තශ්ශෛරික දියර සහ ඖෂධ ප්‍රතිකාර ලබාදීම සිදුවේ.

 

නිවසේදී කලහැකි ප්‍රතිකර්ම මොනවාද?

නිවසේදී සිදුකල හැකි ප්‍රතිකර්ම සහ ජීවන රටාවේ වෙනස්කම් මගින් උදා ආබාධය සමනය කරගැනීමට හැකියාව ලැබේ.

  • ආහාර තෝරාගෙන අනුභව කිරීම.

කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන් බහුල, මේදය අඩු ආහාර තෝරා ගන්න. මක්නිසාද, එවැනි ආහාර දිරවීමට පහසුය. ඇතැම්විට මදක් ලුණු රසැති ආහාර සහ ඉඟුරු සහිත ආහාර උදා ආබාධය සමනය කරයි. ඇලෙන සුලු, මිරිස් හෝ තුනපහ වැඩි, සහ තෙල් අධික ආහාර ගැනීමෙන් වළකින්න.

  • නිතර කෙටි ආහාර ගන්න.

උදෑසන අවදි වූ වහාම ක්‍රැකර් බිස්කට් කිහිපයක් හෝ ටෝස්ට් කරන ලද සැන්ඩ්විච් එකක් වැනි කෙටි ආහාරයක් ගැනීම වඩා සුදුසුය. දවසට තුන් වරක් විශාල ආහාර වේල් ගැනීම වෙනුවට, දවස පුරා නිතර කෙටි ආහාර වේලක් පරිභෝජනය කරන්න. නිරාහාරව සිටීමෙන් තත්ත්වය තවත් උග්‍රවිය හැක.

  • හොඳින් දියර පානය කරන්න.

දවස පුරා එක් වරකට ජලය ස්වල්පය බැගින් පානය කරන්න. ඉඟුරු රසැති පානයන් ගැනීමෙන්ද තත්ත්වය මදක් සමනය වේ. එමෙන්ම, අයිස් කැට, ඝන ටොෆී වැනි දේවල් ක්‍රමයෙන් මුව තුළ දියකරමින් උරාබීමද සිදුකල හැක.

  • ඔක්කාරය උග්‍ර කරවන සාධක මගහරින්න.

ඔබට ඔක්කාරය ඇතිවීමට හේතුවන ආහාර හෝ ගන්ධයන් මගහරින්න.

  • නැවුම් වාතය හුස්මගන්න.

හැකි තරම්, නිවසේ සහ කාර්යාලයේ දොර ජනෙල් හොඳින් විවෘත කර නැවුම් වාතාශ්‍රය ලැබෙන්නට සලස්වන්න. හැකිවිට, එළිමහනේ කාලය ගතකරන්න, නැතහොත් ඇවිදින්න.

  • ගර්භණී සමයේදී ලබාදෙන විටමින් සහ ඛණිජ ලවණ පෙති නිසි අයුරින් භාවිතා කරන්න.

ඔබට ගර්භණී සමයේදී ගැනීමට නිර්දේශ කර ඇති පෙති වර්ග ගැනීමෙන් අනතුරුව ඔක්කාරය වර්ධනය වේ නම්, ඒවා රාත්‍රී කාලයට හෝ කෙටි ආහාරයක් සමග ගන්න. නැතහොත්, පෙති ගැනීමෙන් පසුව ඝන ටොෆියක් උරාබීම සිදුකරන්න. මෙම පිළියම් වලටද, ඔබේ අපහසුතාවය සමනය නොවේ නම්, ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කර විටමින් සහ ඛණිජ ලවණ ගතහැකි වෙනත් ආකාර කරා යොමුවන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Vanessa Porter)

 

සබැඳි ලිපි:

ඔබටත් ගර්භණී සමයේදී දියවැඩියාව වැළඳුනාද?
ගර්භණී සමයේ ව්‍යායාම කිරීම වැදගත්ද?
ගර්භණී සමයේදී බර පාලනය කරගන්නේ කොහොමද?
ගර්භණී මවක් නිවැරදිව නිදාගන්නේ කොහොමද?
ගර්භණී සමයේ කොන්දේ වේදනාව සමනය කරගන්නේ කෙසේද?

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ගර්භණී සමයේදී ඇතිවන ඔක්කාරය සමනය කරගන්නේ කෙසේද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*