අධික රුධිර පීඩනය සඳහා ප්‍රතිකාර කරන්නේ කොහොමද?

අධික රුධිර පීඩනය සඳහා ප්‍රතිකාර කරන්නේ කොහොමද?

අධික රුධිර පීඩනය සඳහා ප්‍රතිකාර කිරීමේදී සෑම රෝගියෙකුටම දිනචර්යාවේ වෙනස්කම් සිදුකිරීමට වෛද්‍යවරුන් නිර්දේශ කරයි. කෙසේ වුවත්, බොහොමයක් රෝගීන් සිදුකරන වැරැද්දක් වන්නේ, ඖෂධ මත පමණක් විශ්වාසය තබා කටයුතු කිරීමයි. අධික රුධිර පීඩනයට පමණක් නොව වෙනත් රෝග සඳහාද එම වැරැද්ද සිදුකරනු නිතර දැකිය හැකි දෙයකි. ඖෂධ යනු සමස්ථ ප්‍රතිකාරයේ එක් කොටසක් පමණක් බව අමතක නොකල යුතුය. අධික රුධිර පීඩනය සඳහා සිදුකරන ප්‍රතිකාර වල අනෙක් වැදගත්ම අංගය වන්නේ ජීවන රටාව වෙනස් කරගැනීමයි.

අධික රුධිර පීඩනය සඳහා ප්‍රතිකාර ආරම්භ කිරීමට පෙර, ඔබේ වෛද්‍යවරයා ඉදිරි වසර 10 ක කාලය තුළ ඔබට හෘදයාබාධය වැනි හෘත්වාහිනික රෝග (Cardiovascular diseases) වැළඳීමට ඇති අවදානම ගණනය කරනු ඇත. එමෙන්ම, ඔහු හෝ ඇය ඔබට දැනට පවතින වෙනත් අවදානම් සාධක පිළිබඳවද විමසා බලන අතර, අධික රුධිර පීඩනය නිසා දැනටමත් ඔබේ ශරීරයේ වෙනත් අවයව වලට බලපෑම් සිදුවී ඇතිදැයි පරීක්ෂා කරනු ඇත.

 

වෙනත් අවදානම් සාධක ඇතිදැයි බැලීම සඳහා සිදුකරන පරීක්ෂාවන්

  • රුධිරයේ නිරාහාර සීනි මට්ටම (Fasting blood sugar or FBS).
  • රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම.
  • අක්මාවේ මේදය තැන්පත් වී ඇතිදැයි බැලීමට සිදුකරන රුධිර පරීක්ෂණ.
  • ස්ථුලතාවය ඇතිදැයි බැලීමට ශරීර ස්කන්ධ දර්ශකය (Body mass index or BMI) ගණනය කිරීම.

 

අධික රුධිර පීඩනය නිසා වෙනත් අවයව වලට හානි සිදුවී ඇතිදැයි බැලීමට සිදුකරන පරීක්ෂණ

  • වකුගඩු වල ක්‍රියාකාරීත්වය විමසා බැලීමට සිදුකරන රුධිර පරීක්ෂණ සහ මුත්‍රා පරීක්ෂණ.
  • ඇසේ දෘෂ්ටිවිතානයට හානි සිදුවී ඇතිදැයි ඇස් පරීක්ෂා කිරීම.
  • හෘදය වස්තුවට හානි සිදුවී ඇතිදැයි බැලීමට විද්‍යුත් කන්තු රේඛයක් හෙවත් ඊසීජී (Electrocardiogram or ECG) පරීක්ෂණයක් සිදුකිරීම.

 

ඖෂධ ප්‍රතිකාර ආරම්භ කිරීම සහ ප්‍රතිකාර වල ඉලක්ක

පළමු මට්ටමේ අධික රුධිර පීඩනය ඇති අවුරුදු 80 ට වඩා අඩු රෝගීන්ට පහත සඳහන් ලක්ෂණ එකක් හෝ ඇත්නම් ඖෂධ ප්‍රතිකාර ආරම්භ කරනු ඇත.

  • අධික රුධිර පීඩනය නිසා ශරීරයේ අවයව වලට හානි සිදුවී තිබීම.
  • දැනට හෘත්වාහිනික රෝගයක් වැළඳී තිබීම.
  • වකුගඩු වල රෝග.
  • දියවැඩියාව.
  • ඉදිරි වසර 10 ක කාලය තුළ හෘත්වාහිනික රෝගයක් වැළඳීමට 20% ක් හෝ එයට වඩා වැඩි අවදානමක් තිබීම.

ඕනෑම වයසක සිටින රෝගියෙකුට දෙවන හෝ තෙවන මට්ටමේ අධික රුධිර පීඩනය ඇත්නම් ඖෂධ ප්‍රතිකාර ආරම්භ කරනු ඇත. අධික රුධිර පීඩනය වැළඳී ඇති රෝගියාගේ වයස අවුරුදු 40 ට වඩා අඩුනම්, වෙනත් අවයව වලට සිදුවූ හානි, හෘත්වාහිනික රෝග, වකුගඩු රෝග, හෝ දියවැඩියාව නොමැති වුවද විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ අධික රුධිර පීඩනය සඳහා හේතුවිය හැකි ද්වීතීයික හේතු සහ අවයව වලට සිදුවූ හානි සඳහා දැඩිව පරීක්ෂා කල යුතුවේ. මක්නිසාද, මෙම රෝගීන්ගේ ඉදිරි වසර 10 ක කාලයක් සඳහා ගණනය කරන හෘත්වාහිනික රෝග වැළඳීමට ඇති අවදානමට වඩා වැඩි අවදානමක් ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය තුළදී හෘත්වාහිනික රෝගයක් වැළඳීමට තිබිය හැක.

 

ප්‍රතිකාර අධීක්ෂණය කිරීම සහ අයත් කරගත යුතු රුධිර පීඩන ඉලක්කයන්

සාමාන්‍යයෙන්, ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් පසුව මසකට වරක් රුධිර පීඩනය මැන බැලීම ප්‍රමාණවත් වේ. වයස අවුරුදු 80 කට වඩා අඩු රෝගීන් සඳහා ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් පසුව රුධිර පීඩනය 140/90 mm Hg ට වඩා අඩුවෙන් පැවතිය යුතුය. වයස අවුරුදු 80 හෝ එයට වැඩි රෝගීන්ගේ රුධිර පීඩනය පවත්වාගත යුත්තේ 150/90 mm Hg ට වඩා අඩුවෙනි.

 

අධික රුධිර පීඩනය සඳහා ඖෂධ ප්‍රතිකාර

හැකි සෑමවිටම, දිනකට එක් වරක් ලබාගත යුතු ඖෂධ නිර්දේශ කරනු ඇත. නමුත්, එසේ කල නොහැකි අවස්ථාද පවතී. එකලා සංන්‍යස්ථ අධික රුධිර පීඩනය (Isolated systolic hypertension) ඇති රෝගීන්ටද ඖෂධ ප්‍රතිකාර ලබාදිය යුත්තේ, සංන්‍යස්ථ රුධිර පීඩනය (Systolic blood pressure) සහ වින්‍යස්ථ රුධිර පීඩනය (Diastolic blood pressure) යන දෙකම වැඩි රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන අයුරින්මය. එමෙන්ම, වයස අවුරුදු 80 ට වැඩි රෝගීන්ටද, වයස අවුරුදු 55-80 රෝගීන්ට ලබාදෙන ප්‍රතිකාරම ලබාදිය යුතුවේ.

 

  • ඖෂධ ප්‍රතිකාර පළමු පියවර

වයස අවුරුදු 55 ට අඩු රෝගීන්ට කැප්ටොප්‍රිල් (Captopril), එනැලප්‍රිල් (Enalapril) වැනි Angiotensin converting enzyme inhibitors හෙවත් ACE inhibitors කාණ්ඩයේ ඖෂධයක් හෝ ලොසාටන් (Losartan) වැනි Angiotensin II receptor blockers හෙවත් ARB කාණ්ඩයේ ඖෂධයක් නියම කෙරේ. කෙසේ වුවත්, මෙම ඖෂධ කාණ්ඩ දෙකට අයත්වන ඖෂධ දෙකක් එකට ලබානොදේ.

වයස අවුරුදු 55 ට වඩා වැඩි රෝගීන්ට ඉහත සඳහන් කල ඖෂධයක් සමග නිෆෙඩිපින් (Nifedipine), ඇම්ලොඩිපින් (Amlodipine), ඩිල්ටියසම් (Diltiazem) වැනි Calcium channel blockers හෙවත් CCB කාණ්ඩයේ ඖෂධයක් එකට ගැනීමට නිර්දේශ කෙරේ. නමුත්, හෘද අකර්මණ්‍ය වීම (Heart failure) ඇති අයට, හෘද අකර්මණ්‍ය වීමක් ඇතිවීමට අවදානමක් ඇති අයට, Calcium channel blockers කාණ්ඩයේ ඖෂධ ගන්නා විට පාද ඉදිමීම හෝ අපහසුතා ඇතිවන අයට Calcium channel blockers වෙනුවට හයිඩ්‍රොක්ලෝරොතයසයිඩ් (Hydrochlorothiazide or HCT) වැනි Thiazide-like diuretic කාණ්ඩයේ ඖෂධයක් ලබාදෙනු ඇත.

සාමාන්‍යයෙන්, ඇටෙනොලෝල් (Atenolol), මෙටොප්‍රොලෝල් (Metoprolol), ප්‍රොප්‍රනොලෝල් (Propranolol) වැනි Beta blockers කාණ්ඩයේ ඖෂධයක් ආරම්භක ප්‍රතිකාරයක් ලෙස ලබානොදේ. නමුත්, අධික රුධිර පීඩනය ඇති වයසින් අඩු රෝගීන්ට ඇතැම් විට Beta blockers කාණ්ඩයේ ඖෂධ නිර්දේශ කෙරේ. විශේෂයෙන්, පහත ලක්ෂණ එකක් හෝ ඇත්නම්, Beta blockers කාණ්ඩයේ ඖෂධ නිර්දේශ කරනු ඇත.

  • ACE inhibitors කාණ්ඩයේ හෝ ARB කාණ්ඩයේ ඖෂධ ලබාගැනීමේදී අපහසුතා පැවතීම හෝ එවැනි ඖෂධ ලබාදීමට නිර්දේශ නොකල යුතු රෝගියෙක් වීම.
  • ගර්භණී වීමට බලාපොරොත්තු වන කාන්තාවක් වීම.
  • හෘද ස්පන්දන වේගය හෙවත් නාඩි වැටෙන වේගය වැඩිවීම.

 

  • ඖෂධ ප්‍රතිකාර දෙවන පියවර

දෙවන පියවරට යාමට පෙර, රෝගියා පළමු පියවරෙහි ඖෂධ නිසි අයුරින් ලබාගන්නවා දැයි විමසා බැලිය යුතු අතර, ඒවායේ උපරිම මාත්‍රාවන් ලබාගන්නා අතරතුරදීත් රුධිර පීඩනය පාලනය නොවන්නේ දැයි පරීක්ෂා කර බැලිය යුතුය. පළමු පියවරේ ඖෂධ ප්‍රතිකාර මගින් රුධිර පීඩනය පාලනය නොවන රෝගීන් සඳහා දෙවන පියවරේ ඖෂධ ප්‍රතිකාර ලබාදෙනු ලබයි. මෙහිදී CCB කාණ්ඩයේ ඖෂධයක් සමග ACE inhibitors කාණ්ඩයේ ඖෂධයක් හෝ ARB කාණ්ඩයේ ඖෂධයක් එකට ලබාදීම සිදුවේ. නමුත්, හෘද අකර්මණ්‍ය වීම ඇති අයට, හෘද අකර්මණ්‍ය වීමක් ඇතිවීමට අවදානමක් ඇති අයට, CCB කාණ්ඩයේ ඖෂධ ගන්නා විට පාද ඉදිමීම හෝ අපහසුතා ඇතිවන අයට CCB කාණ්ඩයේ ඖෂධ වෙනුවට හයිඩ්‍රොක්ලෝරොතයසයිඩ් (Hydrochlorothiazide or HCT) වැනි Thiazide-like diuretic කාණ්ඩයේ ඖෂධයක් ලබාදෙනු ඇත.

 

  • ඖෂධ ප්‍රතිකාර තෙවන පියවර

තෙවන පියවරට යාමට පෙර, රෝගියා දෙවන පියවරෙහි ඖෂධ නිසි අයුරින් ලබාගන්නවා දැයි විමසා බැලිය යුතු අතර, ඒවායේ උපරිම මාත්‍රාවන් ලබාගන්නා අතරතුරදීත් රුධිර පීඩනය පාලනය නොවන්නේ දැයි පරීක්ෂා කර බැලිය යුතුය. රෝගියාගේ රුධිර පීඩනය පාලනය කිරීමට ඖෂධ තුනක් අවශ්‍ය වේ නම්, ACE inhibitors කාණ්ඩයේ ඖෂධයක් හෝ ARB කාණ්ඩයේ ඖෂධයක් සමග CCB කාණ්ඩයේ ඖෂධයක් සහ Thiazide-like diuretic කාණ්ඩයේ ඖෂධයක් එකට නිර්දේශ කෙරේ.

 

  • ඖෂධ ප්‍රතිකාර සිව්වන පියවර

සිව්වන පියවරට යාමට පෙර, රෝගියා තෙවන පියවරෙහි ඖෂධ නිසි අයුරින් ලබාගන්නවා දැයි විමසා බැලිය යුතු අතර, ඒවායේ උපරිම මාත්‍රාවන් ලබාගන්නා අතරතුරදීත් රුධිර පීඩනය පාලනය නොවන්නේ දැයි පරීක්ෂා කර බැලිය යුතුය. මෙම පියවරේදී සිව්වන ඖෂධයක් එකතුකිරීම සහ/හෝ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගැනීම සඳහා යොමුකිරීම සිදුවේ. මෙහිදී රෝගියාගේ රුධිරයේ පොටෑසියම් අයන මට්ටම 4.5 mmol/l හෝ එයට අඩුනම්, අඩු මාත්‍රාවකින් ස්පයිරනොලැක්ටෝන් (Spiranolactone) වැනි ඖෂධයක් එකතුකරනු ඇත. නමුත්, මෙම ඖෂධය රෝගියාගේ වකුගඩු වල ක්‍රියාකාරීත්වය දුර්වල නම්, ලබාදීමට අපහසුය. රෝගියාගේ රුධිරයේ පොටෑසියම් මට්ටම 4.5 mmol/l වලට වඩා වැඩි නම්, Thiazide-like diuretic කාණ්ඩයේ ඖෂධයක් වැඩි මාත්‍රාවකින් ලබාදිය හැකිය. සිව්වන පියවරෙහි ඖෂධ ආරම්භ කර මාසයකට පසු රෝගියාගේ රුධිරයේ සෝඩියම් හා පොටෑසියම් මට්ටම, මෙන්ම වකුගඩු ක්‍රියාකාරීත්වයද පරීක්ෂා කරනු ඇත. මෙම පරීක්ෂාවන් අවශ්‍ය පරිදි නැවත කරනු ඇත. සිව්වන පියවරෙහි ඖෂධ වලට රෝගියාට අපහසුතා ඇතිවේ නම්, එම ඖෂධ රෝගියාට ලබාදීමට නොහැකි නම්, හෝ එම ඖෂධ වලින් රුධිර පීඩනය පාලනය නොවේ නම්, Beta blockers කාණ්ඩයේ ඖෂධයක් හෝ ප්‍රසොසින් (Prazosin) වැනි Alpha blockers කාණ්ඩයේ ඖෂධයක් එකතු කරනු ඇත. ඖෂධ හතරක් ලබාදිය හැකි උපරිම මාත්‍රාවන්ගෙන් ලබාගනිද්දී රෝගියාගේ රුධිර පීඩනය පාලනය නොවේ නම්, විශේෂඥ වෛද්‍ය උපදෙස් සඳහා යොමුකරනු ඇත.

 

(ඡායාරූප අනුග්‍රහය: Quinn Dombrowski)

 

සබැඳි ලිපි:

අධික රුධිර පීඩනය ගැන මදක් දැනගනිමු.
අධික රුධිර පීඩනය වැළඳීමට ඔබටත් අවදානමක් තිබෙනවාද?
අධික රුධිර පීඩනය නිසා ඇතිවිය හැකි සංකූලතා ගැන දැනගනිමු.
ඔබට අධික රුධිර පීඩනය ඇතැයි රෝග විනිශ්චය කරන්නේ කෙසේද?
රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ජීවන රටාව වෙනස්කර ගනිමු.
අධික රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ඉඟි 10 ක්…

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

2 Comments on "අධික රුධිර පීඩනය සඳහා ප්‍රතිකාර කරන්නේ කොහොමද?"

  1. දිමුතු | January 23, 2018 at 4:19 pm | Reply

    ඉතා හොඳ දැනුමක් ලැබේ. මෙම රෝග සඳහා ආහාර පාලනය, ආහාරයට සුදුසු නුසුදුසු දෑ පිළබඳවද දැනුවත් විය හැකිනම් හොඳයි.

    • වෛද්‍ය නාලක ප්‍රියන්ත | June 7, 2018 at 3:33 am | Reply

      මෙම වෙබ් අඩවියේ වෙනත් ලිපි වල සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවන් පිළිබඳ විස්තර ඇතුළත් වේ. ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි!

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*