මානසික සුවතාවය වැඩිදියුණු කරගන්නේ කෙසේද?

මානසික සුවතාවය වැඩිදියුණු කරගන්නේ කෙසේද?

ශාරීරික යෝග්‍යතාවය සහ නිසි පෝෂණය ආදී සාධක ඇත්නම් වැඩිහිටියෙකුට දිගු ආයුකාලයක් ගතකිරීම එතරම් අපහසු දෙයක් නොවේ. එමනිසා, සෞඛ්‍ය සම්පන්න දිවියකට අත්‍යාවශ්‍ය සංඝටක දෙකක් ලෙස ආහාර සහ ව්‍යායාම දැක්විය හැක. කෙසේ වුවත්, මෙහිදී මනස සහ ශරීරය අතර පවතින සම්බන්ධතාවයද අප අමතක නොකල යුතුය. දශක ගණනාවක් තිස්සේ, ව්‍යායාම, කායවර්ධනය, තන්තු බහුල ආහාර, එළවළු, පළතුරු ආදී සෞඛ්‍ය සම්පන්න දිවියකට අවැසි සාධක කතාබහට ලක්වුවත්, ඇතැම් විට පහසුවෙන් අමතක වන වැදගත් සාධකයක් වන්නේ අපේ මොළයයි. සමහර වෛද්‍ය පර්යේෂකයන්ට අනුව, කායික රෝග ගණනාවක්ම හටගැනීම සඳහා අපේ මොළය ක්‍රියාත්මක වන ආකාරය සැලකිය යුතු බලපෑමක් ඇතිකරයි. එබැවින්, මානසික සුවතාවය යනු අපට ඉතාම වැදගත් වන දෙයකි.

හදිසි අනතුරකින් සිදුවූ තුවාලයක් හෝ අනතුරක් හැරුණු විට, යම් රෝගයක ශාරීරික රෝග ලක්ෂණ, භාවාත්මක රෝග ලක්ෂණ වලින් වෙන්කිරීම අපහසු වේ.

අපගේ මොළයේ සිතුවිලි හටගැනීමේ ක්‍රියාවලිය මගින් අපගැන අපටම හැඟීමක් සහ අවබෝධයක් ඇත. එමගින්, අප අවට පරිසරයෙන් සංවේදන සහ අත්දැකීම් ලබාගැනීම සිදුවේ. එහෙයින්, අපට සමාජයේ සහ පරිසරයේ කොටසක් වීමට අවකාශ ලැබෙන අතර, සමාජයට යමක් දීමටද හැකියාව ලැබේ.

අපගැන හැඟීමක් ඇතිකිරීමට අමතරව, අපේ මොළය දිගටම තොරතුරු සකස් කරමින්, සතුටින් ජීවත්වීමට ශරීරයට උපදෙස් ලබාදේ. එසේ නම්, කායික සුවතාවය රැකගැනීමට ව්‍යායාම වැඩසටහනක් සැලසුම් කරන්නාක් මෙන්, මානසික සුවතාවය රැකගැනීමට වැඩසටහනක් සැලසුම් කරන්නේ කෙසේද? මානසික යෝග්‍යතා වැඩසටහනක් සැලසුම් කිරීමේදී, මොළයේ සෑම කොටසක්ම සම්බන්ධ කරගනිමින් එය සැලසුම් කල යුතුය. මොළය සක්‍රීයව සහ නිසි යෝග්‍යතාවයකින් පවත්වා ගැනීම ඕනෑම වයසක සිටින අයෙකුට එකලෙස වැදගත් වේ. එය මානසික තීක්ෂණභාවය ඇතිකර, වයස්ගත වනවිට චිත්ත වික්ෂේපය (Dementia) වැළඳීම වළක්වනවා පමණක් නොව උසස් මානසික ක්‍රියාකාරීත්වයක් ඇතිවීමටද හේතුවේ.

නිසි මානසික සුවතාවයක් පවත්වා ගැනීමට අප කලයුත්තේ අපගේ එදිනෙදා කටයුතු මදක් වෙනස් කිරීම පමණි. එය එතරම් සංකීර්ණ ක්‍රමවේදයක් නොවේ.

 

සම්මත දිනචර්යාවෙන් මදක් මිදෙන්න.

එකම ආකාරයට දිනචර්යාව ගතකිරීමෙන් මොළය උත්තේජනය වීම සීමාවේ. එමනිසා, යම් කාර්යයක් සිදුකිරීමට වෙනස් විධි භාවිතා කරන්න. උදාහරණ වශයෙන්, අලුත් ආහාරයන් ගැනීම, එකම ආහාරය පිළියෙල කිරීමට වෙනස් ආකාරයන් තෝරාගැනීම, යම් ගමනාන්තයකට ගමන් කිරීමට වෙනස් මාර්ග තෝරාගැනීම ආදිය දැක්විය හැක.

 

උපකාර කරන්න.

අන් අයට ස්ව කැමැත්තෙන්ම උපකාර කිරීමට ඔබේ කාලයෙන් බිඳක් වැයකිරීම, මානසික සුවතාවය වැඩිදියුණු කිරීමට හේතුවන බව සොයාගෙන ඇත. අන් අය සමග සම්බන්ධතා පැවැත්වීම, උපකාර කිරීම, සහ සමාජශීලීවීම මගින්, මානසික ආතතිය (Stress) සහ අනිසි බිය (Anxiety) මැඩපවත්වන හෝමෝන නිපදවීම වැඩිවේ.

 

හොඳ නින්දක් ලබාගැනීම.

ගුණාත්මක නින්දක් ලබාගැනීම මගින් ඔබේ මාංශ පේශි සහ සන්ධි වලට ලිහිල් වීමට අවකාශ ලැබෙන අතර, ඒවා අලුත්වැඩියා කරගැනීමටද හැකියාව ලැබේ. එයට අමතරව, හොඳ නින්දක් මගින් මානසික තීක්ෂණභාවයද වැඩිදියුණු වේ.

 

කාලය ගෙන වැඩකරන්න.

අනවශ්‍ය ලෙස කලබලයෙන් වැඩකරන්න එපා. අවශ්‍ය ලෙස කාලය ගෙන, මානසික ඒකාග්‍රතාවය පවත්වා ගනිමින් නිවැරදිව ඔබේ කාර්යයන් සිදුකරන්න. කලබල වීමෙන් මානසික ආතතිය සහ අනිසි බිය ඇතිවේ. අවශ්‍ය ලෙස කාලය ගෙන වැඩකිරීමට හුරුවීමෙන්, මානසික ඒකාග්‍රතාවය වැඩිදියුණු වන අතර මනස වෙනත් දේවල් කෙරෙහි ඇදීයාමද වැළකේ. එය ඔබේ බුද්ධිය සහ මානසිකත්වය ඉහළදැමීමට හේතුවේ.

 

නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් කරන්න.

නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදෙන්නේ නම් වයස්ගත වනවිට චිත්ත වික්ෂේපය වැළඳීමට ඇති අවදානම 60% කින් අඩුවන බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. ශාරීරික ක්‍රියාකාරකම් කිරීමෙන් මොළයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩිවන අතර, ස්නායු සහ අනෙකුත් සෛල ශක්තිමත් කරන ප්‍රෝටීනයක් නිදහස් වීමද සිදුවේ. නර්තනය කිරීම මගින් ඉහත සියල්ල සිදුවන අතර, එයට අමතරව ඉගෙනීමට සහ මතකයට අදාළ මොළයේ ක්‍රියාකාරීත්වයද වැඩිදියුණු වේ.

 

මොළයේ සුවතාවයට හේතුවන ආහාර ගන්න.

ඔමේගා-3-මේද අම්ල (Omega-3-fatty acids), මොළයේ නිසි ක්‍රියාකාරීත්වයට අත්‍යාවශ්‍ය වන පෝෂ්‍ය පදාර්ථයකි. එමනිසා, ඔමේගා-3-මේද අම්ල අඩංගු සැමන්, සාඩින්, බලමාළු, කෙලවල්ලා, කුම්බලාවා වැනි තෙල් සහිත ලොකු මාළු සහ සෝයා තෙල්, සූරියකාන්ත තෙල් වැනි ආහාර ගන්න.

 

මදහස පාන්න.

ජීවිතයේ හොඳ දේවල් වලට අවධානය යොමුකිරීම, මදහස පෑම, සහ ඡායාරූප වැනි අතීත අත්දැකීම් නැරඹීම වැනි දේ මගින් මොළයේ ස්නායු අතර අන්තර් සම්බන්ධතා වැඩිදියුණු වන අතර, එමගින් සතුටින් ජීවත්වීමට හැකියාව ලැබෙන බව පර්යේෂකයන්ගේ අදහසයි.

 

අවශ්‍ය විටෙක හඬනගා සිනාසීමට මැලිවෙන්න එපා.

හඬනගා සිනාසීම අභ්‍යන්තරයේ සිදුවන සෙමෙන් දිවීමක් (Jogging) වැනි ක්‍රියාවලියකි. එහිදී, එන්ඩෝෆින් (Endorphins) සහ ඩොපැමින් (Dopamine) නම් වූ රසායන ද්‍රව්‍යයන් නිදහස් වන අතර, ඒවා සතුටුදායක හැඟීම් වැඩිකරයි. එමනිසා, අවශ්‍ය විටෙක හඬනගා සිනාසීමට මැලිවෙන්න එපා. එය, මතකය සහ ජීවිතයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කරන හොඳ ඖෂධයක් බව අමතක කරන්න එපා.

කෙසේ වුවත්, ඔබේ මානසික සුවතා වැඩසටහන තනිවම කරන්න එපා. එය, මිතුරෙකු සමග හවුලේ සිදුකරන්න. එමගින්, මානසික සුවතා වැඩසටහනට අනුගත වී වැඩකිරීම පහසුවන අතර, ඔබේ ඉලක්කයන් කරා ගමන්කිරීමද පහසු වේ. එමෙන්ම, ඔබේ වැඩසටහන නිර්මාණාත්මකව සහ සතුටුදායක ලෙස සිදුකිරීමටද එය පිටුවහලක් වේ.

 

(ඡායාරූප අනුග්‍රහය: Tom Coppen)

 

සබැඳි ලිපි:

සරල ලෙස ජීවත්වන්නේ කෙසේද?
මානසික ආතතිය මාරාන්තික විය හැකියි
නවීන සමාජයේ සරළව ජීවත්වීමට ක්‍රම 6 ක්
ඔබේ ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීමට ක්‍රම 10 ක්
ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීම සඳහා ක්‍රියාකාරකම්

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "මානසික සුවතාවය වැඩිදියුණු කරගන්නේ කෙසේද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*