ඔබේ බර අඩුකරගත යුත්තේ ඇයි?

ඔබේ බර අඩුකරගත යුත්තේ ඇයි?

අප සමාජයේ වෙසෙන බොහොමයක් අයගේ සිතෙහි බර අඩුකරගැනීමට සිතුවිල්ලක් තිබෙනවා යැයි පැවසුවහොත් එය පුදුමයක් නොවේ. මක්නිසාද, ශ්‍රී ලාංකීය ජනතාවගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අධිබර හෝ ස්ථුලතාවයෙන් පෙළේ. වයස අවුරුදු 18-60 ත් අතර ශ්‍රී ලාංකිකයන් සැලකුවහොත්, පුරුෂයන්ගෙන් 22% කට අධිබර සහ 4.2% කට ස්ථුලතාවය පවතී. එම වයස් කාණ්ඩයේම කාන්තාවන් ගත්කල 24.6% ක් අධිබරෙන් සහ 6.9% ක් ස්ථුලතාවයෙන් පෙළේ. කෙසේ වුවත් ඔබේ බර අඩුකරගත යුත්තේ ඇයිද යන්න හේතු සහිතව අවබෝධ කරගතහොත්, එයම බර අඩුකරගැනීම සඳහා කටයුතු කිරීමට හොඳ පෙළඹවීමක් වනු ඇත. විශේෂයෙන්ම, බර වැඩිවීම නිසා ජීවිතයට සැලකිය යුතු තර්ජනයක් වියහැකි රෝග වලින් පෙළෙන්නන්ට සහ එවැනි රෝග වැළඳීමට වැඩි අවදානමක් ඇති අයට මෙය වැදගත් වේ.

 

ඔබේ සෞඛ්‍යයට ඇති අවදානම

ඔබේ බර අඩුකරගැනීම සඳහා ප්‍රධානතම හේතුව වන්නේ, අධිබර හෝ තරබාරුවීම නිසා ඔබේ සෞඛ්‍යයට වන බලපෑමයි. ඔබේ බර වැඩිවත්ම, ඇතැම් දරුණු රෝග වැළඳීමට ඇති අවදානම ක්‍රමයෙන් වැඩිවන බව අමතක නොකල යුතුය. ඒවා අතර, හෘදයාබාධය, අධික රුධිර පීඩනය, දියවැඩියාව, රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම, අංශභාගය හෙවත් ආඝාතය, සන්ධි ප්‍රදාහය හෙවත් ආත්‍රයිටිස්, පර්යන්ත වාහිනික රෝගය (Peripheral vascular disease or PVD), ඇතැම් පිළිකා, අවරෝධක නිදි ඇප්නියාව/නෛරානය (Obstructive sleep apnoea) වැනි රෝග පවතී. අධිබර හෝ තරබාරුවීම නිසා වැළඳීමට ඇති අවදානම වැඩිවන පිළිකා අතර, පියයුරු, බඩවැල්, ගලනාලය, ගර්භාෂය, ගැබ්ගෙල, ඩිම්බ කෝෂ, වකුගඩු, අග්න්‍යාශය, තයිරොයිඩ් ග්‍රන්ථිය, පිත්තාශය, සහ පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව වැළඳෙන පිළිකා පවතී. ඔබගේ දැනට පවතින බරෙන් 5-10% ක් වැනි ප්‍රමාණයක් අඩුකරගැනීමෙන් වුවද, දිගුකාලීන රෝග වැළඳීමට ඇති අවදානම සැලකිය යුතු ලෙස අඩුවේ.

 

ශාරීරික යෝග්‍යතාවයට වන බලපෑම

අධිබර හෝ තරබාරුවීම නිසා ඔබේ ශාරීරික යෝග්‍යතාවය බොහෝදුරට අඩුවේ. සැබැවින්ම ඔබ තරඟයකට සහභාගී නොවූවත්, එදිනෙදා කටයුතු සක්‍රීයව සහ කාර්යක්ෂමව කිරීම සඳහා ශාරීරික යෝග්‍යතාවය වැදගත් වේ. ශරීරයේ බඳ කොටස මහත්වීම මගින්, හුස්ම ගැනීමට අපහසුතා ඇතිවන අතර, එමගින් ඇවිදීම හෝ පඩි නැගීම වැනි සරළ ශාරීරික ක්‍රියාකාරකමක් පවා කරගැනීමට අපහසු වියහැක. නිතිපතා ව්‍යායාම කිරීමෙන් ඔබේ බර අඩුවන අතර, නැවත ශාරීරික යෝග්‍යතාවය ඇතිකරගෙන එදිනෙදා කටයුතු සක්‍රීයව කිරීමට හැකියාව ලැබේ.

 

ආත්ම විශ්වාසයට වන බලපෑම

ඔබ ගැන ඔබේ සිතට දැනෙන ආකාරයට සැලකිය යුතු බලපෑමක් කිරීමට ඔබේ බරට හැකිබව ඔබ දැනගෙන සිටියාද? බර වැඩිවත්ම ඔබේ ප්‍රියතම ඇඳුම් පැළඳුම් වලින් ඈත්වීමට ඔබට සිදුවේ. ඇතැම් අය, බර වැඩිවීම නිසා සමාජයේ ගැවසීමට මැලිකමක් දක්වයි. ශරීරයේ බර ක්‍රමයෙන් වැඩිවත්ම මානසික ආතතියද වැඩිවන බව සොයාගෙන ඇත. බර අඩුකරගන්නා අය මෙන්ම නිසි බර පවත්වාගන්නා අයද කායිකව සහ මානසිකව ඉහළ මට්ටමක සිටින බව පර්යේෂකයන්ගේ අදහසයි.

 

සැලකිය යුතු කරුණු

බර අඩුකරගැනීම සඳහා ව්‍යායාම වැඩසටහනක් හෝ ආහාර සැලසුමක් ආරම්භ කිරීමට පෙර ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීම සුදුසුය. ඔබට දැනටමත් රෝගයක් ඇත්නම් හෝ අධිකව තරබාරු නම්, ඔබේ අවශ්‍යතාවයන් අනුව බර අඩුකරගැනීමේ වැඩසටහන සැලසුම් කිරීමට වෛද්‍යවරයා උපකාර කරනු ඇත. කෙසේ වුවත්, ඔබේ ඉලක්කයන් තාත්ත්වික මෙන්ම, වැඩි අපහසුතාවයකින් තොරව මුදුන් පමුණුවාගත හැකිවීම වැදගත් වේ. එසේ නොවුවහොත්, ඉලක්කය කරා ගමන්කිරීමට අසමත්වීමෙන් ඉච්ඡාභංගත්වයට පත්වී, බර අඩුකරගැනීමට කරන ලද උත්සාහය මුලුමනින්ම අත්හැර දමනු ඇත.

 

(ඡායාරූප අනුග්‍රහය: Tony Alter)

 

සබැඳි ලිපි:

ඇතැම් අයගේ බර වේගයෙන් වැඩිවන්නේ ඇයි?
බර පාලනය කිරීමට අප උනන්දු නොවන්නේ ඇයි?
ව්‍යායාම සහ කෑම පාලනය කරන විටදීත් ඔබේ බර වැඩිවෙනවාද?
ස්ථුලභාවය සහ ආහාර පාලනය
ඔබ කොපමණ ඉක්මනින් බර අඩුකරගත යුතුද?

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

1 Comment on "ඔබේ බර අඩුකරගත යුත්තේ ඇයි?"

  1. J.M Dinetha Samudra Jayasundara | February 21, 2017 at 5:44 am | Reply

    වෛද්‍ය තුමනි මෙවන් ලිපි පලකිරීම සම්බන්ධව අප ඉතා කාරැණික වන්නෙමු.

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*