දරුවාගේ උගුරේ යමක් සිරවුවහොත් කුමක් කල යුතුද?

දරුවාගේ උගුරේ යමක් සිරවුවහොත් කුමක් කල යුතුද?

ඔබේ දරුවාගේ උගුරේ යමක් සිරවුවහොත්, එය ඔහුගේ හෝ ඇයගේ ජීවිතයට පවා තර්ජනයක් වියහැකි තත්ත්වයකි. බොහොමයක් අවස්ථා වලදී, දෙමව්පියන් හෝ වැඩිහිටියන් අනවශ්‍ය ලෙස කලබලයට පත්වී ගන්නා ඇතැම් ක්‍රියාමාර්ග නිසා තත්ත්වය දරුණු අතට හැරීම දක්නට ලැබේ. එමනිසා, ඔබේ දරුවාගේ උගුරේ යමක් සිරවුවහොත්, කලයුතු නිවැරදි ක්‍රියාමාර්ගයන් පිළිබඳ දැනුවත් කිරීම මෙම ලිපියෙහි අරමුණයි. එවැනි අවස්ථාවකදී අනවශ්‍ය ලෙස කලබලයට පත්වී කරන අනුවනකම් මගින් ඔබේ දරුවාට වන හානිය දරුණු වනබව සැමවිටම සිතේ තබාගන්න.

 

ඔබේ දරුවාගේ උගුරේ යමක් සිරවී ඇතිබව වටහාගන්නේ කෙසේද?

ඔබේ දරුවා ක්ෂණිකව පහත සඳහන් ලක්ෂණ පෙන්වයි නම්, උගුරේ යමක් සිරවී ඇතිබවට සැකකල හැක.

  • අමාරුවෙන් හුස්ම ගැනීම හෝ හතිය/ඇදුම වැනි ශබ්දයක් ඇසීම.
  • කතාකිරීමට, ඇඬීමට, හෝ ශබ්දයක් පිටකිරීමට නොහැකිවීම.
  • මුහුණ නිල් පැහැ වීමට පටන් ගැනීම.
  • උගුර අල්ලාගැනීම හෝ කලබලයෙන් දෑත් වැනීම.
  • බියවූ ස්වභාවයක් ගැනීම.
  • සිහිසුන් වීම.
  • කහින්නට නොහැකිවීම.

 

ඔබේ දරුවාගේ උගුරේ යමක් සිරවුවහොත් කුමක් කල යුතුද?

ඔබේ දරුවාගේ උගුරේ යමක් සිරවුවහොත්, හැකි ඉක්මනින් ළඟම ඇති රෝහලකට දරුවා රැගෙන යාමට කටයුතු කරන්න. නිවසේ වෙනත් අයෙකු සිටීනම්, වහාම එසේ කිරීමට කටයුතු සූදානම් කරන්නැයි පවසන්න. ඔබ හයිම්ලික් ක්‍රමවේදය (Heimlich maneuver) කිරීමට පුහුණු වූ අයෙක් නම්, වහාම එම ක්‍රමවේදය සිදුකරන්න. මෙය උදරය තෙරපීම (Abdominal thrusts) නමින්ද හැඳින්වේ. අවාසනාවකට මෙන්, ශ්‍රී ලාංකීය සමාජයේ වෙසෙන බොහොමයක් දෙමව්පියන්ට සහ වැඩිහිටියන්ට මෙම ක්‍රමවේදය පිළිබඳ දැනුමක් නොමැත. මෙම ක්‍රමවේදය වැරදි ආකාරයකට කලහොත්, ඔබේ දරුවා තවත් අපහසුතාවයට පත්විය හැක. එමනිසා, වෛද්‍යවරයෙකුගේ හෝ ප්‍රථමාධාර පුහුණුකරුවෙකුගේ අධීක්ෂණය යටතේ හයිම්ලික් ක්‍රමවේදය නිවැරදිව පුහුණුවීම ඉතාම වැදගත් බව සිතට ගන්න.

  • හයිම්ලික් ක්‍රමවේදය සිදුකරන්නේ කෙසේද?

වයස අවුරුදු 1 කට වඩා වැඩි දරුවෙක් නම්, හයිම්ලික් ක්‍රමවේදය සිදුකිරීමට පෙර පිටට පස් වතාවක් වැරෙන් තට්ටු කරන්න. මෙහිදී, පහරදිය යුත්තේ අත්ලෙහි විළුඹ වැනි ප්‍රදේශය භාවිතා කරමින්, දරුවාගේ පිටේ උරපතු දෙක අතර ප්‍රදේශයටය.

ඉන් අනතුරුව, හයිම්ලික් ක්‍රමවේදයට අනුව දරුවාගේ උදරය පස් වතාවක් තෙරපන්න. නැවතත්, පස් වතාවක් වැරෙන් දරුවාගේ පිටට තට්ටු කරන්න. මෙසේ, මෙම ක්‍රමවේදයන් දෙක මාරුවෙන් මාරුවට සිදුකරන්න.

හයිම්ලික් ක්‍රමවේදය සිදුකිරීම සඳහා දරුවාගේ පිටුපසින් සිටගන්න. අනතුරුව, දරුවාට මදක් ඉදිරියට නැවීමට සලස්වා දරුවාගේ ඉණ වටා දෑත් දිගුකරන්න. එක් අතක මිට මොළවාගන්න. එය, දරුවාගේ නාභියට මදක් ඉහලින් තබාගන්න. අනෙක් අතින් මිට මොළවාගත් අත තදින් ග්‍රහණය කරගෙන දරුවාගේ උදරය ඉක්මනින් සහ වැරෙන් උඩු අතට තෙරපන්න. මෙහිදී, මෙම තෙරපීම කලයුත්තේ දරුවා ඉහලට එසවීමට උත්සාහ කරන්නාක් මෙනි. මෙසේ, පස් වතාවක් උදරය තෙරපන්න.

Heimlich maneuver

දරුවා ඉක්මනින් රෝහලකට ගෙනයාම සඳහා කටයුතු සම්පාදනය කරන අතරතුර, මෙම ක්‍රමවේදයන් සිදුකිරීම සුදුසුය. නිවසේ සිටින එකම වැඩිහිටියා ඔබ නම්, උදවු ඉල්ලා දිවයෑමට ප්‍රථම මෙම ක්‍රමවේදය සිදුකර ඉන් අනතුරුව උදවු ලබාගැනීමට කටයුතු කිරීම වඩාත් උචිත වේ.

දරුවාගේ වයස අවුරුදු 1 ට වඩා අඩුනම්, හයිම්ලික් ක්‍රමවේදය සිදුකල නොහැක. එවැනි අවස්ථාවකදී, පුටුවක වාඩිවී හෝ එම ඉරියව්වේ සිටින අයුරින් සිට, දරුවාගේ මුහුණ බිමට මුහුණ ලා තිබෙන අයුරින් ඔබේ යටි බාහුව මත දරුවා තබාගන්න. මෙහිදී, ඔබේ යටි බාහුව ඔබේ කලවය මත තබාගත යුතුය. ඉන් පසුව, ඔබේ අනෙක් අතේ අත්ලෙහි විළුඹ වැනි ප්‍රදේශය භාවිතාකර, දරුවාගේ පිට මැදට තරමක් වැරෙන් පස් වතාවක් තට්ටු කරන්න. ගුරුත්වයේ බලපෑම සහ පිටට පහරදීම නිසා උගුරේ සිරවූ දෙය ඉවත්වීම සිදුවේ. නමුත්, මෙම ක්‍රමවේදයෙන් උගුරේ ඇති අවහිරතාවය ඉවත් නොවුවහොත්, නැවත දරුවා ඔබගේ යටි බාහුව මත උඩුබැලි අතට හරවාගන්න. මෙහිදී දරුවාගේ හිස, දරුවාගේ කඳට වඩා මදක් පහතින් තිබිය යුතුය. ඉන් පසුව, ඔබේ අනෙක් අතෙහි ඇඟිලි දෙකකින් දරුවාගේ පපු ඇටයේ මැද ප්‍රදේශය පස් වතාවක් ඉක්මනින් තෙරපන්න. මෙසේ, පිටට පහරදීම සහ පපුව තෙරපීම මාරුවෙන් මාරුවට කරන්න.

දරුවාගේ උගුරේ යමක් සිරවුවහොත් කුමක් කල යුතුද 1

දරුවාගේ පිටට තට්ටුකරන ආකාරය

දරුවාගේ උගුරේ යමක් සිරවුවහොත් කුමක් කල යුතුද 2

දරුවාගේ පපුව තෙරපන ආකාරය

ඔබේ දරුවාගේ වයස කුමක් වුවත්, ඔහු හෝ ඇය උගුරේ යමක් සිරවීමෙන් සිහිසුන්ව හෝ හුස්මගැනීමෙන් තොරව සිටිනවා නම්, ඉක්මනින්ම Cardiopulmonary resuscitation (CPR) නම් වූ ක්‍රමවේදය අනුගමනය කල යුතුය. අවාසනාවකට මෙන්, CPR ක්‍රමවේදය සිදුකිරීමට පෙර පුහුණුවක් අවශ්‍ය වන අතර, ශ්‍රී ලාංකීය වැඩිහිටියන් බොහොමයකට මෙම දැනුම නොමැත.

එමෙන්ම, දරුවාගේ උගුරේ සිරවී ඇති දෙය ඉවත්කිරීම සඳහා ඔහුගේ හෝ ඇයගේ මුවට අත, ඇඟිලි, වෙනත් උපකරණයක් ඇතුළුකරන්න එපා. දරුවා උඩුබැලි අතට තබාගෙන තට්ටු කරන්නත් එපා. එසේ කිරීමෙන්, උගුරේ සිරවී ඇති දෙය තවත් ඇතුලට ගොස් තත්ත්වය දරුණු වියහැක.

ඔබේ දරුවා ඔක්කාරය කරමින් කහිනවා නම්, හුස්ම ගන්නවා නම්, සහ කථාකරනවා නම්, සිරවී ඇති දෙයින් ශ්වාසනාලය සම්පූර්ණයෙන් අවහිර වී නොමැත. එවිට, වඩාත් සුදුසු වන්නේ කිසිවක් නොකර සිටීමය. බොහෝවිට වාර කිහිපයක් කහින විට සිරවී ඇති දෙය පිටතට පැමිණෙනු ඇත.

සිරවී ඇති දෙය ඉවත් වුවත්, එය දරුණු උගුරේ සිරවීමක් නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුය. විශේෂයෙන්, එම සිදුවීමෙන් අනතුරුව දරුවා දිගටම කහින්නේ නම් හෝ හතිය වැනි ශබ්දයක් පවතී නම් වෛද්‍ය උපදෙස් පතන්න. ඔබේ දරුවාට හුස්මගැනීමට හෝ ගිලීමට අපහසුතාවයක් ඇත්නම් ලඟම ඇති රෝහලට දරුවා රැගෙන යන්න.

 

දරුවා උගුරේ යමක් සිරකර ගැනීමෙන් වළක්වා ගන්නේ කෙසේද?

වයස අවුරුදු 4 ට වඩා අඩු දරුවන්ට උගුරේ සිරවීමට ඉඩ ඇති ආහාර ලබාදීමෙන් වළකින්න. එවැනි ආහාර ලෙස කජු, රටකජු, අමු කැරට්, පොප්කෝන්, දැඩි හෝ ඇලෙනසුලු රසකැවිලි වැනි ආහාර දැක්විය හැක. දරුවාට ආහාර ලබාදීමේදී ඒවා කුඩා කැබලි වලට කපන්න හෝ කඩන්න.

දරුවා ආහාර ගැනීමේදී සැමවිටම සුපරීක්ෂාකාරීව සිටින්න. සැමවිටම ආහාර ගන්නා විට දරුවාට වාඩිවී සිටීමට උපදෙස් දෙන්න. කුඩා කැබලි ලෙස ආහාර ගන්නේ දැයි සැලකිලිමත් වන්න. ආහාර මුඛයේ රඳවාගෙන කථාකිරීමට හෝ සිනාසීමට ඉඩදෙන්න එපා.

සැමවිටම දරුවා මුවේ රුවාගත හැකි කුඩා සහ අනතුරුදායක දේවල් අහුලා ඉවත්කරන්න. සුළං ඉවත්වූ බැලූන්, කාසි, බොත්තම්, පබළු, පෑන් කොපු, කුඩා බැටරි වැනි ද්‍රව්‍ය බිම තිබෙන්නට හරින්න එපා. එමෙන්ම, උගුරේ සිරවිය හැකි කුඩා කොටස් සහිත සෙල්ලම් බඩු හෝ උපකරණ දරුවාට හසු නොවන අයුරින් තබන්න.

හැකිනම්, වෛද්‍යවරයෙකුගේ හෝ ප්‍රථමාධාර උපදේශකයෙකුගේ අධීක්ෂණය යටතේ උදරය තෙරපීමේ සහ CPR ක්‍රමවේදයන් පුහුණුවන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Etsuko Naka, Wikipedia, සහ wikiHow)

 

සබැඳි ලිපි:

ඔබේ දරුවාට ලබාදෙන සෙල්ලම් බඩු ආරක්ෂිතයිද?
දරුවාගේ ඇසට අනතුරක් වූ විට කුමක් කල යුතුද?
දරුවාගේ කැපුම් තුවාළයක් සිදුවුවහොත් කුමක් කලයුතුද?
දරුවාගේ හිසට සිදුවන අනතුරු වලදී කුමක් කල යුතුද?
නිවසේදී ඔබේ කුඩා දරුවා ආරක්ෂා කරගන්නේ කෙසේද?

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

2 Comments on "දරුවාගේ උගුරේ යමක් සිරවුවහොත් කුමක් කල යුතුද?"

  1. Godak hodai nalaka oyage lipie pela oyawa agaya karanawa mama wadagath deyak api udesa idiripath kirima gana ….fb wadakata nathi lipie athre obage lipie wadagath ..suba pathum idiriyata karagena yanna

    • වෛද්‍ය නාලක ප්‍රියන්ත | February 8, 2017 at 3:34 pm | Reply

      ලංකා මිතුරිය, ඔබේ ප්‍රතිචාරය මා දිරිමත් කරවන සුළුය. ඒ පිළිබඳව ඔබට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*