ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීම සඳහා ක්‍රියාකාරකම්

ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීම සඳහා ක්‍රියාකාරකම්

මිතුරන් හා ඥාතීන් ඇසුරුකරන විට මෙන්ම, නිවසේදී හා කාර්යාලයේදී කටයුතු කරන විට මතුවන ගැටළු වලට සාර්ථකව මුහුණදීමටද ආත්ම විශ්වාසය වැදගත් වේ. ආත්ම විශ්වාසය නැතිවුවහොත්, ඔබේ දෛනික කටයුතු කරගැනීමට පවා අපහසු බවක් ඔබට දැනෙනු ඇත. ඔබේ ආත්ම විශ්වාසය පළුදු කරන සිතුවිලි සහ හැසිරීම් සියල්ල ඉවත්කිරීමට ඔබට නොහැකි වුවත්, ඇතැම් ක්‍රියාකාරකම් වලට ඔබේ ආත්ම විශ්වාසය වර්ධනය කලහැක.

 

සෘණාත්මක සිතුවිලි හඳුනාගැනීම.

ඔබේ සිතුවිලි ආත්ම විශ්වාසය කෙරෙහි විශාල බලපෑමක් ඇතිකරන්නේ යැයි පැවසුවහොත්, එය සත්‍යයකි. ඔබ අතින් අත්වැරදීමක් සිදුවන සැමවිටම “මම කොතරම් මෝඩ දෙයක්ද කලේ?” හෝ “ඇයි මම එහෙම කලේ?” වශයෙන් සිතුවිලි ඔබේ සිත තුළ ඉබේම ජනිත වියහැක. මෙවැනි සිතුවිලි කෙරෙහි අවධානය යොමුකරන්න. ඉන් අනතුරුව, සිහිබුද්ධිය ඇතිව එම කාර්යයන් නැවත නිවැරදි ආකාරයට සිදුකරන්න. ඉහත ආකාරයට සිතන්නේ නැතිව “ඕනෑම අයෙක් අතින් අත්වැරදීම් සිදුවෙනවා” හෝ ” මෙවර, මම පැටලිලි සහගතව කටයුතු කලත්, මීට කලින් මෙවැනි කාර්යයන් හොඳින් කර තිබෙනවා” වශයෙන් ඔබටම ආමන්ත්‍රණය කරගැනීමට පුරුදු වන්න.

 

අභියෝගයන්ට මුහුණදෙන්න.

සාමාන්‍යයෙන්, ආත්ම විශ්වාසය අඩු අය අභියෝගයන් මගහැරීමට කටයුතු කරයි. එසේ කිරීමෙන්, දිගින් දිගටම ආත්ම විශ්වාසයට හානි සිදුවනු දැකිය හැක. එක් වරකට එක් අභියෝගයක්, ගැටළුවක්, හෝ අත්දැකීමක් බැගින් ගෙන එයට මුහුණදීම, ඔබේ ආත්ම විශ්වාසය වැඩිකරගැනීමට රුකුලක් කරගත හැක. උදාහරණ වශයෙන්, අලුත් ක්‍රීඩාවක් කිරීමට යොමුවීම, ස්වේච්ඡාවෙන් යම් කර්තව්‍යයක් කිරීමට කටයුතු කිරීම වැනි කටයුතු දැක්විය හැක.

 

තම ශරීරයට සාත්තු කරගැනීම.

තමාගේම ශරීරයට සාත්තු කරගැනීම, ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීමට හොඳ උපක්‍රමයකි. ඔබට විනෝද වියහැකි පිහිනීම, ඇවිදීම, දිවීම, යම් ක්‍රීඩාවක නියැලීම වැනි ශාරීරික ක්‍රියාකාරකමක යෙදීමෙන්, ඔබේ සිතට පහසුවක් සහ ඔබේ සිරුර ගැන විශ්වාසයක් ගොඩනැගෙනු ඇත. එමෙන්ම, පෝෂ්‍යදායී ආහාර ගැනීම සහ ප්‍රමාණවත් ලෙස විවේක ගැනීම ඔබේ සිතුවිලි අලුත් කරනු ඇත. එවිට, දෛනිකව ලැබෙන අභියෝග වලට සාර්ථකව මුහුණදීමට හොඳ මානසික ශක්තිමත්භාවයක් ඔබ තුළ ගොඩනැගේ.

 

අසාර්ථකවීම් පිළිගන්න.

ඔබ සහ ඔබේ ජීවිතය සම්බන්ධ ඇතැම් දේවල් ඔබට වෙනස්කල හැකි අතර, ඔබේ උස වැනි වෙනස් කල නොහැකි දේවල්ද පවතී. ඔබට වෙනස්කල නොහැකි දේවල් ඇතිබව පිළිගැනීමට පුරුදුවන්න. ඔබට වෙනස් කලහැකි දේවල් යහපත් ආකාරයට වෙනස් කිරීමට ඉලක්කයන් සකස් කරගන්න. එසේ පුරුදු වීමෙන්, ඔබේ ආත්ම විශ්වාසය ක්‍රමයෙන් වර්ධනය වේ. එමෙන්ම, ඕනෑම කෙනෙක් යම් අවස්ථාවක අසාර්ථක වියහැකි බව හෝ ප්‍රතික්ෂේප වීමට ලක්විය හැකිබව පිළිගැනීමද ඉතාම වැදගත් වේ. යම් අවස්ථාවකදී ඔබ ප්‍රතික්ෂේප වුවහොත්, ඔබ සාර්ථක වූ අවස්ථා සහ ඔබ වැඩි දායකත්වයක් දැක්වූ කාර්යයන් සිහිපත් කරගන්න. ඕනෑම අයෙකුගේ රුචිකත්වයන් එකිනෙකට වෙනස් බව සිතන්න. එමෙන්ම, ඔබ සෑම අයෙකුගේම පිළිගැනීමට එකලෙස ලක් නොවන්නා සේම, සෑම අයෙකුගෙන්ම ප්‍රතික්ෂේප වීමට ලක්නොවන බවද සිතට ගන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: David Goehring)

 

සබැඳි ලිපි:

ඔබේ ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීමට ක්‍රම 10 ක්
මානසික ආතතිය පාලනය කරගන්නේ කොහොමද?
සරල ලෙස ජීවත්වන්නේ කෙසේද?

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීම සඳහා ක්‍රියාකාරකම්" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*