ඔබේ දරුවාට ලබාදෙන සෙල්ලම් බඩු ආරක්ෂිතයිද?

ඔබේ දරුවාට ලබාදෙන සෙල්ලම් බඩු ආරක්ෂිතයිද?

ඔබේ දරුවාට ලබාදෙන සෙල්ලම් බඩු සියල්ලක්ම ආරක්ෂාව පිළිබඳ සම්මත තත්ත්වයන්ට (Safety standards) අනුකූල වියයුතු බව ඔබ දන්නවාද? එසේ නොවුනහොත්, ඔබේ ආදරණීය දරුවාගේ විනෝදය පිණිස ලබාදෙන සෙල්ලම් බඩුවක් දරුවාට මාරාන්තික අනතුරක් සිදුකිරීමට ඉඩ ඇත. ශ්‍රී ලාංකීය වෙළඳපොලෙහි ඇති බොහොමයක් සෙල්ලම් බඩු කුඩා දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සම්මත තත්ත්වයන්ට අනුකූල නොවේ. එමනිසා, ඔබේ ආදරණීය දරුවාට ලබාදෙන සෙල්ලම් බඩු වල ප්‍රමිතිය පිළිබඳ වඩාත් සැලකිලිමත් වීම දෙමව්පියන් වශයෙන් ඔබ සහ අනෙකුත් වැඩිහිටියන් සතු වගකීමක් බව සිතට ගන්න. සෙල්ලම් බඩු පිළිබඳ පහත සඳහන් ඉඟි ඔබේ දරුවාට ආරක්ෂිත සෙල්ලම් බඩු තෝරාගැනීමේදී වැදගත් වියහැක. එමෙන්ම, ආරක්ෂිත සෙල්ලම් බඩුවක් දරුවාට ලබාදුන් පසුවද, එහි කැඩීගිය හෝ බුරුල් වූ කොටස් ඇතිදැයි නිතිපතා පරීක්ෂාකාරී වන්න.

  • සැමවිටම නිෂ්පාදකයාගේ නිර්දේශයන් සඳහන් වන සෙල්ලම් බඩු පමණක් මිළදීගන්න. යම් සෙල්ලම් බඩුවක් මිළදී ගැනීමේදී, ඔබේ දරුවාගේ වයස් කාණ්ඩයට ගැලපේ නම් පමණක් මිළදී ගන්න. ඇතැම් සෙල්ලම් බඩුවල, දරුවාගේ ශ්වාස නාලයේ, උගුරේ, හෝ නාසයේ සිරවිය හැකි කුඩා කොටස් පැවතිය හැක. එමනිසා, සෙල්ලම් බඩුවක දවටනයේ හෝ ආවරණයේ ඇති අවවාද සහ උපදෙස් සියල්ල ප්‍රවේශමෙන් කියවන්න.
  • ඕනෑම සෙල්ලම් බඩුවක විෂ්කම්භය සෙන්ටිමීටර් 3 ක් සහ දිග සෙන්ටිමීටර් 6 ක් ඉක්මවිය යුතුය. එවිට, ඔබේ දරුවාට එය ගිලීමට හෝ එය දරුවාගේ ශ්වාසනාලය තුළ සිරවීමට හෝ හැකියාවක් නැත.
  • කුඩා දරුවන්ට සෙල්ලම් කිරීම සඳහා පබළු, වීදුරු බෝල, කාසි, හෝ වෙනත් කුඩා බෝල ලබාදීමෙන් වළකින්න. විෂ්කම්භය සෙන්ටිමීටර් 4.5 ක් හෝ එයට අඩු ගෝලාකාර හෝ රවුම් දේවල් දරුවාගේ ශ්වාසනාලයට ඉහලින් උගුරේ සිරවීමට හැකියාව ඇති අතර, එමගින් දරුවාගේ හුස්මගැනීම සම්පූර්ණයෙන්ම නතරවිය හැක.
  • බැටරි වලින් ක්‍රියාත්මක වන සෙල්ලම් බඩු වල ඇති බැටරි ආවරණ කුඩා ඉස්කුරුප්පු ඇණ වලින් තදකල හැකි ඒවා විය යුතුය. දරුවාට පහසුවෙන් ගැලවිය හැකි බැටරි ආවරණ සහිත සෙල්ලම් බඩු මිළදී ගැනීමෙන් වළකින්න. බැටරි සහ බැටරි වල ඇති රසායන ද්‍රව්‍ය මගින් පිළිස්සීම, ශ්වාසනාලයේ සිරවීම, සහ අභ්‍යන්තර රුධිර වහනය වැනි දරුණු අනතුරු සිදුවීමට ඉඩ ඇත. එමනිසා, කිසිවිටෙක සාමාන්‍ය බැටරි හෝ බොත්තම් හැඩයේ බැටරි කුඩා දරුවන්ට හසුවන සේ තබන්න එපා.
  • යම් සෙල්ලම් බඩුවක් ආරක්ෂිත දැයි පරීක්ෂා කිරීමේදී, දරුවාට කොටස් ගැලවීමට, කැඩීමට, හෝ සපා කැබලි කිරීමට නොහැකිබව තහවුරු කරගන්න. එමෙන්ම එහි:
    • තියුණු දාර හෝ කෙලවරවල් නොතිබිය යුතු අතර, රෝද, ඇස්, හෝ බොත්තම් දරුවාට ගැලවිය නොහැකි විය යුතුය.
    • දරුවාගේ මුඛය ඔස්සේ උගුර දක්වා දික්විය හැකි සිහින් කෙලවරවල් නොතිබිය යුතුය.
    • සෙන්ටිමීටර් 18 කට වඩා දිගැති නූල්, රැහැන්, හෝ වයර් නොතිබිය යුතුය.
    • දරුවාගේ කුඩා ඇඟිලි සිරවිය හැකි කොටස් නොතිබිය යුතුය.
  • දරුවාට පැදීමට හැකි සෙල්ලම් බඩු ලබාදිය යුත්තේ, ඔහුට හෝ ඇයට කිසිඳු ආධාරයක් නොමැතිව හොඳින් සිටගැනීමට හැකිවූ පසු පමණි. කෙසේ වුවත්, එහි ඇති නිෂ්පාදකයාගේ උපදෙස් සහ නිර්දේශ පරීක්ෂා කරන්න. පැදිය හැකි අශ්වයන්, වාහන, හෝ කරත්ත ආරක්ෂක පටි වලින් සමන්විත වියයුතු අතර, සමබර සහ ස්ථායී විය යුතුය. දරුවා එහි සෙල්ලම් කිරීමේදී ඇලවීමට හෝ වැටීමට අවදානමක් නොතිබිය යුතුය.
  • නිවසේදී සාදාගන්නා සෙල්ලම් බඩු ලබාදීමේදී සැමවිටම මෙහි ඇති අනෙක් ආරක්ෂිත උපදෙස් වලට අනුකූල වනසේ සකස්කිරීමට කටයුතු කරන්න. එමෙන්ම, සායම් හෝ ආලේපන ඉවත්වන හෝ පතුරු ගැලවෙන සෙල්ලම් බඩු දරුවාට ලබාදීමෙන් වළකින්න.
  • පුරවන ලද ලොම් හෝ වූල් සහිත සෙල්ලම් බඩු වල පහසුවෙන් ගැලවෙන සුළු කුඩා බොත්තම් හෝ වෙනත් කොටස් නොමැති බව තහවුරු කරගන්න.
  • වයස අවුරුදු 8 ට වඩා අඩු දරුවන්ට කිසිවිටෙකවත් බැලුම් බෝල හෝ රබර් අත් ආවරණ සෙල්ලම් කිරීම සඳහා ලබාදීමෙන් වලකින්න. එවැනි දරුවන් බැලුම් බෝල පිම්බීමේදී, සැපීමේදී, හෝ රබර් අත් ආවරණ සමග සෙල්ලම් කිරීමේදී ඒවා හෝ එහි කොටස් උගුර දෙසට ඇදීගොස් හුස්ම සිරවීමට ලක්විය හැක. පුම්බන ලද බැලුම් බෝල ක්ෂණයකින් පිපිරී එහි කොටස් දරුවාගේ ශ්වාසනාලය අවහිර කිරීමට ඉඩ ඇත.
  • වැඩිහිටි දරුවන්ගේ සෙල්ලම් බඩු කිසිවිටෙක කුඩා දරුවන්ට හෝ ළදරුවන්ට සෙල්ලම් කිරීම සඳහා ලබාදීමෙන් වළකින්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Valentina Yachichurova)

 

සබැඳි ලිපි:

නිවසේදී ඔබේ කුඩා දරුවා ආරක්ෂා කරගන්නේ කෙසේද?

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ඔබේ දරුවාට ලබාදෙන සෙල්ලම් බඩු ආරක්ෂිතයිද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*