මාංශ පේශි වර්ධනය වෙනකොට මොකද වෙන්නේ?

මාංශ පේශි වර්ධනය වෙනකොට මොකද වෙන්නේ?

මාංශ පේශි මත අමතර බලයක් හෙවත් ආතතියක් යෙදීම නිසා ඇතිවන මාංශ පේශි වර්ධනය වීමේ ක්‍රියාවලිය, ශරීරය තුළ සිදුවන සංකීර්ණ ප්‍රතික්‍රියාවන් ගණනාවක ප්‍රතිඵලයකි. ව්‍යායාම යනු ඔබේ ශරීරය හැඩගස්වන එක්තරා ආකාරයක ආතතියක් ලෙස හැඳින්විය හැක. වාසනාවකට මෙන්, මෙම හැඩගැසීම ඔබට ක්‍රමයෙන් ව්‍යායාම වල තීව්‍රතාවය (Intensity) වැඩිකිරීමට උදවු කරන අතර, ව්‍යායාම මගින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ සක්‍රීයව තබාගැනීමටත් ඉවහල් වේ. නමුත්, මාංශ පේශි වර්ධනය වීමේ ක්‍රියාවලිය සිතන තරම් ඉක්මනින් සිදුවන දෙයක් නොවේ. නිතිපතා ව්‍යායාම කිරීම මෙන්ම නිසි පෝෂණයද මාංශ පේශි වර්ධනය සඳහා අත්‍යාවශ්‍ය සාධක ලෙස හැඳින්විය හැක.

 

මාංශ පේශි වලට හානි සිදුවීම සහ අලුත්වැඩියා කරගැනීම

ඔබ මාංශ පේශි වර්ධනය කරගන්නේ බර එසවීමෙන් වුවත්, ව්‍යායාම උපකරණ මගින් වුවත් පේශි මත ඇතිවන බලපෑම සමානය. මෙම ආකාර දෙකෙහිදීම පේශි තන්තු ඉරීම මගින් පේශියට හානි සිදුවේ. මෙය එවැනි ශාරීරික ක්‍රියාකාරකම් වලදී සිදුවන සාමාන්‍ය ක්‍රියාවලියකි. ව්‍යායාම වලින් අනතුරුව ඔබ විවේකයෙන් පසුවන කාලයේදී, පේශි වලට සිදුවූ හානි නැවත අලුත්වැඩියා කරගැනීමට ඔබේ ශරීරය ක්‍රියාකරයි. එවැනි හානි වූ ස්ථාන වටා අමතර පටක වර්ධනය කරගැනීම සහ දැනට පවතින මාංශ පේශි තන්තු වල පරිමාව වැඩිකරගැනීම මගින් ඔබේ පේශි වර්ධනය සිදුවේ.

 

ශක්තිය වර්ධනය වීම

මාංශ පේශි ක්‍රමයෙන් වර්ධනය වනවිට ඒවායේ ශක්තියද ක්‍රමයෙන් වැඩිවේ. නිතිපතා ව්‍යායාම කරන විට, ක්‍රමයෙන් වැඩි බරක් එසවීමට හැකියාව ලැබෙන බව ඔබට දැනෙනු ඇත. ශාරීරික ක්‍රියාකාරකම් වලදී ක්‍රමානුකූලව වැඩි බරක් හෙවත් ආතතියක් මාංශ පේශි මත යෙදීමෙන්, අමතර ශක්තියක් ඔබ තුළ ගොඩනගා ගැනීමට හැකියාව ලැබේ. ව්‍යායාම පිළිබඳ ඇමරිකානු සභාවේ (American Council on Exercise) වාර්තා අනුව නිතිපතා, දිගුකාලීනව ව්‍යායාම කිරීම මගින් ඔබේ ශරීරයේ ශක්තිය 20-40% කින් පමණ වැඩිකරගත හැක.

 

මාංශ පේශි වල මතකය

ඔබ ව්‍යායාම කරන විට, ශරීරය දක්වන ප්‍රතික්‍රියාවක් ලෙස ඔබේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳ මතකයක් ඔබේ පේශි පටක වල න්‍යෂ්ඨි තුළ තැන්පත් වේ. එමනිසා, ඔබ තරුණ අවධියේදී මාංශ පේශි වර්ධනය කරගත්තේ නම්, පසුකාලයකදී වුවද නැවත පේශි වල ශක්තිය වර්ධනය කරගැනීම පහසු වේ. විශේෂයෙන්ම ඔබ ක්‍රමයෙන් වයස්ගත වනවිට, ජීවිතයේ ගුණාත්මකභාවය පවත්වාගැනීමට මෙම ක්‍රියාවලිය වැදගත් වේ.

 

ව්‍යායාම සඳහා ඉන්ධන

සාමාන්‍යයෙන් ඔබේ ආහාරයේ ඇති අමතර සීනි සහ වෙනත් කාබෝහයිඩ්‍රේට්, ග්ලයිකොජන් (Glycogen) ලෙස අක්මාව සහ මාංශ පේශි තුළ තැන්පත්වීම සිදුවේ. මාංශ පේශි වර්ධනය වීමේදී, මෙම ගබඩා කරගැනීමේ හැකියාවද ක්‍රමයෙන් වැඩිවේ. එහි ප්‍රතිඵලය වන්නේ ඔබට විශාල ශක්ති සංචිතයක් හිමිවීමය. එමගින්, දිගු වේලාවක් ශාරීරික ක්‍රියාකාරකම් වල නියැලීමට සහ වැඩි තීව්‍රතාවයකින් ශාරීරික ක්‍රියාකාරකම් කිරීමට ඔබට හැකියාව ලැබේ.

 

මනා පෙනුමක් ලැබීම

මාංශ පේශි වර්ධනය කරගැනීමෙන් ශාරීරික ලක්ෂණ ඉස්මතුවන පෙනුමක් සහ පැහැයක් ඔබට හිමිවේ. මෙය වඩාත් හොඳින් සිදුවීම සඳහා ඔබගේ ශාරීරික යෝග්‍යතා වැඩසටහනට, වැඩි කැලරි ප්‍රමාණයක් දහනය වන හෘත්වාහිනික ව්‍යායාම (Cardiovascular exercises) එක්කරගත යුතුය. සිත් ඇදගන්නා සුළු පෙනුමක් ලැබීම, ඔබ ව්‍යායාම වැඩසටහන කෙරෙහි තවත් නැඹුරු කරනු ඇත. එමෙන්ම, ඔබේ ඇඳුම් පැළදුම් පවා ශරීරයට මනාව ගැලපෙනු ඇත. ඔබේ ආත්ම විශ්වාසය පවා සැලකිය යුතු ලෙස වැඩිවනු නොඅනුමානය.

 

(ඡායාරූප අනුග්‍රහය: Paula R. Lively)

 

සබැඳි ලිපි:

මාංශ පේශි වර්ධනය කරගන්නේ කොහොමද?
බර එසවීමේ ව්‍යායාම පිළිබඳ ඇති වැරදි මත කිහිපයක්
බර එසවීමේ ව්‍යායාම වල මූලික මූලධර්ම
ප්‍රතිරෝධ පුහුණුව (Resistance training) මගින් ලැබෙන වාසි 20 ක්

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "මාංශ පේශි වර්ධනය වෙනකොට මොකද වෙන්නේ?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*