මද සරුභාවය (Subfertility) සඳහා රෝග විනිශ්චය කරන්නේ කෙසේද?

මද සරුභාවය (Subfertility) සඳහා රෝග විනිශ්චය කරන්නේ කෙසේද?

මද සරුභාවය (Subfertility) සඳහා පරීක්ෂණ පැවැත්වීමට පෙර, ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා ඔබේ සහ සහකරුගේ ලිංගික චර්යාවන් පිළිබඳ අවබෝධයක් ලබාගන්නා අතර, එය පදනම් කරගනිමින් ඔහු හෝ ඇය යම් යම් නිර්දේශයන් ලබාදෙනු ඇත. මද සරුභාවය ඇති ඇතැම් අඹු සැමියන්ට ඒ සඳහා හේතුවිය හැකි කිසිඳු විශේෂ හේතුවක් හඳුනාගත නොහැක. කෙසේ වුවත්, මද සරුභාවය ඇති අඹු සැමියන් දෙපළම සඳහා පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව රෝග විනිශ්චයට එළඹිය හැක.

 

පුරුෂයන් සඳහා සිදුකරන පරීක්ෂණ මොනවාද?

පුරුෂයන්ගේ සරුභාවය සඳහා ඔහුගේ වෘෂණ තුළ ප්‍රමාණවත් ලෙස සෞඛ්‍ය සම්පන්න ශුක්‍රාණු නිපදවීම සිදුවිය යුතුය. එමෙන්ම, ලිංගික එක්වීමකදී සහකාරියගේ යෝනි මාර්ගය තුළට ශුක්‍රාණු නිසි ලෙස විසර්ජනය වියයුතු අතර, ඒවා ඩිම්බය දක්වා ඵලදායී ලෙස ගමන්කල යුතුය. එමනිසා, පුරුෂයන් උදෙසා සිදුකරන පරීක්ෂණ වලදී සිදුකරන්නේ මෙම ක්‍රියාවලියන් වල යම්කිසි ගැටළුවක්/ගැටළු ඇතිදැයි පරීක්ෂා කිරීමය. මෙහිදී, පුරුෂයාගේ ලිංගේන්ද්‍රිය ඇතුළුව ශරීරයේ බාහිර පරීක්ෂාවක්ද සිදුකරනු ඇත. පුරුෂයන් සඳහා සිදුකරන විශේෂිත පරීක්ෂණ නම්:

 

  • ශුක්‍රාණු විශ්ලේෂණය (Semen analysis)

දින තුනක් පමණ ලිංගිකව එක්වීමෙන් හෝ ස්වයං වින්දනයේ යෙදීමෙන් වැළකී ඉන් පසුව එකතු කරගන්නා ශුක්‍ර තරලය මෙහිදී පරීක්ෂා කර බලනු ලැබේ. මෙහිදී, ශුක්‍ර තරල සාම්පලය එකතු කිරීම සඳහා විශේෂිත පිරිසිදු බඳුනක් සපයනු ඇත. මෙම පරීක්ෂණය මගින් ශුක්‍රාණු ප්‍රමාණය සහ එහි ගුණාත්මකභාවය මැනිය හැක.

  • හෝමෝන පරීක්ෂාව

පුරුෂයාගෙන් ලබාගන්නා රුධිර සාම්පලයක් පරීක්ෂා කිරීමෙන් රුධිරයේ ඇති ටෙස්ටොස්ටෙරෝන් (Testosterone ) ඇතුළු පිරිමි හෝමෝන මට්ටම පරීක්ෂා කරනු ලැබේ.

  • ජාන පරීක්ෂාව

මෙය අවශ්‍යතාවය මත පමණක් සිදුකරන පරීක්ෂණයක් වන අතර, මෙම පරීක්ෂණය මගින් මද සරුභාවයට හේතුවිය හැකි ජානමය ගැටළු ඇත්නම් හඳුනාගැනේ.

  • වෘෂණ පටක විශ්ලේෂණය (Testicular biopsy)

මෙය සිදුකරන්නේ ඇතැම් පුරුෂයන් සඳහා පමණක් වන අතර, ඒ සඳහා වෘෂණයෙන් කුඩා පටක කැබැල්ලක් ගෙන පරීක්ෂා කරනු ඇත. වෘෂණ පටක විශ්ලේෂණය මගින්, පුරුෂයාගේ වෘෂණ වල මද සරුභාවයට හේතුවිය හැකි අසාමාන්‍යතා ඇත්නම් හඳුනාගත හැක. ඇතැම්විට, මෙම ක්‍රමවේදය මගින් නිසි ප්‍රමාණයට ගුණාත්මක ශුක්‍රාණු ලබාගත නොහැකි පුරුෂයන්ගේ වෘෂණ වලින් ශුක්‍රාණු ලබාගෙන විද්‍යාගාරයකදී නල දරුවන් සෑදීම සඳහා භාවිතා කරනු ලැබේ.

 

කාන්තාවන් සඳහා සිදුකරන පරීක්ෂණ මොනවාද?

කාන්තාවන්ගේ සරුභාවය රඳාපවතින්නේ ඩිම්බ කෝෂ වලින් සෞඛ්‍ය සම්පන්න ඩිම්බ මෝචනය වීම මතය. එමෙන්ම, මෝචනය වූ ඩිම්බ නිසි පරිදි ෆැලෝපීය නාල වෙත ලඟාවිය යුතු අතර, එය ශුක්‍රාණුවක් සමග සංසේචනය වීම සඳහා ෆැලෝපීය නාලය ඔස්සේ ගැටළුවකින් තොරව ගමන්කිරීමද අත්‍යාවශ්‍ය කාරණයකි. ඉන් පසුව, සංසේචනය වූ ඩිම්බය ගර්භාෂය තෙක් ගමන්කිරීමෙන් අනතුරුව, ගර්භාෂයේ නිසි පරිදි අධිරෝපණය වීමද සරුභාවය සඳහා වැදගත් වේ. කාන්තාවන් සඳහා පරීක්ෂණ පවත්වන්නේ මෙම ක්‍රියාවලියන්ගේ යම්කිසි ගැටළුවක්/ගැටළු ඇතිදැයි හඳුනාගැනීමටය. මුලින්ම, බාහිර ශරීර පරීක්ෂාවක් වෛද්‍යවරයා විසින් සිදුකරනු ඇත. කාන්තාවන්ගේ මද සරුභාවය සඳහා සිදුකරන විශේෂිත පරීක්ෂණ නම්:

  • ඩිම්බනීහරණ පරීක්ෂාව (Ovulation testing)

මෙය රුධිර පරීක්ෂණයක් වන අතර, ඩිම්බ මෝචනය සිදුවන්නේදැයි හඳුනාගැනීමට මෙම පරීක්ෂාවේදී කාන්තා හෝමෝන මට්ටම් පරීක්ෂා කරනු ලැබේ.

  • ගර්භාෂ කාහලිකා රේඛණය (Hysterosalpingography)

මෙහිදී, කාන්තාවගේ යෝනි මාර්ගය ඔස්සේ වර්ණකයක් ඇතුළු කර X-කිරණ (X-ray) පරීක්ෂාවක් සිදුකරනු ලැබේ. එමගින්, ගර්භාෂයේ සහ ෆැලෝපීය නාල වල ස්වභාවය සහ කිසියම් අවහිරතාවයක් ඇතිදැයි පරීක්ෂා කලහැක. මෙම පරීක්ෂණය X-කිරණ පරීක්ෂාවක් කිරීමෙන් තොරව, උදර බිත්තිය හරහා සිදුකරන කුඩා කැපුමකින් සිහින් කැමරාවක් ඇතුළු කර පරීක්ෂා කරන ලැපරොස්කොපි (Laparoscopy) පරීක්ෂණයක් ලෙසද සිදුකල හැක.

  • අතිධ්වනි තරංග ස්කෑන් (Ultrasound scan) පරීක්ෂාව

කාන්තාවගේ ශ්‍රෝණි කුහරය අතිධ්වනි තරංග ස්කෑන් පරීක්ෂාවක් සිදුකිරීමෙන් පරීක්ෂා කලහැකි අතර, එමගින්, ඩිම්බ කෝෂ වල සහ ගර්භාෂයේ ඇති අසාමාන්‍යතා හඳුනාගත හැක. එමෙන්ම, ඔසප්වීමෙන්, දින 10-11 ක් පමණ වනවිට මෙම පරීක්ෂණය සිදුකිරීමෙන්, ඩිම්බ මේරීම සාමාන්‍ය පරිදි සිදුවනවාදැයි පරීක්ෂා කලහැක.

  • හෝමෝන පරීක්ෂාව

රුධිර පරීක්ෂාවක් මගින්, ඩිම්බ මෝචනය සඳහා වැදගත් වන කාන්තා හෝමෝන සහ පිටියුටරි හෝමෝන මට්ටම් පරීක්ෂා කෙරේ.

  • ලැපරොස්කොපි පරීක්ෂාව

මෙම පරීක්ෂණය ඔස්සේ ඩිම්බ කෝෂ, ගර්භාෂය, සහ ෆැලෝපීය නාල වල තත්ත්වය පරීක්ෂා කලහැක. මෙහිදී, එන්ඩොම්ට්‍රියෝසිස් (Endometriosis) තත්ත්වය, කැලැල් ඇතිවීම (Scarring), ගර්භාෂයේ හා ඩිම්බ කෝෂ වල ගැටළු, සහ ෆැලෝපීය නාල වල අවහිරතා හා වෙනත් ගැටළු පහසුවෙන් හඳුනාගත හැක.

රෝග විනිශ්චය කිරීම සඳහා මද සරුභාවයෙන් පෙළෙන කාන්තාවකට හෝ පුරුෂයෙකුට මේ සියලු පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය නොවේ. බොහොමයක් අවස්ථා වලදී, පරීක්ෂණ කිහිපයක් සිදුකිරීමෙන් පමණක් මද සරුභාවයට හේතුව සොයාගත හැක.

 

(ඡායාරූප අනුග්‍රහය: Karl-Ludwig G. Poggemann)

 

සබැඳි ලිපි:

මද සරුභාවය (Subfertility) ගැන මදක් දැනගනිමු.
මද සරුභාවය ඇතිවීමට හේතු මොනවාදැයි සොයා බලමු.
මද සරුභාවය සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "මද සරුභාවය (Subfertility) සඳහා රෝග විනිශ්චය කරන්නේ කෙසේද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*