ඉන්ෆ්ලුවෙන්සා (Influenza) ආසාදනය ගැන මදක් දැනගනිමු.

ඉන්ෆ්ලුවෙන්සා (Influenza) ආසාදනය ගැන මදක් දැනගනිමු

ශ්‍රී ලංකාව තුළ දැනට පැතිර යමින් පවතින සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා ආසාදනය ප්‍රධාන වශයෙන් ඇතිකරන්නේ ඉන්ෆ්ලුවෙන්සා වෛරස මාදිලි තුනකින් බව දැනට හඳුනාගෙන ඇත. ඒවා නම් ඉන්ෆ්ලුවෙන්සා වෛරස් A මාදිලි දෙකක් වන H1N1 හා H3N2, සහ ඉන්ෆ්ලුවෙන්සා B ය. මෙම වෛරස් ආසාදනය මගින් ඇතිකරන රෝග ලක්ෂණ ලෙස උණ, කැස්ස, සහ සෙම්ප්‍රතිශ්‍යාව හැඳින්විය හැකි අතර, බොහෝවිට කිසිඳු ප්‍රතිකාරයකින් තොරවම සුව වේ. නමුත්, ඇතැම් පුද්ගල කාණ්ඩ වලට මෙම වෛරස් ආසාදනය උත්සන්න වීමට හෝ සංකූලතා හටගැනීමට වැඩි අවදානමක් ඇත.

 

ඉන්ෆ්ලුවෙන්සා රෝගය උත්සන්න වීමට හෝ සංකූලතා හටගැනීමට වැඩි අවදානමක් ඇත්තේ කාටද?

  • වයස අවුරුදු 2 ට අඩු දරුවන්
  • වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයන්
  • ගර්භණී මාතාවන්
  • ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයන්
  • දිගුකාලීන හෘද, වකුගඩු, හෝ අක්මා රෝගීන්
  • දියවැඩියා රෝගීන්
  • ඇදුම වැනි දිගුකාලීන ශ්වසන රෝග වලින් පෙලෙන්නන්

 

ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?

  • තද උණ (සෙල්සියස් අංශක 38 ට හෝ ෆැරන්හයිට් අංශක 100.4 ට වඩා වැඩි)
  • කැස්ස
  • උගුරේ අමාරුව
  • සොටු දියර ගැලීම
  • කිවිසුම් යෑම
  • හිසරදය
  • මස්පිඩු වල වේදනාව
  • ආසාදනය උත්සන්න වුවහොත්, හුස්ම ගැනීමේ අපහසුතාවය ඇතිවිය හැක.

 

ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළඳුනු රෝගීන් සඳහා ප්‍රතිකාර කරන්නේ කෙසේද?

  • ඉන්ෆ්ලුවෙන්සා ආසාදනය උත්සන්න වීමට හෝ සංකූලතා හටගැනීමට වැඩි අවදානමක් නැති රෝගීන්ට දැනට සංකූලතාවයක් නැත්නම්, වෛද්‍ය උපදෙස් ලබාදී නිවසේදී සාමාන්‍ය ප්‍රතිකාර ගැනීමට නිර්දේශ කරනු ඇත. එවැනි රෝගීන් සඳහා ප්‍රතිවෛරස ඖෂධ ලබාදීමට අවශ්‍ය නොවේ.
  • උත්සන්න වූ හෝ සංකූලතා සහිත ඉන්ෆ්ලුවෙන්සා රෝගය ඇති පහත සඳහන් රෝග ලක්ෂණ සහිත රෝගීන් රෝහල් ගතකර ප්‍රතිවෛරස ඖෂධ ඇතුළු අනෙකුත් ප්‍රතිකාර ලබාදෙනු ඇත.
    • හුස්ම ගැනීමේ අපහසුව
    • හුස්ම ගැනීමේ වේගය විනාඩියට වාර 25 ට වඩා වැඩිවීම
    • කාමර ඔක්සිජන් සංතෘප්තිය (Saturation of Oxygen) 92% ට වඩා අඩුවීම
    • නියුමෝනියාව ඇතිබවට ලක්ෂණ තිබීම
    • අඩු රුධිර පීඩනය
    • ස්නායු පද්ධතියට රෝගයේ බලපෑමක් තිබීම (වෙනස් වන මානසික තත්ත්වය, සිහිනැති බව, නිදිමත ගතිය, නොනවත්වා හෝ නැවත නැවත ඇතිවන වලිප්පුව, අවුල් සහගත බව, අංශභාගය)
    • දැඩි ශාරීරික දුර්වලතාවය
    • දරුණු ලෙස විජලණය වීම
    • ශරීරයේ වෙනත් අවයව අකර්මණ්‍ය වෙමින් පැවතීම
    • දැනට පවතින දිගුකාලීන රෝග උත්සන්න වෙමින් පැවතීම
  • ඉන්ෆ්ලුවෙන්සා රෝගය උත්සන්න වීමට හෝ සංකූලතා හටගැනීමට වැඩි අවදානමක් ඇති පුද්ගලයන්ට දැනටමත් රෝගය උත්සන්න වී හෝ සංකූලතා හටගෙන ඇත්නම්, වහාම රෝහල් ගතකර ප්‍රතිවෛරස ඖෂධ (Oseltamivir) ඇතුළු අනෙකුත් ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරනු ඇත.
  • ඉන්ෆ්ලුවෙන්සා ආසාදනය වැළඳී ඇතැයි සැකකරන සියළු ගර්භණී මාතාවන් විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත පරීක්ෂා කිරීමට, පරීක්ෂණ පැවැත්වීමට, සහ ප්‍රතිකාර කිරීමට යොමුකරනු ඇත.
  • ඉන්ෆ්ලුවෙන්සා ආසාදනය උත්සන්න වීමට හෝ සංකූලතා හටගැනීමට වැඩි අවදානමක් ඇති අයෙකුට දැනට වැළඳී ඇත්තේ සංකූලතා රහිත ආසාදනයක් නම්, වෛද්‍ය උපදෙස් ලබාදී නිවසේදී සාමාන්‍ය ප්‍රතිකාර ලබාගැනීමට නිර්දේශ කරන අතර, පැය 48 ක් ආසන්නයේදී නැවත පරීක්ෂා කිරීමට අවශ්‍යය.
  • ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළඳුනු සියළු රෝගීන් තම රෝගය උත්සන්න වන ආකාරයක් හැඟේ නම් හෝ රෝග ලක්ෂණ පහළ වී පැය 72 කට පසුවත් රෝග ලක්ෂණ සමනය වන බවක් නොපෙනේ නම්, නැවත වෛද්‍ය උපදෙස් ලබාගැනීම අත්‍යාවශ්‍ය වේ.
  • සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළඳීම වැලැක්වීම සඳහා ප්‍රතිවෛරස ඖෂධ නිර්දේශ නොකෙරේ. තවද, එම ඖෂධ ලබාදෙන්නේ රෝහල් ගතකර ප්‍රතිකාර ලබාදිය යුතු රෝගීන් සඳහා පමණි. මක්නිසාද, වග විභාගයකින් තොරව ප්‍රතිවෛරස ඖෂධ භාවිතා කිරීමෙන්, ඉන්ෆ්ලුවෙන්සා වෛරස එම ඖෂධය කෙරෙහි ප්‍රතිරෝධයක් ගොඩනගා ගැනීම සිදුවිය හැක.

 

සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා ආසාදනයෙන් වැළකෙන්නේ කෙසේද?

සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා ආසාදනයෙන් මෙන්ම, වෙනත් ඕනෑම ශ්වසන පද්ධතියේ ආසාදනයකින් වැළකීමට සහ ඒවා පැතිරීම වැළැක්වීමට පහත සඳහන් ක්‍රම අනුගමනය කරන්න.

  • ඔබට සෙම්ප්‍රතිශ්‍යා උණ ඇත්නම් සහ ඔබේ වෛද්‍යවරයා නිවසේදී ප්‍රතිකාර ගැනීමට නිර්දේශ කලේ නම්, නිවසට වී විවේකයෙන් සිටින්න. උණ සමනය වී අවම වශයෙන් පැය 24 ක් ගතවන තුරු වත්, නිවසේ සිටීම අත්‍යාවශ්‍ය වේ.
  • සබන් දමා දෑත් නිතර හොඳින් සෝදන්න. සබන් නොමැති නම්, ඇල්කොහොල් අන්තර්ගත දෑත් සෝදන දියරයක් භාවිතා කරන්න. නාසයේ හෝ මුඛයේ බිඳිති දෑත්වල තැවරුණහොත්, වහාම ඉහත ආකාරයට දෑත් පිරිසිදු කරගැනීමට කටයුතු කරන්න.
  • ඇස්, නාසය, සහ මුඛය නිතර ස්පර්ශ කිරීමෙන් වළකින්න. යම් හෙයකින් එසේ කිරීමට අවශ්‍ය නම්, එසේ කිරීමට පෙර දෑත් හොඳින් සබන් දමා සෝදාගන්න.
  • නිතිපතා ස්නානය කරන්න සහ පිරිසිදු ඇඳුම් අඳින්න.
  • සෙම්ප්‍රතිශ්‍යා උණ රෝග ලක්ෂණ ඇති අය අසලට යාමෙන් වළකින්න.
  • කහින විට හෝ කිවිසුම් යන විට හොඳින් නාසය සහ මුඛය ආවරණය කරගන්න. එසේ කරන විට, බිඳිති දෑත් වල තැවරීම වැළැක්වීමට පිරිසිදු ලේන්සුවක් හෝ ටිෂු එකක් භාවිතා කරන්න. නැතහොත්, වැළමිට ආසන්නයේ ඔබේ බාහුවේ අභ්‍යන්තරය මගින් මුඛය සහ නාසය ආවරණය කරගන්න.
  • හැකිතරම්, සෙනග ගැවසෙන ස්ථාන වල රැඳීමෙන් වළකින්න. විශේෂයෙන්ම, ඔබ ඉන්ෆ්ලුවෙන්සා ආසාදනය උත්සන්න වීමට හෝ සංකූලතා හටගැනීමට වැඩි අවදානමක් ඇති පුද්ගලයෙක් නම් එසේ කිරීමට අමතක නොකරන්න.
  • ඔබේ නිවසේ එක් අයෙකුට ඉන්ෆ්ලුවෙන්සා ආසාදනය වැළඳී ඇත්නම්, නිවසේ සිටින එක් අයෙක් පමණක් රෝගියාට සත්කාර කිරීමට යොමුවන්න.
  • ප්‍රමාණවත් පරිදි නිදාගැනීමට කටයුතු කරන්න. එමගින්, ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත් වනබව සිතට ගන්න.
  • හැකිතරම්, නිවසේ සහ රාජකාරි කරන ස්ථානයේ හොඳින් නැවුම් වාතාශ්‍රය ලැබෙන සේ ජනෙල් විවෘත කර තබන්න.
  • සෙනග නොගැවසෙන, ස්වභාවික පරිසරයක ගතකරන කාලය වැඩිකරන්න. එමගින්, නැවුම් වාතය ආශ්වාස කිරීමට අවස්ථාව සැලසේ.
  • නිවසේ ඇති මේස, දොර අගුළු, පරිගණක යතුරු පුවරු ආදී මතුපිටවල් නිතිපතා නිසි ලෙස පිරිසිදු කර තබාගන්න.
  • ඔබට ළදරුවෙක් සිටී නම්, ඔහුට හෝ ඇයට හොඳින් මව්කිරි ලබාදීමට කටයුතු කරන්න. එමගින්, ඔහුගේ හෝ ඇයගේ ප්‍රතිශක්තිය හොඳින් වර්ධනය වීම සිදුවේ.

 

(ඡායාරූප අනුග්‍රහය: William Brawley)

 

සබැඳි ලිපි:

ශ්වසන පද්ධතියේ ආසාදන වැලැක්වීමට උගුර සෝදමු!
ඔබේ දරුවාට අත් සේදීමට පුරුදු කලයුත්තේ ඇයි?

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ඉන්ෆ්ලුවෙන්සා (Influenza) ආසාදනය ගැන මදක් දැනගනිමු." පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*