ඇතැම් අයගේ බර වේගයෙන් වැඩිවන්නේ ඇයි?

ඇතැම් අයගේ බර වේගයෙන් වැඩිවෙන්නේ ඇයි

ඇතැම්විට, ඔබේ හොඳම යහළුවා කිසිම පාලනයකින් තොරව ආහාර ගනිමින් සිටින විට පවා ඔහුගේ හෝ ඇයගේ බර වැඩි නොවීම ඔබට පුදුමයට කාරණයක් වියහැක. ඒ අතරතුර, ඔබ ඉඳහිට කුඩා කේක් කැබැල්ලක් ආහාරයට ගත්විට පවා ඔබගේ බර වේගයෙන් වැඩිවීම සිදුවිය හැක. මෙයට හේතුව වන්නේ ඇතැම් ජානමය සාධක සහ ආහාර හා ජීවන රටාවන්ට එක් එක් අයගේ ශරීරය දක්වන ප්‍රතිචාරය එකිනෙකට වෙනස්වීමය. කෙසේ වුවත්, කොතරම් උත්සාහ කරද්දීත් ඔබේ බර දිගටම වැඩිවෙමින් පවතී නම්, වෛද්‍යවරයෙකු හමුවීම වඩා සුදුසුය. මක්නිසාද, ඇතැම් අභ්‍යන්තර රෝග සහ තත්ත්ව නිසාද එවැන්නක් සිදුවීමට ඉඩ ඇත. සැබැවින්ම, ඇතැම් අයගේ බර වේගයෙන් වැඩිවන්නේ ඇයි දැයි විමසා බැලීම මෙම ලිපියෙහි අරමුණයි.

 

ජාන සහ බර වැඩිවීම

ඔබේ ජාන මගින් සමේ වර්ණය, ඇස්වල වර්ණය, ශරීරයේ හැඩය, මුහුණේ ලක්ෂණ වැනි දේවල් තීරණය වන්නාක් මෙන්ම, ඔබේ ශරීරයේ බර සහ ඔබේ බර අඩුවීම හෝ වැඩිවීම කොතරම් සීඝ්‍රතාවයකින් සිදුවේද යන්න පවා ජාන මගින් තීරණය වේ. මිනිස් ශරීරයේ මේදය තැන්පත්වන රටාව, මේදය තැන්පත්වන සීඝ්‍රතාවය, ශරීර ස්කන්ධ දර්ශකය (Body mass index or BMI), සහ ආහාර රුචිය කෙරෙහි බලපෑම් කිරීමට සමත් ජාන පවතින බව ඇතැම් පර්යේෂණ මගින් තහවුරු වී ඇත.

2014 වර්ෂයේදී ජාන සහ පෝෂණය පිළිබඳ සඟරාවේ (The journal Genes and Nutrition) පලවූ පර්යේෂණයක් සඳහා 5000 කට අධික පිරිසක් වසර 10 කට වැඩි කාලයක් සහභාගී වී ඇත. සියළුම කාන්තාවන්ගෙන් තුනෙන් එකකට මේද පටක වල ක්‍රියාකාරීත්වයට බලපෑම් කලහැකි එක් විශේෂිත ජාන විකෘතියක් පවතින බව මෙහිදී සොයාගෙන ඇත. එම ජානය MMP2 ලෙස හැඳින්වෙන අතර, එම ජානය පවතින කාන්තාවන්ගේ ශරීරය තුළ මේදය තැන්පත්වීම වැඩිකිරීමට එයට හැකියාව ඇතිබවද සොයාගෙන ඇත. එම අධ්‍යයනයේදීම, සියළු පිරිමි අයගෙන් 87% කගේ ඇති FTO නම්වූ ජාන විකෘතියක් හඳුනාගෙන ඇති අතර, එය පැවතීම බර වැඩිවීම සඳහා ඇති අවදානම සැලකිය යුතු ලෙස ඉහළ දමන බව පෙනීගොස් ඇත.

 

ආහාර සහ බර වැඩිවීම

ඔබගේ බර වේගයෙන් වැඩිවන්නේ ඇයිද යන්න තීරණය කරන එකම සාධකය ජාන පමණක් නොවේ. ඉහත සඳහන් කල FTO ජානය ඇති පිරිමි අය වැඩිපුර කැලරි ප්‍රමාණයක් ආහාර ඔස්සේ ලබාගැනීමට සහ මේදය හා සීනි බහුල ආහාර ගැනීමට නැඹුරුතාවයක් දැක්වුවද, කිසිඳු ජානයක් ඔබට සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර ගැනීමට බලකරන්නේ නැත. ඔබගේ ආහාර තෝරාගැනීම්ද බර වැඩිවීම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇතිකරයි. උදාහරණයක් වශයෙන්, ඔබ ගන්නා ආහාර මගින් ඔබගේ දෛනික කැලරි අවශ්‍යතාවය ඉක්මවා යන්නේ නම්, දිනකට මිලිලීටර් 500 ක කෝලා බීම දෙකක් පානය කිරීමෙන්, දිනකට කැලරි 400 කට ආසන්න ප්‍රමාණයක් අමතරව ලැබෙන බැවින් ඔබේ බර ආසන්න වශයෙන් සතියකට ග්‍රෑම් 400 ක් බැගින් වැඩිවේ.

එබැවින්, සීනි අධික ඝන ආහාර සහ පානයන් ගැනීමෙන් වැළකීම වඩා සුදුසු වේ. එවැනි බොහොමයක් ආහාර වල ඇත්තේ ඉතාම අල්ප වූ පෝෂණ ගුණයකි. ඒ වෙනුවට, අඩු කැලරි ප්‍රමාණයක් ඇති පෝෂණ ගුණයෙන් අනූන පළතුරු, එළවළු, පළා වර්ග, මේදය රහිත මස්, සහ කුරුට්ට සහිත ධාන්‍ය ආහාර ගැනීමට පුරුදුවන්න. විශේෂත්වය වන්නේ, ඔබේ දෛනික කැලරි අවශ්‍යතාවය ඉකමවා නොයන පරිදි, මෙවැනි ආහාර වැඩි ප්‍රමාණයක් ගැනීමට හැකිවීමයි. එවිට, ඔබේ කුස පිරෙන මුත්, බර වැඩිවීම සිදුනොවේ.

එයට අමතරව, බර අඩුකරගැනීම උදෙසා වරින්වර ආහාර ගැනීම අධිකව සීමාකරන අයගේ බර, කිසිසේත්ම එසේ නොකරන අයට සාපේක්ෂව, වැඩිවනු දැකිය හැක. එයට හේතුව වන්නේ අධිකව කැලරි සීමා කරන අයෙක් නැවත සාමාන්‍ය ආහාර රටාවට පැමිණි විට, වරින් වර කුඩා ප්‍රමාණ වලින් ආහාර ගැනීමට නැඹුරු වීමයි. එමනිසා, වරින් වර අධික ලෙස ආහාර සීමාකිරීමට උත්සාහ නොකර, පෝෂණ ගුණයෙන් අනූන එහෙත් කැලරි අගයෙන් අඩු ආහාර රටාවකට දිගටම හුරුවීම, බර අඩුකරගැනීම සඳහා සාර්ථක උපක්‍රමයකි.

 

ව්‍යායාම මගින් බර අඩුවීමට වන බලපෑම

ඔබගේ බර, ඔබේ හොඳම මිතුරාගේ බරට සාපේක්ෂව සැලකිය යුතු ලෙස වැඩිවෙමින් පවතී නම්, ඔබේ මිතුරා ක්‍රමාණුකූල ව්‍යායාම වැඩසටහනක් අනුගමනය කරමින් සිටිනවා වියහැක. ඔබ වැඩිහිටියෙක් නම්, ව්‍යායාම කිරීම සඳහා ඇති නිර්දේශය වන්නේ සතියකට ව්‍යායාම කරන සමස්ථ කාලය විනාඩි 150 ක් වන පරිදි, මධ්‍යම ප්‍රමාණයේ තීව්‍රතාවයකින් යුතු ව්‍යායාම (Moderate-intensity exercises) කිරීමයි. එයට අමතරව, සතියකට විනාඩි 75 ක් පමණ වන පරිදි ශක්ති වර්ධන ව්‍යායාම (Strength training) කිරීමටද නිර්දේශ කෙරේ. කෙසේ වුවත්, ඇතැම් අයගේ බර වැඩිවීම නැවැත්වීම සඳහා සතියකට විනාඩි 300 ක් පමණ ස්වායු ව්‍යායාම (Aerobic exercises) කිරීමට අවශ්‍ය වන අවස්ථාද නැතුවා නොවේ.

ඔබ නිසි පරිදි ව්‍යායාම කරන විටදී පවා බර අඩුවෙනවා වෙනුවට තවදුරටත් වැඩිවෙමින් පවතී නම්, ව්‍යායාම වැඩසටහනට පසුව ඔබ නොදැනුවත්වම ආහාර ඔස්සේ අමතර කැලරි ප්‍රමාණයක් ගන්නවා වියහැක. ඇතැම්විට, ඔබ ගන්නා යම් පානයක හෝ ආහාර වේලක ඔබ නොසිතන තරම් වැඩි කැලරි ප්‍රමාණයක් පැවතිය හැක. එමනිසා, ඔබ ගන්නා ඕනෑම ආහාරයක ඇති කැලරි ප්‍රමාණය පිළිබඳ දළ අදහසක් පැවතීම වැදගත් වේ.

 

බර වැඩිවීමට හේතුවිය හැකි වෙනත් සාධක

ඔබ දිගුකාලීනව මානසික ආතතියෙන් පෙළේ නම් හෝ ඔබට ප්‍රමාණවත් නින්දක් නොලැබේ නම්, අන් අයට සාපේක්ෂව ඔබගේ බර පහසුවෙන් වැඩිවීම සිදුවිය හැක. මානසික ආතතිය ඇතිවිට, මේදය සහ සීනි බහුලව අඩංගු වන සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර ගැනීමට වැඩි රුචිකත්වයක් ඇතිවීම දක්නට ලැබේ. එමෙන්ම, මානසික ආතතිය මගින්ද නින්ද නොයාම ඇතිවන අතර, එහිදී ඔබගේ ආහාර ගැනීම සහ ආහාර ගැනීම නැවැත්වීම පාලනය කරන ලෙප්ටින් (Leptin) සහ ග්‍රෙලින් (Ghrelin) නැමැති හෝමෝන වල ක්‍රියාකාරීත්වය අක්‍රමවත් වේ. එමනිසා, මානසික ආතතිය පාලනය කිරීම, බර අඩුකරගැනීම සඳහා ඉතා වැදගත් වේ. මේ සඳහා යෝග ව්‍යායාම, හුස්ම ගැනීමේ ව්‍යායාම, සංගීතයට සවන්දීම, හෝ පොත් කියවීම වැනි ක්‍රියාකාරකම් ඉවහල් කරගත හැක.

 

(ඡායාරූප අනුග්‍රහය: Michael Coghlan)

 

සබැඳි ලිපි:

ව්‍යායාම සහ කෑම පාලනය කරන විටදීත් ඔබේ බර වැඩිවෙනවාද?
කොතරම් ව්‍යායාම කලත් බඩ අඩුවෙන්නේ නැත්තේ ඇයි?
බර අඩුකරගෙන යනවිට යම් මට්ටමකදී සිරවුවහොත් කුමක් කල යුතුද?
බර පාලනය කිරීමට අප උනන්දු නොවන්නේ ඇයි?

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ඇතැම් අයගේ බර වේගයෙන් වැඩිවන්නේ ඇයි?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*