අධික රුධිර පීඩනය නිසා ඇතිවිය හැකි සංකූලතා ගැන දැනගනිමු.

අධික රුධිර පීඩනය නිසා ඇතිවිය හැකි සංකූලතා ගැන දැනගනිමු

අධික රුධිර පීඩනය (Hypertension) නිසා ඔබේ ධමනි නැමැති රුධිර වාහිනී වල බිත්ති මත වැඩි පීඩනයක් ඇතිවීමෙන්, ඒවාට සහ ඔබේ ශරීරයේ අවයව වලට හානි සිදුවිය හැක. රුධිර පීඩනය වැඩිවන තරමට සහ රුධිර පීඩනය පාලනය නොවී පවතින කාලය වැඩිවන තරමට, ඔබේ ශරීරයට සිදුවන හානිය වැඩිවේ. එමනිසා, අධික රුධිර පීඩනය නිසා ඇතිවිය හැකි සංකූලතා පිළිබඳ පැහැදිලි කිරීම මෙම ලිපියෙහි අරමුණයි. පාලනය නොකරන අධික රුධිර පීඩනය නිසා පහත සඳහන් සංකූලතා ඇතිවිය හැක.

 

හෘදයාබාධය සහ අංශභාගය

අධික රුධිර පීඩනය මගින් ධමනි බිත්ති වල ආස්තරය (Lining) ට හානි වීමෙන්, කොලෙස්ටරෝල් තැන්පත්වීම ඇරඹේ. එමගින්, ධමනි බිත්ති ඝනකම්වීම සහ නම්‍යශීලීභාවය නැතිවීම සිදුවේ. මෙම ක්‍රියාවලිය Atherosclerosis ලෙස හැඳින්වෙන අතර, එසේ වීමෙන් ධමනි හරහා රුධිර සංසරණය අඩාල වී හෘදයාබාධය, අංශභාගය හෙවත් ආඝාතය, හෝ වෙනත් සංකූලතා හටගනී.

 

උපුලුව (Aneurysm)

රුධිර පීඩනය වැඩිවීම නිසා ඔබේ රුධිර වාහිනී බිත්ති දුර්වල වීමෙන් ඒවා බැලුමක ආකාරයට පිම්බීම සිදුවිය හැක. මෙය උපුලුව ලෙස හැඳින්වෙන අතර, එවැනි දුර්වල වූ ස්ථානයක පිපිරීමක් සිදුවුවහොත්, එය ඔබේ ජීවිතයට හානිකල හැකි රුධිරය වහනය වීමක් දක්වා වර්ධනය වියහැක.

 

හෘදය අකර්මණ්‍යවීම (Heart failure)

ඔබගේ රුධිර වාහිනී තුළ පවතින අධික පීඩනය අභිබවා රුධිරය පොම්ප කිරීමට සිදුවන බැවින්, හෘදයේ මාංශ පේශි ක්‍රමයෙන් ඝනකම් වේ. කාලය ගතවත්ම, ඝනකම් වූ හෘද මාංශ පේශියට සාමාන්‍ය පරිදි රුධිරය පොම්ප කිරීමට අපහසු වන අතර, ශරීරයේ අවයව සහ පටක වල අවශ්‍යතාවය සැපිරීමට නොහැකි තරමට හෘදය දුර්වල වී අකර්මණ්‍ය වේ.

 

වකුගඩු රෝග

අධික රුධිර පීඩනය නිසා ඔබේ වකුගඩු වලට රුධිරය සපයන රුධිර වාහිනී දුර්වලවීම සහ සිහින්වීම සිදුවේ. එමනිසා, වකුගඩු වලට ගලාඑන රුධිරය පරිමාව අඩුවී වකුගඩු වලට ක්‍රමයෙන් හානි සිදුවේ.

 

පෙනීමට හානි සිදුවීම

අධික රුධිර පීඩනය මගින් ඔබේ ඇස තුළැති රුධිර වාහිනී ඝනකම්වීම, සිහින්වීම, හෝ ඉරීයාම සිදුවිය හැකි අතර, එමගින් ඔබේ පෙනීමට සැලකිය යුතු ලෙස හානි සිදුවේ.

 

පරිවෘත්තීය සහලක්ෂණය (Metabolic syndrome)

මෙය, ඔබේ ශරීරයේ පරිවෘත්තීය ප්‍රතික්‍රියා වල ඇතිවන රෝග සහ තත්ත්ව සමූහයකි. මෙහිදී, උදරයේ ස්ථුලතාවය ඇතිවීම, ශරීරයට හානිකර කොලෙස්ටරෝල් වර්ගයක් වන ට්‍රයිග්ලිසරයිඩ් (Triglycerides) මට්ටම වැඩිවීම, ශරීරයට හිතකර කොලෙස්ටරෝල් වර්ගයක් වන අධි-ඝනත්ව ලිපෝප්‍රෝටීන් (High-density lipoprotein or HDL) මට්ටම අඩුවීම, රුධිර පීඩනය වැඩිවීම, සහ රුධිරයේ ඉන්සියුලින් හෝමෝන මට්ටම ඉහළයාම වැනි ගැටළු ඇතිවේ. පරිවෘත්තීය සහලක්ෂණය වැළඳීමෙන්, දියවැඩියාව, හෘද රෝග, සහ අංශභාගය හෙවත් ආඝාතය වැළඳීමට ඇති අවදානම වැඩිවේ.

 

මතකය හෝ යමක් තේරුම් ගැනීමේ හැකියාව දුර්වලවීම.

අධික රුධිර පීඩනය පාලනය නොවී පැවතීම නිසා, ඔබේ සිතීමේ, මතක තබාගැනීමේ, සහ ඉගෙනගැනීමේ හැකියාව දුර්වල වේ. අධික රුධිර පීඩනය ඇති පුද්ගලයන් අතර සංකල්ප මතක තබාගැනීමේ සහ තේරුම්ගැනීමේ හැකියාව දුර්වල බව සොයාගෙන ඇත.

 

(ඡායාරූප අනුග්‍රහය: mrehan)

 

සබැඳි ලිපි:

අධික රුධිර පීඩනය ගැන මදක් දැනගනිමු.
අධික රුධිර පීඩනය වැළඳීමට ඔබටත් අවදානමක් තිබෙනවාද?
අධික රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ඉඟි 10 ක්…
ඔබට අධික රුධිර පීඩනය ඇතැයි රෝග විනිශ්චය කරන්නේ කෙසේද?
අධික රුධිර පීඩනය සඳහා ප්‍රතිකාර කරන්නේ කොහොමද?
රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ජීවන රටාව වෙනස්කර ගනිමු.

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "අධික රුධිර පීඩනය නිසා ඇතිවිය හැකි සංකූලතා ගැන දැනගනිමු." පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*