මද සරුභාවය (Subfertility) ගැන මදක් දැනගනිමු.

මද සරුභාවය (Subfertility) ගැන මදක් දැනගනිමු

ඔබ සහ ඔබේ සහකරු හෝ සහකාරිය දරුවෙක් පිළිබඳ සිහින මවනවා විය හැක. නමුත්, ඇතැම්විට ඔබේ සිහිනය සැබෑවක් කරගැනීම අපහසු විය හැක. මෙය ඔබට පමණක් ඇති ගැටළුවක් යැයි කිසිවිටෙකවත් නොසිතන්න. මද සරුභාවය යනු ඔබ සහ ඔබේ සහකරු හෝ සහකාරිය කිසිඳු පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතා නොකර, නිතිපතා ලිංගිකව එකතු වුවත් අවම වශයෙන් වසරක කාලයක් තුළ වත් පිළිසිඳ ගැනීමක් සිදුනොවීමයි. මෙය, ඔබගේ, සහකරුගේ, හෝ දෙදෙනාගේම පවතින ගැටළු නිසා ඇතිවීම සිදුවේ. තරුණ යුවලක් කිසිඳු පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතා නොකර, දරුවකු බළාපොරොත්තුවෙන් වසරක කාලයක් නිතිපතා ලිංගිකව එක්වන්නේ යැයි සිතමු. සාමාන්‍යයෙන්, පළමු මාසය තුළ පිළිසිඳ ගැනීමක් සිදුවන්නේ 10% ක ගේ පමණි. මාස 6 ක් ගතවන විට එය 75% දක්වා වැඩිවේ. වසරක කාලයක් ගතවන විට දරුවකු පිළිසිඳ ගැනීමේ හැකියාව 90% දක්වා ඉහළ යයි. දෙදෙනාගේම පැහැදිලි ගැටළුවක් නොමැතිව වුවද, 30% කට පමණ දරු පිළිසිඳ ගැනීමක් සිදුනොවේ. වාසනාවකට මෙන්, දරු පිළිසිඳ ගැනීමක් සිදුවීම සඳහා ඇති ඉඩකඩ වැඩිකල හැකි සාර්ථක සහ ආරක්ෂාකාරී ක්‍රමවේදයන් ගණනාවක් පවතී.

 

මද සරුභාවයේ ලක්ෂණ මොනවාද?

මද සරුභාවයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ ගැබ්ගැනීමක් සිදුනොවීමයි. බොහෝවිට, වෙනත් රෝග ලක්ෂණයක් හඳුනාගත නොහැකි තරම්ය. ඇතැම් විට, මද සරුභාවය ඇති කාන්තාවකට අක්‍රමවත් ලෙස ඔසප්වීම හෝ ඔසප් නොවීම පැවතිය හැක. ඉතාම කලාතුරකින්, මද සරුභාවය ඇති පුරුෂයන්ගේ ශරීරයේ රෝම වැවී ඇති ආකාරයේ වෙනස්වීම් හෝ ලිංගික ක්‍රියාකාරීත්වයේ වෙනස්වීම් වැනි හෝමෝන ක්‍රියාකාරීත්වයේ ගැටළු දැකිය හැක. කෙසේ වුවත්, බොහොමයක් අය ප්‍රතිකාර වලින් පසුව හෝ ප්‍රතිකාරයක් නොමැතිවම වුවද ගැබ්ගැනීම සිදුවේ.

 

ඔබ වෛද්‍ය උපදෙස් පැතිය යුත්තේ කුමන අවස්ථාවේදීද?

අවම වශයෙන් වසරක කාලයක්වත්, කිසිඳු පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතා කිරීමෙන් තොරව, නිතිපතා ලිංගිකව එක්වීමෙන් පසුවත් දරු පිළිසිඳ ගැනීමක් සිදු නොවුනි නම් පමණක් ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවන්න. නමුත්, ඔබ පහත සඳහන් ලක්ෂණ ඇති කාන්තාවක් නම්, මෙම කාලයට කලින් ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවීම වැදගත් වේ.

  • ඔබගේ වයස අවුරුදු 35 ත් 40 ත් අතර වීම සහ මාස 6 ක් හෝ එයට වැඩි කාලයක් ගැබ්ගැනීමට නොහැකිවීම.
  • වයස අවුරුදු 40 ට වැඩිවීම.
  • ඔබගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වීම හෝ ඔසප් නොවීම.
  • වේදනාකාරී ඔසප්වීම පැවතීම.
  • පිළිසිඳ ගැනීමට බාධා වියහැකි ගැටළු දැනටමත් පැවතීම.
  • ඔබට එන්ඩොමෙට්‍රියෝසිස් (Endometriosis) තත්ත්වය හෝ ශ්‍රෝණි ප්‍රදාහ රෝගය (Pelvic inflammatory disease or PID) පැවතීම.
  • පෙර ගබ්සාවීම් කිහිපයක් සිදුවී තිබීම.
  • පිළිකාවක් සඳහා ප්‍රතිකාර ගෙන තිබීම.

ඔබ පහත ලක්ෂණ ඇති පුරුෂයෙක් නම්, වෛද්‍ය උපදෙස් ගැනීම කල යුතුය.

  • පරීක්ෂණ වලදී අඩු ශුක්‍රාණු සංඛ්‍යාවක් පැවතීම හෝ ශුක්‍රාණු වල ගැටළු පැවතීම.
  • ඔබගේ වෘෂණ කෝෂ වල, පුරස්ථි ග්‍රන්ථියේ, හෝ ලිංගික ක්‍රියාකාරීත්වයේ ගැටළු පැවතීම.
  • පිළිකාවක් සඳහා ප්‍රතිකාර ගෙන තිබීම.
  • වෘෂණ කුඩාවට පිහිටා තිබීම හෝ වෘෂණ කෝෂ අපස්ථිත පුංජය (Varicocele) නම්වූ තත්ත්වය නිසා ඉදිමීමට ලක්වීම.
  • ඔබේ පවුලේ වෙනත් සාමාජිකයෙකුට මද සරුභාවය පැවතීම.

 

මද සරුභාවය ඇතිවීමට හේතුවිය හැකි අවදානම් සාධක මොනවාද?

මද සරුභාවයට හේතුවිය හැකි අවදානම් සාධක බොහොමයක් කාන්තා සහ පුරුෂ දෙපාර්ශවයටම පොදු ඒවා වේ. ඒවා නම්:

  • වයස

කාන්තාවක් ක්‍රමයෙන් වයසට යත්ම සරුභාවයද ක්‍රමයෙන් අඩුවේ. විශේෂයෙන්ම, අවුරුදු 35 ට පමණ පසුව මෙසේ වනු දැකිය හැකි අතර, වයස අවුරුදු 37 න් පසුව සරුභාවය සීඝ්‍රයෙන් පහත වැටීම සිදුවේ. වයස අවුරුදු 35 ට පසුව, කාන්තාවන්ගේ මද සරුභාවය හටගැනීමට ඇති ප්‍රවණතාවය 40% ක් පමණ වේ. මෙසේ වීමට හේතුව විය හැක්කේ, ඩිම්බ සංඛ්‍යාව සහ ඩිම්බ වල ගුණාත්මකභාවය පහත වැටීම හෝ මද සරුභාවය ඇතිවීමට හේතුවිය හැකි සෞඛ්‍ය ගැටළු ඇතිවීමයි. පුරුෂයන් සැලකූ කල වයස අවුරුදු 40 ට වැඩි අයගේ සරුබව, එයට වඩා තරුණ අයගේ සරුභාවයට වඩා අඩුවිය හැක. එමෙන්ම, අවුරුදු 40 ට වඩා වැඩි පුරුෂයන්ට දාව උපදින දරුවන්ට ඇතැම් මානසික රෝග සහ ඇතැම් පිළිකා රෝග වැළඳීමට ඇති අවදානම වැඩිවිය හැක.

  • දුම්කොළ භාවිතය

දුම්පානය සහ බුළත්විට සැපීම, දරු පිළිසිඳ ගැනීමක් සිදුවීමට ඇති හැකියාව අඩුකරයි. එමෙන්ම, එය මද සරුභාවය සඳහා සිදුකරන ප්‍රතිකාර වල ඵලදායීතාවයද අඩුකිරීමට සමත්ය. සක්‍රීය හෝ අක්‍රීය දුම්පානය කරන කාන්තාවන්ට, ගබ්සාවීමට ඇති අවදානමද වැඩිවේ. විශේෂයෙන්, දුම්පානය කිරීම පුරුෂයන්ගේ ශුක්‍රාණු සංඛ්‍යාව පහත හෙලීමට මෙන්ම, ලිංගික අප්‍රාණිකත්වය ඇතිකිරීමටද හේතුවේ.

  • මත්පැන් භාවිතය

ඔබ දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වන කාන්තාවක් නම්, කිසිඳු ආකාරයක මත්පැන් ගැනීමෙන් වැළකිය යුතුවේ. මක්නිසාද, ඇල්කොහොල් මගින් කුස තුළ වැඩෙන දරුවාගේ විකෘති හටගැනීමේ අවදානම වැඩිකරන අතර, මද සරුභාවය ඇතිවීමට මත්පැන් ඉවහල් වන බවද සොයාගෙන ඇත. පුරුෂයන් සැලකූ කල, නිතිපතා හෝ අධිකව මත්පැන් පානය කිරීම මගින් ශුක්‍රාණු සංඛ්‍යාව අඩුවන අතර, ශුක්‍රාණු වල චලනය වීමේ හැකියාවද අඩුවේ.

  • අධිබර හෝ තරබාරුවීම

කාන්තාවන්ගේ අක්‍රීය ජීවන රටාව සහ බර වැඩිවීම, මද සරුභාවය ඇතිවීමට සැලකිය යුතු දායකත්වයක් දක්වයි. එමෙන්ම, පුරුෂයන්ද තරබාරු වනවිට ශුක්‍රාණු සංඛ්‍යාව අඩුවන බව සොයාගෙන ඇත.

  • ප්‍රමාණවත් බරක් නොමැතිවීම හෙවත් කෘෂවීම

අධිකව ආහාර සහ කැලරි පාලනය කරන කාන්තාවන් අතර මද සරුභාවය ඇතිවීමේ අවදානම වැඩිය.

 

 

(ඡායාරූප අනුග්‍රහය: Zappys Technology Solutions)

 

සබැඳි ලිපි:

මද සරුභාවය ඇතිවීමට හේතු මොනවාදැයි සොයා බලමු.
මද සරුභාවය (Subfertility) සඳහා රෝග විනිශ්චය කරන්නේ කෙසේද?
මද සරුභාවය සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "මද සරුභාවය (Subfertility) ගැන මදක් දැනගනිමු." පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*