අධික රුධිර පීඩනය වැළඳීමට ඔබටත් අවදානමක් තිබෙනවාද?

අධික රුධිර පීඩනය වැළඳීමට ඔබටත් අවදානමක් තිබෙනවාද

අධික රුධිර පීඩනය (Hypertension) යනු බෝනොවන රෝග කාණ්ඩයට අයත් රෝග වලින් එකකි. එමෙන්ම, ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ සංඛ්‍යාවෙන් 1.5% කට හේතුවන්නේ අධික රුධිර පීඩනයයි. විශේෂත්වය වන්නේ, මෙම රෝගය වැළඳුනු බොහොමයක් රෝගීන්ට, එනම් අධික රුධිර පීඩනය ඇති 80-90% කට පමණ කිසිඳු රෝග ලක්ෂණයක් පහළ නොවීමයි. එවැනි රෝගීන්ට, ජීවිතයට අනතුරක් වියහැකි මට්ටමකට රුධිර පීඩනය වැඩිවූ විට පවා කිසිඳු රෝග ලක්ෂණයක් පහළ නොවේ. අධික රුධිර පීඩනය වැළඳීම සඳහා හේතුවිය හැකි අවදානම් සාධක ගණනාවක් පවතී. මෙම රෝගය වැළඳීමට ඔබටත් අවදානමක් ඇතිදැයි මදක් විමසා බැලීම වැදගත් විය හැක.

 

වයස

අධික රුධිර පීඩනය වැළඳීමට ඇති අවදානම, වයස වැඩිවීමත් සමගම ක්‍රමයෙන් ඉහළ යයි. පිරිමි අය සැලකූ විට, වයස අවුරුදු 45 ඉක්මවූ පසු අධික රුධිර පීඩනය වැළඳීමට පවතින අවදානම වැඩිවනු දැකිය හැකි අතර, ගැහැණු අය අතර එය වැඩිවන්නේ බොහෝවිට වයස 65 පසුවූ විටය.

 

ජන වර්ගය

කළු ජාතිකයන් අතර අධික රුධිර පීඩනය වැළඳීමට වැඩි අවදානමක් පවතී. බොහෝවිට, අනෙක් ජාතිකයන්ට වඩා අඩු වයස් වලදී, කළු ජාතිකයන් හට මෙම රෝගය වැළඳේ. අධික රුධිර පීඩනය නිසා ඇතිවිය හැකි දරුණු සංකූලතා වන අංශභාගය හෙවත් ආඝාතය, හෘදයාබාධය, සහ වකුගඩු රෝගද කළු ජාතිකයන් අතර බහුලව ඇතිවේ.

 

පවුලේ රෝග ඉතිහාසය

අධික රුධිර පීඩනය, පරම්පරාවෙන් පරම්පරාවට ඇතිවනු දැකිය හැක. ඔබේ පවුලේ සාමාජිකයෙකුට අධික රුධිර පීඩනය වැළඳී ඇත්නම්, ඔබටද එය වැළඳීම සඳහා වැඩි අවදානමක් ඇත.

 

අධිබර හෝ තරබාරුවීම.

ඔබගේ බර වැඩිවත්ම, ශරීරයේ පටක වලට ඔක්සිජන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ සැපයීම සඳහා වැඩි රුධිරය පරිමාවක් අවශ්‍ය වේ. එසේ රුධිරය පරිමාව වැඩිවන විට, වැඩි පීඩනයක් යොදා හදවත මගින් රුධිරය පොම්ප කලයුතු අතර, ධමනි නැමැති රුධිර වාහිනී වල බිත්ති මත ඇතිවන පීඩනයද වැඩිවේ.

 

ශාරීරිකව ක්‍රියාකාරී නොවීම.

ශාරීරිකව ක්‍රියාකාරී නොවන අයගේ හෘද ස්පන්දන වේගය, ශාරීරිකව ක්‍රියාකාරී අයට වඩා වැඩිය. එවිට, එක් හෘද ස්පන්දනයකදී ඔබගේ හෘදය ඉටුකලයුතු කාර්ය ප්‍රමාණය වැඩිවන අතර, එමගින් ධමනි බිත්ති මත ඇතිවන පීඩනය වැඩිවේ. එමෙන්ම, ශාරීරිකව ක්‍රියාකාරී නොවීම නිසා අධිබර හෝ තරබාරු වීමද සිදුවේ.

 

දුම්කොළ භාවිතය

දුම්පානය සහ දුම්කොළ සමග බුළත්විට සැපීම සිදුකරන විට තාවකාලිකව රුධිර පීඩනය ඉහළ යයි. නමුත්, දුම්කොළ වල ඇති විෂ රසායන ද්‍රව්‍ය, ධමනි බිත්ති වල ආස්තරයට (Lining) හානිකරන බැවින්, ධමනි කුහරය සිහින් වී රුධිර පීඩනය දිගුකාලීනව ඉහළ යයි. මෙය, අක්‍රීය දුම්පානය (Passive smoking) කිරීමේදීද සිදුවේ.

 

ආහාර සමග ගන්නා ලුණු ප්‍රමාණය වැඩිවීම.

පරිභෝජනය කරන ලුණු ප්‍රමාණය වැඩිවත්ම, ශරීරයේ රඳා පවතින දියර පරිමාව වැඩිවන බැවින් රුධිර පීඩනය ඉහළ යයි. වැඩිහිටියෙකු දිනකදී පරිභෝජනය කලයුතු උපරිම ලුණු ප්‍රමාණය තේ හැඳි 1 ක් හෙවත් ග්‍රෑම් 5 ක් වේ. කෙසේ වුවත්, ශ්‍රී ලංකාවේ වැඩිහිටියෙකු සාමාන්‍යයෙන් දිනකට පරිභෝජනය කරන ලුණු ප්‍රමාණය, ඉහත අගය මෙන් 2-3 ගුණයක් බව ඔබ දන්නවාද?

 

ආහාර වල ඇති පොටෑසියම් ප්‍රමාණය අඩුවීම.

ඔබේ ශරීරයේ සෛල වල ඇති සෝඩියම් අයන ප්‍රමාණය යාමනය කිරීමට පොටෑසියම් අයන උපකාරී වේ. ඔබගේ ශරීරයේ ඇති පොටෑසියම් සාන්ද්‍රණය හෝ ආහාර වල ඇති පොටෑසියම් ප්‍රමාණය අඩුනම්, ශරීරයේ එකතුවන සෝඩියම් අයන ප්‍රමාණය වැඩිවන බැවින්, රුධිර පීඩනය වැඩිවේ.

 

මත්පැන් භාවිතය

නිතිපතා මත්පැන් භාවිතා කිරීමෙන්, ඔබේ හෘදයට හානි සිදුවේ. එමගින්, රුධිර පීඩනය ඉහළ යාම සිදුවේ.

 

මානසික ආතතිය

අධිකව මානසික ආතතිය ඇතිවිට, තාවකාලිකව රුධිර පීඩනය ඉහළ යා හැක. නමුත්, මානසික ආතතිය නිසා ඔබ පමණ ඉක්මවා ආහාර ගන්නේ නම් හෝ දුම්කොළ හා මත්පැන් භාවිතා කරනවා නම්, රුධිර පීඩනය වැඩිවිය හැක.

 

ඇතැම් දිගුකාලීන රෝග තත්ත්ව

වකුගඩු රෝග, දියවැඩියාව, සහ අවරෝධක නිදි ඇප්නියාව/නෛරානය (Obstructive sleep apnoea) වැනි දිගුකාලීන රෝග අධික රුධිර පීඩනය වැළඳීමට ඇති අවදානම වැඩිකරයි.

ඇතැම් විට, ගර්භණීභාවයද රුධිර පීඩනය ඉහළ දමන අවස්ථා ඇත. අධික රුධිර පීඩනය යනු වැඩිහිටියන් අතර බහුල රෝගයක් වුවද, කුඩා දරුවන්ටද එය වැළඳීමේ අවදානමක් ඇත. ඇතැම් දරුවන්ගේ පවතින වකුගඩු සහ හෘදය ආශ්‍රිත ගැටළු නිසා අධික රුධිර පීඩනය ඇතිවිය හැක. කෙසේ වුවත්, ක්‍රමයෙන් වර්ධනය වත්ම ඇතැම් දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර, තරබාරුවීම, ශාරීරිකව ක්‍රියාකාරී නොවීම වැනි අයහපත් ජීවන රටාවන්, අධික රුධිර පීඩනය ඇතිවීමට මංපෙත් විවර කරයි.

 

(ඡායාරූප අනුග්‍රහය: Hernán Piñera)

 

සබැඳි ලිපි:

අධික රුධිර පීඩනය ගැන මදක් දැනගනිමු.
අධික රුධිර පීඩනය නිසා ඇතිවිය හැකි සංකූලතා ගැන දැනගනිමු.
අධික රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ඉඟි 10 ක්…
ඔබට අධික රුධිර පීඩනය ඇතැයි රෝග විනිශ්චය කරන්නේ කෙසේද?
අධික රුධිර පීඩනය සඳහා ප්‍රතිකාර කරන්නේ කොහොමද?
රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ජීවන රටාව වෙනස්කර ගනිමු.

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "අධික රුධිර පීඩනය වැළඳීමට ඔබටත් අවදානමක් තිබෙනවාද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*