පොල්තෙල් වලින් ආහාර පිසීමේ ඇති වාසි සහ අවාසි

පොල්තෙල් වලින් ආහාර පිසීමේ ඇති වාසි සහ අවාසි

ආහාර පිසීම සඳහා පොල්තෙල් භාවිතා කිරීම, සෞඛ්‍ය විද්‍යාත්මකව තරමක් මතභේදාත්මක කරුණක් ලෙස හැඳින්විය හැක. නමුත්, පොල්තෙල් යනු ශ්‍රී ලාංකික ආහාර වල ඇති අත්‍යාවශ්‍ය අංගයකි. සාමාන්‍යයෙන්, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීමට උපදෙස් ලබාදීමේදී, පොල්තෙල් භාවිතය සීමාකිරීමට උපදෙස් දෙන්නේ එහි හෘද රෝග වැළඳීමට ඇති අවදානම වැඩිකරන සංතෘප්ත මේදය බහුලව අඩංගු වන නිසාය. කෙසේ වුවත්, නවතම පර්යේෂණ මගින් හෙළිවී ඇත්තේ, සෑම සංතෘප්ත මේදයක්ම එක සමාන නොවන බවයි. එම පර්යේෂණ වලට අනුව, ඇතැම් සංතෘප්ත මේද අම්ල, හෘද රෝග අවදානම වැඩිකරන අතර, ඇතැම් ඒවා සෞඛ්‍යයේ මනා පැවැත්මට වැදගත් බව සොයාගෙන ඇත.

 

සෞඛ්‍ය සම්පන්න දිවියකට ඇති වාසි

සංතෘප්ත මේදය, කාණ්ඩ ගණනාවකට බෙදා වෙන්කරන අතර, සෑම කාණ්ඩයක්ම ඔබේ ශරීරය තුළ ජෛව රසායනිකව එකම ආකාරයකට ක්‍රියා නොකරයි. එමනිසා, සියළු සංතෘප්ත මේද වර්ග, සෞඛ්‍යයට අහිතකරයි යන්න මතභේදාත්මක කරුණක් වී ඇත. පොල්තෙල් වල, ලෝරික් අම්ලය (Lauric acid) නම්වූ සංතෘප්ත මේද අම්ලයක් බහුලව ඇති අතර, එය රුධිරයේ ඇති කොලෙස්ටරෝල් මට්ටම වැඩිකරයි. නමුත්, ලෝරික් අම්ලය විසින් වැඩියෙන්ම ඉහළ දමන්නේ, ශරීරයට හිතකර අධි-ඝනත්ව ලිපෝප්‍රෝටීන් (High-density lipoprotein or HDL) ය. මෙම HDL මගින්, හෘද රෝග සඳහා ඇති අවදානම අඩුකිරීම සිදුවේ. සංතෘප්ත මේද අම්ලයක දාමයේ දිගද, එය කොතරම් සෞඛ්‍ය සම්පන්න දැයි පෙන්නුම් කරන දර්ශකයකි. පොල්තෙල් වල අඩංගු වන්නේ මධ්‍යම ප්‍රමාණයේ දිගැති ට්‍රයිග්ලිසරයිඩ් (Tryglicerides) නම් වූ මේදය වර්ගයකි. එහි ඇති විශේෂත්වය වන්නේ, ඒවා ශරීරය තුළ ශක්තිය නිපදවීම සඳහා සෘජුවම භාවිතා වීමයි. එමනිසා, ඒවා සෞඛ්‍යයට හානිකරවීම අවම වේ.

 

සෞඛ්‍ය සම්පන්න දිවියකට ඇති අවාසි

ඕනෑම මේදය වර්ගයක් ගත්කල, එහි මේස හැන්දක කැලරි 120 ක් පමණ ඇත. එනම්, මේදය ග්‍රෑම් එකක කැලරි 9 ක් පමණ අඩංගු වේ. කාබෝහයිඩ්‍රේට් හෝ ප්‍රෝටීන් ග්‍රෑම් එකක අඩංගු වන්නේ කැලරි 4 ක් පමණය. එමනිසා, මේදය කැලරි ඝනත්වය වැඩි පෝෂ්‍ය පදාර්ථයක් ලෙස හැඳින්විය හැක. ඔබ බර පාලනය කිරීමට හෝ බර අඩුකරගැනීමට බළාපොරොත්තු වන්නේ නම්, ඔබේ ආහාරයේ අඩංගු මේදය ප්‍රමාණය අඩුකරගත යුතුමය. පොල් වල ආහාරයට ගන්නා සියළු ප්‍රභේදයන්හි කැලරි ඝනත්වය ඉතා ඉහළ බැවින්, ආහාර පිළියෙල කිරීමට භාවිතා කල යුත්තේ මද වශයෙනි. එසේම, අඩ වශයෙන් හයිඩ්‍රජනීකරණය කරන ලද (Partially hydrogenated) පොල්තෙල් භාවිතා කිරීමෙන් වැළකීම ඇඟට ගුණ වේ. මක්නිසාද, එවැනි මේදය ස්වභාවික නොවන අතර, දිගුකාලීන බෝනොවන රෝග රැසක් වැළඳීමට හේතුවිය හැක. මාගරින්, බේකරි කෑම වර්ග, ගැඹුරු තෙලේ බදින ලද ආහාර, පැකට් කරන ලද කෙටි ආහාර ආදිය පිළියෙල කිරීමේදී තෙල් හයිඩ්‍රජනීකරණය වන බව සිතේ තබාගන්න.

 

තෙල් සහ තාපය

තෙල් රත්කිරීමේදී, ඔක්සිජන් වායුව සහ ආලෝකය සමගද ප්‍රතික්‍රියා කරන බැවින්, ඇතැම් තෙල් වර්ග වල සෞඛ්‍ය සම්පන්න භාවයට හානි සිදුවේ. බහු-අසංතෘප්ත මේදය (Poly-unsaturated fat) බහුලව අඩංගු ආහාර සැලකූ කල, එම මේද අම්ල තාපයට ඉතා සංවේදී බැවින් ආහාර පිසීම සඳහා භාවිතා කිරීම නිර්දේශ නොකරයි. නමුත්, පොල්තෙල් වල ප්‍රධාන වශයෙන් අඩංගු වන්නේ සංතෘප්ත මේදය බැවින්, පොල්තෙල් වලට ඉහළ උෂ්ණත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව පවතී. එමනිසා, ආහාර පිසීම සඳහා වඩාත් ගැලපෙන තෙල් වර්ගයක් ලෙස පොල්තෙල් හැඳින්විය හැක. එමෙන්ම, එය ආහාර වලට ප්‍රණීත රසයක් එක්කරයි. කෙසේ වුවත්, පොල්තෙල් වල සෞඛ්‍ය ප්‍රතිලාභ ආරක්ෂා කරගැනීම සඳහා පිරිපහදු නොකර ස්වභාවිකව හින්දාගත් පොල්තෙල් භාවිතා කල යුතුවේ.

 

(ඡායාරූප අනුග්‍රහය: Hafiz Issadeen)

 

සබැඳි ලිපි:

අසංතෘප්ත මේදය ඔබේ ශරීරයට හිතකර වන්නේ ඇයි?
ආහාර වල ශක්ති ඝනත්වය ගැන දැනගැනීම වැදගත් වන්නේ ඇයි?
සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සඳහා ඉඟි කිහිපයක්

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "පොල්තෙල් වලින් ආහාර පිසීමේ ඇති වාසි සහ අවාසි" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*