දරුවාට ක්ලාන්තයක් සෑදුනහොත් කුමක් කල යුතුද?

දරුවාට ක්ලාන්තයක් සෑදුනහොත් කුමක් කල යුතුද?

ක්ලාන්තයක් යනු තාවකාලිකව ඇතිවන සිහි මුර්ජාවීමක් ලෙස හැඳින්විය හැක. දරුවා විජලණය වීම, අධික තාපය, රුධිරයේ සීනි මට්ටම අඩුවීම, අධිකව වෙහෙසීම, අභ්‍යන්තර රෝග තත්ත්ව නිසා මෙන්ම, ඇතැම් විට මානසික ආතතිය නිසාද ක්ලාන්තය ඇතිවිය හැක. කෙසේ වුවත්, ඔබේ දරුවාට ක්ලාන්තයක් ඇතිවුවහොත්, වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් වේ. මක්නිසාද, එමගින් ක්ලාන්තය ඇතිවීමට හේතුවූ සැබෑ කාරණය හඳුනාගැනීමට හැකිවන අතර, නැවත ක්ලාන්තයක් ඇතිවීම මගහරවා ගැනීමටද එය උපකාරී වේ.

 

ක්ලාන්තය ඇතිවීමේදී හටගන්නා රෝග ලක්ෂණ මොනවාද?

ක්ලාන්තය ඇතිවීමට මොහොතකට පෙර පහත සඳහන් රෝග ලක්ෂණ ඇතිවිය හැක.

  • කරකැවිල්ල
  • හිස තෝන්තු වූවාක් සේ දැනීම
  • සුදුමැලි වීම
  • සමබරතාවය බිඳීයාම
  • පෙනීම වෙනස්වීම
  • හෘද ස්පන්දනය හෝ නාඩි වැටීම වේගවත්වීම හෝ අක්‍රමවත්වීම
  • අධිකව දහඩිය දැමීම
  • ඔක්කාරය හෝ වමනය

 

ක්ලාන්තය ඇතිවූ විට කුමක් කල යුතුද?

ඔබේ දරුවාට ක්ලාන්තයක් සෑදීමට ආසන්න නම් හෝ දැනටමත් ක්ලාන්ත වී ඇත්නම්, දරුවාගේ ශරීරයේ ඇති ඇඳුම් මදක් ලිහිල් කරන්න. දරුවාට හොඳින් වාතාශ්‍රය ලැබෙන්න සලස්වන්න. සීතල හෝ ඇල් ජලයෙන් පොඟවන ලද රෙදි කැබැල්ලකින් දරුවාගේ මුහුණ පිසදමන්න. දරුවාට, තවදුරටත් අපහසුතාවයක් නැතැයි හැඟෙන තෙක්, ඔහුට හෝ ඇයට සිටගැනීමට හෝ ඇවිදීමට ඉඩදීමෙන් වළකින්න.

ඔබේ දරුවාට ක්ලාන්තය සෑදීමට ආසන්න නම්:

ඔහුට හෝ ඇයට වැතිරීමට ඉඩ සලස්වන්න. නැතහොත්, පුටුවක වාඩිවී, ඉදිරියට නැවී හිස දණහිස් අතර තබාගැනීමට ඉඩ සලස්වන්න.

ඔබේ දරුවා දැනටමත් ක්ලාන්ත වී ඇත්නම්:

ඔහුගේ හෝ ඇයගේ දෙපා මදක් එසවෙන සේ තබා, වැතිර සිටීමට ඉඩ සලසන්න. බිම ඇදවැටීම නිසා යම් අනතුරක් සිදුවී ඇත්නම්, දරුවා කලබලයෙන් ඔසවාගෙන දිවීමට තැත්කරන්න එපා.

එමෙන්ම, දරුවා ක්ලාන්ත වී සිටින අවස්ථාවකදී කිසිවිටෙක ජලය හෝ වෙනත් දියරයක් පෙවීමට උත්සාහ කරන්න එපා. දරුවාට ක්ලාන්තයක් සෑදුන විට අනවශ්‍ය ලෙස කලබල වීමෙන් වැළකීමද ඉතාම වැදගත් බව සිතට ගන්න.

දරුවාට ක්ලාන්තයක් ඇතිවූ ඕනෑම විටෙක, වෛද්‍ය උපදෙස් ලබාගැනීමට කටයුතු කරන්න.

ඔබේ දරුවාට පහත ලක්ෂණ එකක් හෝ ඇත්නම්, ඉක්මනින් එමෙන්ම ආරක්ෂිතව රෝහලකට රැගෙන යාමට කටයුතු කරන්න.

  • දරුවා ක්ලාන්ත වී බිම ඇදවැටීම නිසා යම් අනතුරක් සිදුවී ඇත්නම් හෝ ඇතැයි සැක කරන්නේ නම්.
  • කතා කිරීම හෝ පෙනීම වෙනස්වීම හෝ එසේ කිරීමට අපහසුතාවයක් පැවතීම.
  • චලනය වීමට අපහසු වීම.
  • පපුවේ වේදනාවක් ඇතිවීම.
  • හෘද ස්පන්දනය හෝ නාඩි වැටීම වේගවත්වීම හෝ අක්‍රමවත් වීම.
  • වලිප්පුව සෑදීම.
  • ශාරීරික ක්‍රියාකාරකම් කරමින් සිටින අතරතුර ක්ලාන්තයක් ඇතිවීම.

 

ක්ලාන්තය ඇතිවීම වළක්වා ගන්නේ කෙසේද?

  • ඔබේ දරුවා ප්‍රමාණවත් ලෙස දියර පානය කරන්නේ දැයි සැලකිලිමත් වන්න. පරිසරයේ උෂ්ණත්වය වැඩි අවස්ථා වලදී සහ ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදෙන විට, දියර පානය කිරීම පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය.
  • දිගු වේලාවක් සිටගෙන හෝ ඉඳගෙන සිටින අවස්ථා වලදී, වරින් වර කෙටි විවේකයන් ගෙන මදක් ඔබමොබ ඇවිදීම කල යුතුය.
  • ඔබේ දරුවා බියවීමක් නිසා අසාමාන්‍ය ලෙස වේගයෙන් හුස්ම ගන්නේ නම්, සන්සුන්ව කඩදාසි බෑගයක් තුළට සෙමෙන් හුස්ම ගැනීමට උපදෙස් දෙන්න.
  • හැකිතරම්, තදබදය හෝ අධික තාපය ඇති පරිසරයන් මගහැරීමට කටයුතු කරන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Francesca Dioni)

 

සබැඳි ලිපි:

දරුවාට උණ වලිප්පුව සෑදුන විට කුමක් කරමුද?
දරුවාගේ ඇසට අනතුරක් වූ විට කුමක් කල යුතුද?
දරුවාගේ කැපුම් තුවාළයක් සිදුවුවහොත් කුමක් කලයුතුද?
දරුවාගේ හිසට සිදුවන අනතුරු වලදී කුමක් කල යුතුද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දරුවාට ක්ලාන්තයක් සෑදුනහොත් කුමක් කල යුතුද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*