නවීන සමාජයේ සරළව ජීවත්වීමට ක්‍රම 6 ක්

නවීන සමාජයේ සරළව ජීවත්වීමට ක්‍රම 6 ක්

අපගේ ජීවිතය පහසු කරගැනීම සඳහා විවිධ පහසුකම් වත්මන් සමාජයේ පවතී. විටෙක, එවැනි පහසුකම් අපට පහසුවක් වුවද, ඇතැම්විට ඒවා අපේ ජීවිතය සංකීර්ණ කරන අවස්ථාද නැතුවා නොවේ. එසේ වුවද, නවීන සමාජයේ ජීවත්වන බොහොමයක් අය සරළ ජීවිතයක් ගතකිරීමට සිහින දකියි. එවැනි අය, වැවක් අද්දර වාඩිවී සිටීම, ස්වභාවික පරිසරයේ කාලය ගතකිරීම වැනි දේ සැලසුම් කරයි. නමුත්, යතාර්ථය විසින් එවැනි සිහින බිඳ දමනු නිතර දැකිය හැකි දෙයකි. එසේ වුවත්, උත්සාහය අත්හැරීමට අවශ්‍ය නැත. අපගේ ජීවිත සරළ කරගැනීමට ක්‍රම ගණනාවක් ඇත.

සරළ දිවියක් ගතකිරීම ගැන සිතන බොහෝ අයගේ සිහියට නැගෙන්නේ වන ලැහැබක් මැද නිවසක ජීවත්වීම, පිටිසර පළාතකට ගොස් ජීවත්වීම වැනි දේවල්ය. නමුත්, සරළව ජීවත්වීමට නවීන සමාජයෙන් මිදීම අත්‍යාවශ්‍ය කාරණයක් නොවේ. මෙහිදී කල යුත්තේ, නවීන සමාජය තුළ සිටියදීම අපගේ දිවිය සරළ කරන දේවල් නිසි පරිදි තෝරාගැනීම පමණි.

 

සරළතම ජංගම දුරකථනයක් භාවිතා කිරීම.

ජංගම දුරකථනයක් නොමැතිව ජීවත්වීම කලනොහැකි තරමට එය අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වී හමාරය. හදිසි අවස්ථාවකදී වුවද ජංගම දුරකථනයක් අත්‍යාවශ්‍ය වේ. කෙසේ වුවත්, සංකීර්ණ ස්මාර්ට් ෆෝන් එකක් වෙනුවට, දුරකථන ඇමතුම් ගැනීමට සහ දුරකථන ඇමතුම් ලබාගැනීමට පමණක් හැකි සරළතම ජංගම දුරකථනයක් තෝරාගැනීම, අපගේ දිවිය සරළ කරගැනීමට හොඳ ආරම්භයක් විය හැක. මෙහිදී, ජංගම දුරකථන සම්බන්ධතාවයද, සරළ එකක් වීම වැදගත් වේ. එය ආර්ථික වශයෙන්ද වාසිදායක උපක්‍රමයකි.

 

චන්ද්‍රිකා රූපවාහිනී සම්බන්ධතාවය විසන්ධි කිරීම.

බොහෝ අය සැලකිය යුතු මූලික වියදමක් සහ මාසික වියදමක් වැයකරමින් නිවසට චන්ද්‍රිකා රූපවාහිනී සම්බන්ධතාවයක් ලබාගනිති. එවැනි සරළතම රූපවාහිනී සම්බන්ධතාවයකින් වුවද නාලිකා 50-100 ක් පමණ නැරඹීමට හැකියාව ලැබෙන මුත්, අප බොහෝවිට නරඹන්නේ නාලිකා 10-15 ක් පමණි. එය, අනවශ්‍ය වියදමක් නොවන්නේද? එවැනි මිළ අධික රූපවාහිනී සම්බන්ධතාවයක් වෙනුවට, ඔබගේ රූපවාහිනියට සාමාන්‍ය ඇන්ටෙනාවක් සවිකර නොමිළේම රූපවාහිනිය නැරඹීමට හැකියාව ඇත. එසේත් නැත්නම්, හතු පිපෙන්නාක් මෙන් ඇති රූපවාහිනී නාලිකා වල විකාශය වන හරසුන් වැඩසටහන් නැරඹීමට ඔබගේ වටිනා කාලය වැයනොකර, පවුලේ සාමාජිකයන් සමග සතුටින් කතාකිරීමට කාලය ගතකිරීම ජීවිතය තවත් සරළ කරනු ඇත.

 

ණයවර පත් (Credit cards) වලින් මිදීම.

බැලූ බැල්මට ණයවර පත් වාසිදායක බව පෙනේ. ඒවා, අපට එකවර ගෙවීමට අපහසු මුදලකට භාණ්ඩ හා සේවා ලබාගැනීමට අවස්ථාව සලසා දී, වාරික වශයෙන් ගෙවීමට පහසුකම් සලසයි. නමුත්, එසේ කිරීමේදී එකවර ගෙවා මිළදී ගන්නා විට ලැබෙන බොහොමයක් වට්ටම් අහිමිවන බව ඔබ දන්නවාද? මාසයකට වරක් බිළ ගෙවීමට බැංකුවට යාමට සිදුවීමද ඇතැම්විට හිසරදයකි. එමෙන්ම, වාර්ෂික සාමාජික මුදලක් ගෙවීමට සිදුවීමද, නිකරුනේ සිදුවන මුදල් නාස්තියකි. එමනිසා, ජීවිතය සංකීර්ණ කර නොගෙන, ඔබට එකවර මිළදී ගතහැකි භාණ්ඩ හා සේවා මිළදී ගැනීමට යොමුවීමෙන් දිවිය සරළ කරගැනීමට පහසු වේ. එවිට, මාසයක් ගෙවීයන විට ගෙවාගැනීමට නොහැකි තරමේ මාසික බිළක් හේතුවෙන් ඇතිවිය හැකි ආතතියට නැවතීමේ තිත තැබිය හැක.

 

නිවසේ ඇති කැලිකසල සහ සුන්බුන් වලින් මිදෙන්න.

විවේකයක් ලැබුණු විට, නිවසේ ඇති භාණ්ඩ පරීක්ෂා කර බලන්න. තවදුරටත් අවශ්‍ය නොවන සහ භාවිතා නොකරන භාණ්ඩ ඕනෑ තරම් ඔබේ නිවසේ පැවතිය හැක. එවැනි දේවල් තෝරාගෙන නිසි පරිදි බැහැර කරන්න. ඇතැම්විට, ඒවා විකිණීමෙන් සුළු මුදලක් උපයාගත හැකි අවස්ථාද ඇත.

 

අනවශ්‍ය වියදම් අඩුකරන්න.

ඔබ මාසිකව වියදම් කරන මුදල් වැයවන්නේ මොනවාටදැයි මදක් විපරම් කර බලන්න. ඇතැම්විට, කලාතුරකින් භාවිතා කරන භාණ්ඩ හෝ සේවා සඳහා ඔබ සැලකිය යුතු මුදලක් මාසිකව වැයකරනවා වියහැක. මෙසේ, කොපමණ මුදලක් මාසිකව නිකරුණේ වියදම් කරන්නේ දැයි විමසා බලා ඒවා කපාහැරීමට කටයුතු කරන්න.

උදාහරණයක් වශයෙන්, කුඩා දුරක් ගමන් කිරීමට කුලීරථයකට වියදම් කරන්න එපා. ඒ වෙනුවට සෞඛ්‍ය සම්පන්න පාගමන තෝරාගන්න. එමෙන්ම, සුපර් මාකට් වලින් මිළදී ගන්නා භාණ්ඩ ප්‍රමාණය හැකිතරම් අවම කරන්න. ඒ වෙනුවට, සිල්ලර බඩු කඩයකින් හෝ පොළෙන් අඩු මිළට බඩු මිළදී ගැනීමට කටයුතු කරන්න. එමගින්, සැලකිය යුතු මුදලක් මාසිකව ඉතිරිකර ගැනීමට හැකිවනු ඇත.

 

ඔබේ කාලය නිසි පරිදි වැයකරන්න.

ඔබ එදිනෙදා කාර්යයන් කිරීමට වැයකරන කාලය මෙන්ම, එදිනෙදා කරන කාර්යයන් පිළිබඳවද සැලකිලිමත් වන්න. කාලය කා දමන අනවශ්‍ය දේවල් වලින් බැහැර වන්න. එමෙන්ම, අඩු කාලයක් වැයකර යම් කාර්යයක් කරගැනීමට හැකි ක්‍රමවේදයන් අධ්‍යයනය කර ඒවා යොදාගන්න. හැකි විටෙක, පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමග විනෝදයෙන් කාලය ගතකිරීමට සැලසුම් කරන්න. විනෝද චාරිකා යාම, ස්වභාවික පරිසරයේ කාලය ගතකිරීම, ක්‍රීඩා කිරීම, ඇවිදීම, බයිසිකල් පැදීම, කඳු නැගීම වැනි ඔබේ සෞඛ්‍යය රැකදෙන දේවල් වලට සැලකිය යුතු කාලයක් වෙන්කරන්න.

මුදල් සහ කාලය යනු අපට ඇති වටිනාම සම්පත් දෙකකි. ඔබගේ දිවිය සරළ වත්ම, මෙම සම්පත් දෙකම ඔබට ඉතිරි වනු අත. එය, නවීන සමාජයේ සරළව ජීවත්වීමට ඔබට උපකාරයක් වේ. සරළව ජීවත්වීමට උපයෝගී කරගත හැක්කේ මෙහි සඳහන් උපක්‍රම පමණක් නොවේ. ඔබගේ රුචිකත්වය අනුව, මින් කිහිපයක් හෝ සියල්ලම වුවද අනුගමනය කලහැක. එමෙන්ම, සරළ දිවියකට යොදාගත හැකි තවත් ක්‍රමවේදයන් පිළිබඳව ස්වයං අධ්‍යයනයක යෙදීමටද ඔබට නිදහස ඇත. මෙවැනි උපක්‍රම සියල්ල එකවර කිරීමට උත්සාහ කරනවාට වඩා, එකින් එක ඔබගේ දිවියට ක්‍රමයෙන් එකතුකර ගැනීම වඩාත් පහසුය.

ජීවිතය යනු එක්තරා තෝරාගැනීම් සමූහයක එකතුවකි. සරළව ජීවත්වීමද ඉන් එක් තෝරාගැනීමකි.

 

(ඡායාරූප අනුග්‍රහය: YorkshirePhotoWalks)

 

සබැඳි ලිපි:

සරල ලෙස ජීවත්වන්නේ කෙසේද?
ඔබේ ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීමට ක්‍රම 10 ක්
ඔබ තුළ සිටිනා ඔබව හඳුනාගන්නේ කොහොමද?
මානසික ආතතිය පාලනය කරගන්නේ කොහොමද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

2 Comments on "නවීන සමාජයේ සරළව ජීවත්වීමට ක්‍රම 6 ක්"

  1. තරිඳු | January 21, 2017 at 1:47 pm | Reply

    ස්තුතියි!.
    ජීවිතයට වටිනා කරුණු කියා දුන්නාට .

    • වෛද්‍ය නාලක ප්‍රියන්ත | January 22, 2017 at 5:51 am | Reply

      ඔබේ ප්‍රතිචාරයට බෙහෙවින්ම ස්තූතිවන්ත වන අතර, නිරෝගී අනාගතයකට සුභ පතමි.

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*