ආහාර පාන සුරක්ෂිතව ගබඩාකර තබාගන්නේ කෙසේද?

ආහාර පාන සුරක්ෂිතව ගබඩාකර තබාගන්නේ කෙසේද

ඔබ පරිභෝජනය කරන ආහාර පාන සුරක්ෂිතව ගබඩා කිරීම, ඔබේ සෞඛ්‍යය රැකගැනීමට අත්‍යාවශ්‍ය වන ක්‍රියාවලියකි. ආහාර සුරක්ෂිතව තබා නොගැනීම නිසා, ආහාර නාස්තිවීම වැඩිවන අතර, විවිධ රෝග හටගැනීමටද මග පෑදිය හැක. එමනිසා, ආහාර සුරක්ෂිතව ගබඩාකර ගැනීම ගැන ප්‍රමාණවත් ප්‍රායෝගික දැනුමක් ඔබ සතුව පැවතීම වැදගත් වේ.

ටින්, කෑන්, පැකට්, සහ බෝතල් වල අසුරා ඇති ආහාර, ශීතකරණයක් තුළ ගබඩා කලයුතු යැයි විශේෂයෙන් සඳහන් කර නැත්නම්, වියලි සහ සිසිල් ස්ථානයක කෘමීන්ට සහ මීයන්ට හසුනොවන සේ තබන්න. එමෙන්ම, හැකිනම් එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය ආහාර, අලුත් සහ නැවුම් ලෙස එදිනම මිළදී ගැනීමට කටයුතු කිරීම වඩා උචිතය. ආහාර දිගු කාලයක් තබාගැනීමට අවශ්‍ය නම්, ශීතකරණයේ හෝ අධිශීතකරණයේ තැබීම කලහැක. සැමවිටම නිවසේ ඇති ශීතකරණය, විදුලියට සම්බන්ධ කර තැබීම කල යුතුවේ. ඇතැම් අය, විදුලි බිල අවම කරගැනීමට යැයි සිතා ශීතකරණය වරින් වර ක්‍රියා විරහිත කිරීමට කටයුතු කරයි. නමුත්, එයින් සිදුවන්නේ විදුලි බිල තවදුරටත් ඉහළ යාම සහ ශීතකරණය තුල ඇති ආහාර නරක්වීමට ඇති අවදානම වැඩිවීම පමණි.

පිසගන්නා ලද ආහාර, පිරිසිදු, ශරීරයට විෂ සහිත නොවන, සේදීමට හැකි, සහ හොඳින් වැසිය හැකි භාජන වල දමා තබන්න. එමෙන්ම, පිසින ලද ආහාර, අමු ආහාර සමග ගැටෙන සේ තැබීමෙන් වළකින්න. ශීතකරණය තුළ වුවද, ආහාර අනවශ්‍ය පරිදි දිගු කාලයන් තබාගැනීමෙන් වළකින්න.

අර්තාපල් අල සහ ලූණු ගබඩාකල යුත්තේ සිසිල් අඳුරු ස්ථානයකය. නමුත්, අර්තාපල් අල සහ ලූණු එකට ගබඩාකර තබන්න එපා. ඒවා එකට ගබඩා කිරීම නිසා, ලූණු වලින් මුක්ත වන වායූන් වල බලපෑමෙන්, අර්තාපල් අල වල අංකුර හටගෙන පැළවීම සිදුවිය හැක. එමෙන්ම, බොහොමයක් පළතුරු සහ එළවළු ශීතකරණයේ තැබීම වඩාත් සුදුසුය.

ධාන්‍ය සහ පියලි වර්ග සුළං නොවදින වියලි භාජනයක අසුරා ආලෝකය නොලැබෙන සේ තැබීම කල යුතුය.

මස් සහ මාළු ආදිය ශීතකරණයේ ඇති අධිශීතකරණය තුළ තබන්න. එමෙන්ම, පිසින ලද ආහාර ශීතකරණයේ ඉහළින් ඇති රාක්ක මත තැබීමෙන්, නරක්වීම අවම කරගත හැක.

නැවුම් සහ දියර කිරි ශීතකරණය තුළ සෙල්සියස් අංශක 5 ට වඩා අඩු උෂ්ණත්වයක ගබඩා කල යුතුවේ. ජීවාණුහරණය කල කිරි, අසුරණය විවෘත කිරීමට පෙර ශීතකරණය තුළ තැබීමට අවශ්‍ය නොවූවත්, අසුරණය විවෘත කල පසු ශීතකරණය තුළ ගබඩා කල යුතුවේ.

අලුතෙන් පිසගන්නා ලද ආහාර, පැය 4 ක් ඇතුළත පරිභෝජනය කිරීම හෝ ශීතකරණයක් තුළ ගබඩා කිරීම කල යුතුය. මක්නිසාද, පිසින ලද ආහාර කාමර උෂ්ණත්වයේ තැබුවහොත්, ඉක්මනින්ම ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වීම නිසා නරක්වීමට ලක්වේ. එමෙන්ම, පිසින ලද ආහාර උණුසුම්ව තිබියදීම ශීතකරණය තුළ ගබඩා කලහොත්, ශීතකරණය තුළ උෂ්ණත්වය ඉහළ යාම නිසා එම ආහාර වල පමණක් නොව, ගබඩා කර ඇති අනෙක් ආහාර මතද ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වීමෙන් නරක්වීමට ලක්විය හැක. ආහාර වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 5 ට වඩා අඩුවන පරිදි හෝ සෙල්සියස් අංශක 60 ට වඩා වැඩිවන අයුරින් ගබඩා කිරීමෙන්, ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වීම අවම කරගැනීම හෝ නැවැත්වීම කල හැක.

ශීතකරණයේ තැබූ පිසින ලද ආහාර නැවත පරිභෝජනය කිරීමට පෙර, අවම වශයෙන් සෙල්සියස් අංශක 70 ට වත් හොඳින් රත්කරගැනීමට අවශ්‍ය වේ. නැවත නැවත ශීතකරණයේ තබමින් සහ රත්කරමින් ආහාර ගැනීමෙන් වැළකිය යුතුවේ. සැමවිටම, අසුරණයක් තුළ ගබඩාකර ඇති ආහාර මිළදී ගැනීමේදී කල් ඉකුත්වන දිනය ගැන සැලකිලිමත් වන්න. හැකිතරම්, නිෂ්පාදිත දිනයට බොහෝ ආසන්න දිනවල විකිණීමට ඇති ආහාර මිළදී ගන්න.

මූලාශ්‍රය : පෝෂණ අංශය, සෞඛ්‍ය අමාත්‍යංශය

(ඡායාරූප අනුග්‍රහය: Michelle Tribe)

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ආහාර පාන සුරක්ෂිතව ගබඩාකර තබාගන්නේ කෙසේද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*