දුම්පානය කලොත් ඔබේ ජීවිතයත් අනතුරේ…

දුම්පානය කලොත් ඔබේ ජීවිතයත් අනතුරේ

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15 ට වැඩි අයගෙන් 33.2% ක් දුම්පානය කරන බව ඔබ දන්නවාද? එමෙන්ම, ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ වලට වැඩිම දායකත්වය දක්වන රෝග තුනේම ප්‍රධාන අවදානම් සාධකයක් ලෙසද දුම්පානය දැක්විය හැක. එම රෝග සහ ඒවා කොතරම් රෝහල් තුළ සිදුවන මරණ වලට දායකත්වය දක්වන්නේද යන්න පහතින් දක්වා ඇත.

  • හෘද රෝග: 14.8%
  • පිළිකා: 11.7%
  • අංශභාගය හෙවත් ආඝාතය: 8.4%

එනම්, ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ අතරින් 34.9% කට හේතුවන ප්‍රධාන රෝග තුනටම, දුම්පානය අවදානම් සාධකයකි. එමෙන්ම, දුම්කොළ නිෂ්පාදන භාවිතා කරන්නන්ගෙන් 50% ක් පමණ මියයන්නේ දුම්කොළ භාවිතය නිසා ඇතිවන රෝගයකින් බව සොයාගෙන ඇත.

දුම්වැටියක, විෂ රසායන ද්‍රව්‍ය 4000 කට අධික සංඛ්‍යාවක් පවතින බව දැනට සොයාගෙන ඇති අතර, ඉන් රසායන ද්‍රව්‍ය 43 ක් පිළිකා ඇතිකිරීමට හැකියාව ඇති ද්‍රව්‍ය හෙවත් පිළිකා කාරක වේ. දුම්වැටියක ඇති ඇතැම් විෂ රසායන ද්‍රව්‍ය වලට ශරීරයට ඇතුළු වූ විගසම හානි ඇතිකිරීම ආරම්භ කිරීමට හැකියාව පවතී. එමෙන්ම, යමෙක් දුම්පානය අත්හැර දැමූ පසු, ඉන් මාරාන්තික රෝග වැළඳීමට ඇති අවදානම යථා තත්ත්වයට පත්වීමට වසර 15 ක් පමණ ගතවේ. දුම්පානය යනු කොතරම් අවදානම් සහගත ක්‍රියාවක් දැයි පැහැදිළි වීමට එය වුවද ප්‍රමාණවත්ය.

දුම්කොළ වල ඇති විෂ රසායන ද්‍රව්‍ය කිහිපයක් ගැන පහතින් දක්වා ඇත.

  • නිකොටින්

මෙය දුම්පානයට ඔබව ඇබ්බැහි කරවන ප්‍රධාන රසායන ද්‍රව්‍යය වේ. දුම්කොළ වල නිකොටින් බහුලව අඩංගු වන අතර, එය කෘමි නාශකයක් ලෙසද භාවිතා කරයි.

  • ඇසිටෝන්

සායම් වර්ග සහ නිය ඔපදැමීමට භාවිතා කරන ද්‍රව්‍යයන් ඉවත්කිරීමට යොදාගන්නා වාෂ්පශීලී රසායනික ද්‍රව්‍යයකි.

  • ඇමෝනියා

ඇමෝනියා යනු ගෙබිම පිරිසිදු කරන දියර වල අඩංගු රසායන ද්‍රව්‍යයකි.

  • ආසනික්

ආසනික් යනු ශරීරයට ඉතා හානිකර බැර ලෝහයකි. එය, ශරීරයෙන් ඉවත් කිරීමට අපහසු බැවින් පටක තුළ එක්රැස් වන අතර, කෘමි නාශක තුළද අඩංගු වේ.

  • කාබන් මොනොක්සයිඩ්

මෝටර් රථ වල ඉන්ධන දහනය වීමේදී දුම් සමග පිටවන ඉතා විෂ සහිත රසායන ද්‍රව්‍යයකි.

  • ෆීනෝල්

සායම් වර්ග වල අඩංගු වේ.

  • හයිඩ්‍රජන් සයනයිඩ්

ඇතැම් රටවල මරණීය දණ්ඩනයට නියම වූවන් ජීවිතක්ෂයට පත්කිරීමට භාවිතා කරන අධික විෂ සහිත ද්‍රව්‍යයකි.

  • නැප්තලීන්

කපුරු බෝල සෑදීමට භාවිතා කරයි.

  • කැඩ්මියම්

කැඩ්මියම් යනු ඉතා විෂ සහිත බැර ලෝහයක් වන අතර, ශරීරයෙන් ඉවත් කිරීමට අපහසු බැවින් පටක තුළ එක්රැස් වේ. මෝටර් රථ වලට යොදන බැටරි වල අඩංගු වේ.

  • විකිරණශීලී රසායන ද්‍රව්‍යයන්

න්‍යෂ්ටික ආයුධ සෑදීමට භාවිතා කරයි.

  • තාර

පාරවල් සෑදීමට භාවිතා කරයි.

 

දුම්පානය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටළු මොනවාද?

දුම්වැටියක ඇති විෂ රසායන මගින් ඔබගේ ශරීරයේ ඇති සියළුම අවයව ක්‍රමයෙන් විනාශ වන බැවින්, දැවීයන දුම්වැටිය සේම ඔබේ ආයු කාලයද ක්‍රමයෙන් අඩුවී යයි.

  • පිළිකා

දුම්පානය නිසා ශරීරයේ බොහෝ ඉන්ද්‍රියයන් වල පිළිකා ඇතිවීම සිදුවේ.

උදා: පෙනහලු, ස්වරාලය, මුඛය, උගුර, ගලනාලය, මුත්‍රාශය, අග්න්‍යාශය, අක්මාව, වකුගඩු, ආමාශය, මහා බඩවැල, ගැබ්ගෙල, ගුද මාර්ගය යනාදියේ සහ ලේ පිළිකා (ලියුකීමියා)

  • පෙනහලු රෝග
    • ඇදුම
    • දිගුකාලීන පෙනහලු රෝග (Chronic obstructive pulmonary disease or COPD)
    • පෙනහලු වල පටක විනාශ වීමෙන් ඇතිවන එම්ෆිසීමා (Emphysema) තත්ත්වය
    • පෙනහලු වල නිතර ආසාදන ඇතිවීම
    • බ්‍රොන්කයිටිස් (Bronchitis) හෙවත් ශ්වාසනාල ප්‍රදාහය
  • හෘද රෝග

දුම්කොළ භාවිතය සහ දුම්පානය කරන්නෙකුට, එසේ නොකරන්නෙකුට වඩා හෘද රෝගයක් වැළඳී මියයාමට ඇති අවදානම දෙගුණයක් වේ. ඒ අතරින්, වැඩි දෙනෙක් මියයන්නේ අඩු වයසෙන් වීම විශේෂත්වයකි. අඩු වයසෙන් මියයාම නිසා පවුලට, රටට, සහ ආර්ථිකයට වන හානිය අති මහත්ය.

  • අංශභාගය හෙවත් ආඝාතය වැළඳීමට ඇති අවදානම වැඩිවේ.
  • ඇසේ සුද මතුවීම.
  • කාන්තාවන්ට ගබ්සා ඇතිවීම සහ අඩුබර දරු උපත් සිදුවීමට ඇති හැකියාව වැඩිය.
  • ලිංගික බෙලහීනතාවය සහ වඳභාවය ඇතිවේ.
  • කෙස්, සම, සහ ඇඳුම් වලින් දුර්ගන්ධයක් හැමීම.
  • ආමාශයේ තුවාළ සහ ගැස්ට්‍රයිටිස් ඇතිවීම.
  • හර්නියා තත්ත්වයන් හටගැනීම.
  • තුවාළ සුවවීම ප්‍රමාද වීම.
  • පර්යන්ත වාහිනික රෝගය (Peripheral vascular disease or PVD) වැළඳීම. මෙහිදී, පාදවල රුධිර නාල අවහිර වීම නිසා පාද කපා දැමීමට පවා සිදුවේ.
  • පිටකරන හුස්ම දුර්ගන්ධ වීම.
  • දත් දුර්වර්ණ වීම සහ දිරායාම.
  • තොල් ඇතුළු මුහුණ අවපැහැ වී අවලස්සන වීම.

ඔබ දුම්පානය නොකලත්, දුම්පානය කරන්නෙකු අසළ සිටීමෙන්ද ඉහත කී සෞඛ්‍ය ගැටළු ඔබට ඇතිවේ. මක්නිසාද, දුම්පානය කරන්නෙකු පිටකරන විෂදුම් ආඝ්‍රාණය කිරීමෙන්ද දුම්වැටියක අඩංගු විෂ රසායන ද්‍රව්‍යයන් අසල සිටින්නන්ගේ ශරීරයට ඇතුළු වේ. මෙම ක්‍රියාවලිය අක්‍රීය දුම්පානය (Passive smoking) ලෙස හැඳින්වේ. ඔබගේ පවුලේ දුම්පානය කරන අයෙක් සිටී නම්, ඔහු හෝ ඇය ඔබගේ නිවස තුළ හෝ ගෙවත්තේ දුම්පානය නොකලද, පවුලේ අනෙක් අයට දුම්පානය හේතුවෙන් ඇතිවන සෞඛ්‍ය ගැටළු ඇතිවේ. මක්නිසාද, දුම්පානය කිරීමෙන් පසු පෙනහලු තුළට ඇතුළුවූ විෂ රසායන ද්‍රව්‍යයන්, ඔහු හෝ ඇය දුම්පානය නොකරන අවස්ථා වලදී පවා හුස්ම පිටකරන වාරයක් පාසා වාතයට නිදහස් වේ. එමෙන්ම, දුම්පානය කරන විට දුම්වැටියෙන් පිටවන විෂ රසායන ද්‍රව්‍යයන් හිසකෙස්, සම, සහ ඇඳුම් මත සියුම් අංශු ලෙස තැන්පත් වී, දුම්පානය නොකරන අවස්ථා වලදී පවා ක්‍රමයෙන් වාතයට නිදහස් වේ. එමනිසා, දුම්පානය කරන්නෙක් එසේ නොකරන විට පවා ඇවිදින දුම්වැටියක් මෙන් වනබව පැවසිය හැක.

දුම් පානය කරන්නන් අප සැමගේ ජීවිතවලට මහත් තර්ජනයකි. එබැවින්, ශ්‍රී ලංකාවේ පොදු ස්ථාන වල දුම්පානය කිරීම නීතියෙන් තහනම්ය. පොදු ස්ථාන වල දුම්පානය කරන්නන් සමාජයට විනාශකාරී වන බැවින්, ඔවුන්ට විරුද්ධ වීමට ඔබට අයිතියක් ඇතිබව මතකයේ තබාගන්න. එමෙන්ම, සැමවිටම දුම්පානය කරන අය අසලින් ඉවත් වී සිටීමට කටයුතු කරන්න.

 

මූලාශ්‍රය: බෝනොවන රෝග ඒකකය, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය – ගම්පහ

 

(ඡායාරූප අනුග්‍රහය: Jan Michael Dimayuga)

 

සබැඳි ලිපි:

දුම්පානය ඔබ නිසරු කරන බව දන්නවාද?
අක්‍රීය දුම්පානය සහ ඔබේ දරුවා

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දුම්පානය කලොත් ඔබේ ජීවිතයත් අනතුරේ…" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*