වැඩි වෙහෙසක් නොගෙන දිනකට කැලරි 206 ක් අඩුකර ගනිමු.

වැඩි වෙහෙසක් නොගෙන දිනකට කැලරි 206 ක් අඩුකර ගනිමු

ඔබේ ශරීරයේ ඇති අමතර මේදය දහනය කරගැනීම සඳහා ඇති සරලම සූත්‍රය වන්නේ, ඔබ ආහාර මගින් ලබාගන්නා කැලරි ප්‍රමාණයට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් දිනකට දහනය කිරීමයි. මෙය තරමක් සරල ලෙස පෙනුනත්, තරමක සංකීර්ණ ක්‍රියාවලියක් වේ. සැබැවින්ම, මෙය කියනවාට වඩා ක්‍රියාත්මක කිරීම මදක් අපහසුය. නමුත්, වැඩි වෙහෙසක් නොගෙන දිනකට කැලරි 206 ක් බැගින් අඩුකරගත හැකි බව එක් පර්යේෂණයක් මගින් පෙන්වා දී ඇත. එසේ නම්, වැඩි වෙහෙසක් නොගෙන දිනකට කැලරි 206 ක් අඩුකරගත හැක්කේ කෙසේදැයි මදක් විමසා බලමු.

මේ සඳහා අවශ්‍ය වන්නේ, එතරම් අවධානයට ලක්නොවන, කුඩා වෙනසක් ඔබේ ජීවිතයේ ඇතිකර ගැනීම පමණි. මෙම වෙනස, දිනපතා අනුගමනය කිරීමෙන් දිනකට කැලරි 206 ක් අඩුවන බව සොයාගෙන ඇත්තේ, අර්බානා ව්‍යාපෘතියෙහි (Urbana Campaign) යෙදී සිටින ඉලිනොයි විශ්ව විද්‍යාලය (The University of Illinois) මගින් මෑතකදී කරන ලද පර්යේෂණයක් මගිනි.

කැලරි 206 ක් යනු එතරම් විශාල අගයක් නොවූවද, දිනකට එම ප්‍රමාණය අඩුකර ගැනීමෙන්, ශරීරයේ බර මසකට ග්‍රෑම් 800 ක් බැගින් අඩුවේ.

මේ සඳහා ඔබේ ජීවිතයේ ඇතිකරගත යුතු කුඩා වෙනස වන්නේ, දිනකට අමතර වතුර වීදුරු කිහිපයක් පානය කිරීම පමණි. මෙම පර්යේෂණය සඳහා පුද්ගලයන් 18,000 ක් සහභාගී වී ඇති අතර, ඔවුන් දින දෙකක් තිස්සේ ගන්නා ලද ආහාර මොනවාදැයි පරීක්ෂා කර බලා ඇත. එහිදී, වැඩිපුර ජලය පානය කරන පුද්ගලයන් සමස්ථයක් වශයෙන්, අන් අයට වඩා අඩු කැලරි ප්‍රමාණයක් පරිභෝජනය කරන බව පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත.

එසේ වන්නේ ඇයි දැයි තේරුම් ගැනීම අපහසු නොවේ. රසකල පානයන් වෙනුවට ජලය පානය කිරීමෙන්ම දිනපතා යම් කැලරි ප්‍රමාණයක් අඩුවන බව පැහැදිලිය. එමෙන්ම, වැඩිපුර ජලය පානය කිරීමෙන්, කුසගින්න ඇතිවීම අඩුවන නිසා, දිනපතා ගන්නා ආහාර ප්‍රමාණය අඩුවන බව පර්යේෂකයන් පවසයි.

මෙම පර්යේෂණයට සහභාගී වූ අයෙක් දිනකට පානය කල ජලය ප්‍රමාණයේ සාමාන්‍ය අගය කෝප්ප 4.2 ක් විය. ඔබේ ශරීරය විජලනය නොවී සාමාන්‍ය පරිදි පවත්වා ගැනීම සඳහා දිනකට පානය කලයුතු ජලය ප්‍රමාණය කොපමණ දැයි නියත අගයක් නොමැති මුත්, පර්යේෂණයේදී හෙළිවූයේ අමතරව පානය කරන සෑම වතුර කෝප්පයකටම, දිනකට ගන්නා කැලරි ප්‍රමාණය අඩුවන බවයි. මෙම පර්යේෂණයට අනුව, දිනකට අමතරව පානය කරන වතුර කෝප්පයක් මගින් කැලරි 69 ක්, වතුර කෝප්ප දෙකක් මගින් කැලරි 137 ක්, සහ වතුර කෝප්ප තුනක් මගින් කැලරි 206 ක් බැගින් අඩුවන බව පැහැදිලි වී ඇත.

ඔබ තවමත් පැණිබීම සහ වෙනත් රසකල පානයන් වෙනුවට ජලය තෝරාගෙන නැත්නම්, එසේ කිරීමට කාලය පැමිණ ඇති බව මෙම පර්යේෂණයෙන් පෙන්වා දී ඇත. වඩාත්ම වැදගත් කාරණය වන්නේ, දිනකට කැලරි 206 ක් මෙලෙස අඩුකර ගැනීම සඳහා වෙහෙස වීමට අවශ්‍ය නොවීමයි. සැබැවින්ම, එය පහසුවෙන්ම අනුගමනය කලහැකි සරල වෙනසක් පමණි.

 

(ඡායාරූප අනුග්‍රහය: Ulisse Albiati)

 

සබැඳි ලිපි:

ඔබ කොපමණ ඉක්මනින් බර අඩුකරගත යුතුද?
බර අඩුකරගැනීම පහසු කරවන ඉඟි 10 ක්
බර අඩුකරගැනීම පිළිබඳ වැරදි මත 10 ක්
බර අඩුකරගැනීමට සරළ ඉඟි 3 ක් අනුගමනය කරමු.

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "වැඩි වෙහෙසක් නොගෙන දිනකට කැලරි 206 ක් අඩුකර ගනිමු." පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*