කිරීටක ධමනි රෝගය ගැන දැනුවත් වෙමු.

කිරීටක ධමනි රෝගය ගැන දැනුවත් වෙමු

හෘදයේ සිට ශරීරයේ පටක වෙත රුධිරය ගලායන්නේ ධමනි (Arteries) නම්වූ රුධිර වාහිනී වර්ගයකිනි. සාමාන්‍යයෙන්, මෙම ධමනි වල බිත්ති මෘදු සහ ඇදෙන සුළු ස්වභාවයකින් යුක්තය. නමුත්, ධමනි වල බිත්තියේ ඇතුළු පැත්තේ කොලෙස්ටරෝල් තැන්පත් වීමෙන් ඒවායේ මෘදුබව අඩුවී තද ස්වභාවයකට පත්වන අතර, ක්‍රමයෙන් ධමනි වල කුහරය සිහින් වී රුධිර සංසරණය අඩුවීම සිදුවේ. මෙම ක්‍රියාවලිය, හෘදයේ මාංශ පේශි වලට රුධිරය සපයන කිරීටක ධමනි (Coronary arteries) වල සිදුවීම මගින්, කිරීටක ධමනි රෝගය (Coronary artery disease or CAD) හටගනී. එමනිසා, කිරීටක ධමනි රෝගයට නතුවූ හෘදයේ මාංශ පේශි වලට රුධිරය ඔස්සේ ඔක්සිජන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ ලැබීම අඩුවේ.

කාලය ගතවත්ම, කිරීටක ධමනියක බිත්තියෙහි කොලෙස්ටරෝල් තැන්පත් වූ ඵලකයක් (Plaque) පිපිරීම සිදුවිය හැක. එසේ පිපිරීමෙන් අනතුරුව, එම ස්ථානයේ ලේ කැටියක් ඇතිවීම මගින් කිරීටක ධමනියක් හෝ එහි ශාඛාවක් සම්පූර්ණයෙන්ම අවහිර වුවහොත්, හෘදයාබාධයක් (Heart attack) ඇතිවීම සිදුවේ. මෙහිදී, හෘදයාබාධයට ගොදුරු වූ හෘදයේ මාංශ පේශියේ කොටස හෝ කොටස් මියයාම සිදුවේ. ඇතැම් විට, එහි ප්‍රතිඵලය ක්ෂණික මරණයක් (Sudden cardiac death) විය හැක.

ශ්‍රී ලංකාවේ වසරක් තුළදී රෝහල් වල සිදුවන සමස්ථ මරණ සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රමාණයකට දායකත්වය දක්වන්නේ හෘද රෝගයි. එහි අගය, සමස්ථ මරණ සංඛ්‍යාවෙන් 14.8% කි. එමගින්, කිරීටක ධමනි රෝගය යනු කෙතරම් බරපතළ සහ සැලකිය යුතු තත්ත්වයක් දැයි ඔබට වැටහෙනු ඇත.

 

කිරීටක ධමනි රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?

කිරීටක ධමනි රෝගයේදී, හෘදයේ මාංශ පේශි වල ඇතැම් ප්‍රදේශ වලට රුධිරය ගලායෑම අඩාල වන බැවින්, ඇන්ජයිනා (Angina) නැමැති පපුවේ වේදනාව ඇතිවේ. මෙය, පපුවේ (විශේෂයෙන්ම, පපුවේ මැද ප්‍රදේශයේ) ඇතිවන අපහසුතාවයක්, බර ගතියක්, තදවුණු ස්වභාවයක්, වේදනාවක්, දැවිල්ලක්, පිරුණු ස්වභාවයක්, හෝ තදකිරීමක් ලෙස ඇතිවිය හැක. ඇතැම් විට, මෙම රෝග ලක්ෂණ අජීරණයක් හෝ ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් ලෙස වරදවා වටහාගන්නා අවස්ථාද දක්නට ලැබේ. සමහර විට, ඇන්ජයිනා තත්ත්වයේදී ඇතිවන වේදනාව, උරහිස් වල, අත්වල උඩු බාහුවේ, ගෙල ප්‍රදේශයේ, උගුරේ, හක්කේ, හෝ පපුව ආශ්‍රිත පිට ප්‍රදේශයේද හටගැනීමට පුලුවන. එමෙන්ම, කිරීටක ධමනි රෝගයේදී පහත සඳහන් රෝග ලක්ෂණද ඇතිවිය හැක.

  • හුස්ම ගැනීමට අපහසු වීම.
  • පපුවේ ගැස්මක් (Palpitation) ඇතිවීම.
  • හෘද ස්පන්දනය හෝ නාඩි වැටීම වේගවත් වීම.
  • කරකැවිල්ල හෝ තෙහෙට්ටුවක් ඇතිවීම.
  • ඔක්කාරය ඇතිවීම.
  • අධිකව දහඩිය දැමීම.

 

හෘදයාබාධයකදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

හෘදයාබාධයක් හටගැනීමේදී පහත සඳහන් රෝග ලක්ෂණ ඇතිවිය හැක.

  • පපුවේ අපහසුතාවයක්, තදවූ ස්වභාවයක්, බර ගතියක්, දැවිල්ලක්, හෝ වේදනාවක් ඇතිවේ. මෙම වේදනාව අත්වල උඩු බාහුවේ හෝ පපුවේ මැද ප්‍රදේශයේ ඇතිවිය හැක.
  • පපුවේ මැද ප්‍රදේශයේ සිට පිට ප්‍රදේශයට, හක්ක දෙසට, ගෙල දෙසට, හෝ අත්වල උඩු බාහුවලට පැතිර යන වේදනාවක් හෝ අපහසුතාවයක් ලෙසද ඇතිවිය හැක.
  • පපුවේ පිරුණු ස්වභාවයක්, උදරයේ ඉහළ ප්‍රදේශයේ මැදට වන්නට දැවිල්ලක් හෝ ගැස්ට්‍රයිටිස් වැනි තත්ත්වයක් ලෙසද හෘදයාබාධයක රෝග ලක්ෂණ ඇතිවිය හැක.
  • අධිකව දහඩිය දැමීම, ඔක්කාරය, වමනය, හෝ කරකැවිල්ල.
  • අධික තෙහෙට්ටුවක් දැනීම, බිය, හෝ හුස්ම ගැනීමට අපහසු වීම.
  • පපුවේ ගැස්මක් ඇතිවීම, හෝ හෘද ස්පන්දනය හෝ නාඩි වැටෙන රටාව අක්‍රමවත් වීම.

සාමාන්‍යයෙන් හෘදයාබාධයකදී, මෙම රෝග ලක්ෂණ විනාඩි 30 ක් හෝ එයට වඩා වැඩි වේලාවක් පවතින අතර, විවේකයෙන් සිටීමෙන් හෝ ඖෂධ ලබාගැනීමෙන් රෝග ලක්ෂණ පහව නොයයි. එමෙන්ම, රෝග ලක්ෂණ මද තීව්‍රතාවයකින් ඇතිවී, ක්‍රමයෙන් උග්‍රවීම සිදුවිය හැක. ඇතැම් අයට, කිසිඳු රෝග ලක්ෂණයකින් තොරව හෘදයාබාධයක් වැළඳෙන අවස්ථාද පවතී. මෙම නිශ්ශබ්ද හෘදයාබාධය, දියවැඩියා රෝගීන්ගේ බහුලව දක්නට ලැබේ.

කිරීටක ධමනි රෝගයේ හෝ හෘදයාබාධයේ ඉහත සඳහන් රෝග ලක්ෂණ ඇතිවුවහොත්, වහාම ලඟම ඇති රෝහලට රෝගියා ගෙන යා යුතුවේ. විශේෂයෙන්ම, ඔබට හෝ වෙනත් අයෙකුට හෘදයාබාධයක රෝග ලක්ෂණ ඇතිවූයේ නම් හෝ හෘදයාබාධයක් හටගෙන ඇතිබව හැඟේ නම්, කිසිවිටෙක ප්‍රමාද වන්න එපා. හැකි ඉක්මනින් ආරක්ෂිතව රෝගියා ලඟම ඇති රෝහලට ගෙනයන්න. හෘදයාබාධයකදී, ඉක්මනින් නිසි ප්‍රතිකාර ආරම්භ කිරීම මගින් හෘදයට හානිවන ප්‍රමාණය අඩුකරගැනීමට හැකිබව මතකයේ තබාගන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: bark)

 

සබැඳි ලිපි:

ඇන්ජයිනා (Angina) නැමැති පපුවේ රිදුම වැදගත් වන්නේ ඇයි?
හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම අඩුකර ගන්නේ කෙසේද?
ඔබගේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්නේ කොහොමද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "කිරීටක ධමනි රෝගය ගැන දැනුවත් වෙමු." පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*