අසංතෘප්ත මේදය ඔබේ ශරීරයට හිතකර වන්නේ ඇයි?

අසංතෘප්ත මේදය ඔබේ ශරීරයට හිතකර වන්නේ ඇයි

අප එදිනෙදා ගන්නා ආහාරවල අඩංගු අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයක් ලෙස මේදය හැඳින්විය හැක. ආහාරයේ අඩංගු මේදය මගින් ශරීරයට ශක්තිය ලබාදීමද සිදුවේ. මේදය, ප්‍රධාන වශයෙන් සංතෘප්ත මේදය (Saturated fat) සහ අසංතෘප්ත මේදය (Unsaturated fat) ලෙස කොටස් දෙකකට බෙදනු ලැබේ. මින්, සංතෘප්ත මේදය ශරීරයට අහිතකර වන අතර, ඒවා බහුල ආහාර නිතර ගැනීමෙන් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම සිදුවේ. එවිට, හෘදයාබාධය සහ අංශභාගය හෙවත් ආඝාතය වැළඳීමට ඇති අවදානම වැඩිවේ. අසංතෘප්ත මේදය සැලකෙන්නේ ශරීරයට හිතකර මේදය වර්ගයක් ලෙසය.

අප ආහාරයට ගන්නා මස්, සොසේජස්, සම්පූර්ණ යොදය සහිත කිරි, චීස්, බටර්, මාගරින්, කෙටි ආහාර (Short eats), පීසා, අයිස් ක්‍රීම්, පොල්තෙල්, පාම් තෙල්, බිස්කට්, කේක්, සහ වෙනත් බේකරි කෑම වර්ග වල ශරීරයට අහිතකර සංතෘප්ත මේදය අඩංගු වේ. ශරීරයට හිතකර අසංතෘප්ත මේදයද, වර්ග දෙකකි. ඒවා නම්, ඒකදාම අසංතෘප්ත මේදය (Mono-unsaturated fat) සහ බහුදාම අසංතෘප්ත මේදය (Poly-unsaturated fat) යි. අලිගැටපේර, රටකජු, තල, තලතෙල්, ඔලිව් තෙල්, සූරියකාන්ත තෙල්, කජු ආදී ආහාර වල ඒකදාම අසංතෘප්ත මේදය බහුලව පවතී. සමාජයේ ජනප්‍රිය වදන් දෙකක් වන ඔමේගා 3 සහ ඔමේගා 6 මේද අම්ල, බහුදාම අසංතෘප්ත මේද අම්ල වේ. මාළු, සූරියකාන්ත ඇට, සූරියකාන්ත තෙල්, සෝයා, සහ සෝයා තෙල් ආදී ආහාර වල බහුදාම අසංතෘප්ත මේදය බහුලව අඩංගු වේ. ඇතැම් ආහාර වල අඩංගුවන ට්‍රාන්ස් මේද අම්ලය (Trans-fatty acids), අසංතෘප්ත මේදය වර්ගයක් වුවද, රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ දමන බැවින්, ශරීරයට අහිතකර වේ. සකසන ලද ආහාර (Processed foods), කෙටි ආහාර, ගැඹුරු තෙලේ බදින ලද ආහාර, මාගරින්, පීසා, සහ බේකරි නිෂ්පාදන වල ට්‍රාන්ස් මේද අම්ල බහුලව අඩංගු වේ.

මේදයෙහි ශක්තිජනක අගය වැඩිය. එහි ග්‍රෑම් එකක කැලරි 9 ක් පමණ අඩංගු වන අතර, කාබෝහයිඩ්‍රේට් හෝ ප්‍රෝටීන් ග්‍රෑම් එකක කැලරි අගය 4 ක් පමණ වීමෙන්, ඔබට එය වැටහෙනු ඇත. එමනිසා, මේදය හෙවත් තෙල් ආහාරයට එකතු කරගත යුත්තේ මද පමණිනි. එනම්, මේදය මගින් ලබාගත යුත්තේ ඔබේ දෛනික කැලරි පරිභෝජනයෙන් 30% ක් පමණි.

 

අසංතෘප්ත මේදය ශරීරයට හිතකර වන්නේ කෙසේද?

  • හෘදයාබාධ වලින් ඔබේ හෘදය ආරක්ෂා කරන සහ අංශභාගය වැළඳීමට ඇති අවදානම අඩුකරන, ශරීරයට හිතකර කොලෙස්ටරෝල් වර්ගයක් වන අධි-ඝනත්ව ලිපෝප්‍රෝටීන් (High-density lipoprotein or HDL) මට්ටම ඉහළ දමයි.
  • රුධිර පීඩනය අඩුකිරීමට දායක වේ.
  • රුධිරයේ ඇති හෘදයාබාධ සහ අංශභාගය වැළඳීමට ඇති අවදානම වැඩිකරන අහිතකර මේදය වර්ගයක් වන ට්‍රයිග්ලිසරයිඩ් (Triglycerides) මට්ටම පහත දමයි.
  • හෘදයාබාධය, අංශභාගය හෙවත් ආඝාතය, සහ අධික රුධිර පීඩනය වැළඳීමට ඇති අවදානම අඩුකරයි.
  • ඇතැම් පිළිකා සහ ප්‍රදාහ රෝග (Inflammatory diseases) වැළඳීමට ඇති අවදානම පහළ දමයි.
  • ශරීරයට ශක්තිය ලබාදේ.
  • ආහාරයේ අඩංගු වන මේදයෙහි දියවන විටමින් වර්ග වන A, D, E, සහ K ශරීරයට අවශෝෂණය කරගැනීමට සහාය වේ. මෙම විටමින් වර්ග, ශරීරය තුළ ගබඩා කර තබාගන්නේද මේද පටක වල ඇති මේදය තුළය.
  • සෛල වල ඇති පිටත ආවරණය හෙවත් ප්ලාස්මා පටලයෙහි සංඝටකයක් ලෙසද, අසංතෘප්ත මේදය හැඳින්විය හැක.

 

(ඡායාරූප අනුග්‍රහය: Visit Tuscany)

 

සබැඳි ලිපි:

එළවලු සමග සුවැති දිවියක්…
ඔබේ බත්පත කෙසේ සකස් විය යුතුද?
ධාන්‍ය මූලික කොටගත් ආහාර වේල් 3 ක් දිනකට ගනිමු.
සුවැති දිවියකට විවිධ වර්ගයේ ආහාර කෑමට ගන්න.
සෞඛ්‍ය සම්පන්න දිවියකට එළවළු සහ පළතුරු

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "අසංතෘප්ත මේදය ඔබේ ශරීරයට හිතකර වන්නේ ඇයි?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*