දරුවාට බඩේ අජීරණයක් සෑදුන විට කුමක් කරමුද?

දරුවාට බඩේ අජීරණයක් සෑදුන විට කුමක් කරමුද

දරුවාට බඩේ අජීරණයක් සෑදුන විට දියර ලෙස හෝ දියාරු වූ ස්වරූපයකින් මළපහ පිටවීම දැකිය හැක. මෙසේ සිදුවන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන ඇතැම් ආසාදන නිසාය. සාමාන්‍යයෙන්, බඩේ අජීරණයක් යනු දරුණු රෝගයක් නොවේ. නමුත්, බඩේ අජීරණයක් නිසා ඔබේ දරුවාගේ ශරීරයෙන් ජලය සහ ඛණිජ ලවණ ඉවත්වීම සිදුවිය හැක. එවිට, විජලණය සහ වෙනත් සංකූලතා ඇතිවීමට අවදානමක් ඇතිවේ. එමනිසා, දරුවාට බඩේ අජීරණයක් වැළඳුන විට නිසි අයුරින් දියර සහ ආහාර ලබාදීම ඉතා වැදගත් වේ.

 

බඩේ අජීරණයක රෝග ලක්ෂණ

  • දියර ලෙස මළපහ පිටවීම.
  • මළ පහකරන වාර ගණන වැඩිවීම.
  • උදරයේ වේදනාව.
  • උණ.
  • ආහාර අරුචිය.
  • වෙහෙසකර බවක් දැනීම.
  • බර අඩුවීම.
  • විජලණය වීම.
  • ඇතැම් විට ඔක්කාරය සහ වමනය ඇතිවිය හැක.

 

බඩේ අජීරණයක් වැළඳුන විට කුමක් කල යුතුද?

  • ඔබේ දරුවාට සාමාන්‍ය පරිදි ආහාර ලබාදෙන්න.
  • දියර වැඩිපුර ලබාදෙන්න.
  • ළදරුවන්ට නම් වැඩිපුර මව්කිරි ලබාදෙන්න.
  • ශරීරයෙන් ඉවත්වන දියර වෙනුවට ජීවනී වැනි දියර ලබාදෙන්න.

වයස අවුරුදු එකකට වඩා අඩු දරුවන්ට ඇල් ජලය ලබාදීමෙන් වළකින්න. මක්නිසාද, එමගින් ඔබේ දරුවාට සෝඩියම් සහ අනෙක් ඛණිජ ලවණ ප්‍රමාණවත් පරිදි ලැබෙන්නේ නැත. බඩේ අජීරණය තවදුරටත් වර්ධනය වියහැකි බැවින්, ඔබේ දරුවාට ඇපල් යුෂ හෝ වෙනත් පැණිබීම වර්ග ලබාදීමෙන් වළකින්න.

බඩේ අජීරණය වැළඳුනු ඔබේ දරුවාට පහත ලක්ෂණ එකක් හෝ පවතී නම්, වෛද්‍යවරයෙකු හමුවන්න.

  • ඔබේ දරුවාගේ වයස මාස 6 කට වඩා අඩුවීම.
  • අධිකව දියර ලෙස මළපහ පිටවීම.
  • බඩේ අජීරණය වැඩි දින ගණනාවක් පැවතීම.
  • ඔබේ දරුවාගේ වයස අවුරුද්දකට වඩා අඩුවීම සහ සෙල්සියස් අංශක 38.8 (ෆැරන්හයිට් අංශක 102) ට හෝ එයට වැඩියෙන් උණ පැවතීම.
  • දිගටම වමනය දැමීම.
  • දියර පානය කිරීම ප්‍රතික්ෂේප කිරීම.
  • වෙනදාට වඩා අඩුවෙන් මුත්‍රා පිටකිරීම හෝ මුත්‍රා තද පැහැයක් ගැනීම.
  • උදරයේ දැඩි වේදනාවක් පැවතීම.
  • මළපහ සමග රුධිරය හෝ සෙම (සීදම්) වැනි දියර පිටවීම.

 

බඩේ අජීරණය වළක්වා ගන්නේ කෙසේද?

නිතර සහ හොඳින් සබන් යොදා අත් සේදීමට ඔබේ දරුවා හුරුකිරීමෙන්, බඩේ අජීරණයකට හේතුවිය හැකි විෂබීජ ශරීරගත වීම අවම කරගත හැක. විශේෂයෙන්, වැසිකිලිය හෝ කැසිකිලිය භාවිතා කිරීමෙන් පසුව සහ ආහාර ගැනීමට පෙර අත් සේදීමට දරුවා පුරුදු කරන්න. ආහාරයට ගැනීමට පෙර එළවළු සහ පළතුරු හොඳින් සෝදන්න. මස් හා මාළු වැනි දේ මිළදී ගත් වහාම හැකි ඉක්මනින් ශීතකරණය තුළ ගබඩා කිරීමට පුරුදු වන්න. එමෙන්ම, මස් හා මාළු පිසීමේදී, ඒවායේ පවතින රෝස පැහැය ඉවත්වන තුරු පිසගැනීමට අමතක නොකරන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Vinoth Chandar)

 

සබැඳි ලිපි:

ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිය වැඩි කරගන්නේ කෙසේද?
ඔබේ දරුවාට අත් සේදීමට පුරුදු කලයුත්තේ ඇයි?
ඔබේ දරුවාට උණ සෑදුන විට කුමක් කලයුතුද?
කුඩා දරුවන්ට වැළඳෙන ආසාදන වලක්වා ගන්නේ කෙසේද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දරුවාට බඩේ අජීරණයක් සෑදුන විට කුමක් කරමුද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*