අලස වීම අපගේ සෞඛ්‍යයට ගැටළුවක් වී ඇත්තේ කෙසේද?

අලස වීම අපගේ සෞඛ්‍යයට ගැටළුවක් වී ඇත්තේ කෙසේද

වත්මන් සමාජයේ ජීවත්වන අප තරමක් දුරට අලස බවින් පිරි ජීවිතයක් ගතකරන්නේ යැයි කිවහොත්, එය අසත්‍යයක් නොවේ. පරම්පරාවෙන් පරම්පරාවට, ශ්‍රී ලාංකික ජන සමාජයේ අලස බව ක්‍රමයෙන් වර්ධනය වී ඇත. එයට හේතුව වන්නේ, අප ක්‍රමයෙන් නවීන පන්නයේ ජීවන රටාවකට හුරුවීමය. කෙසේ වුවත්, මෙම අලස වීම අපගේ සෞඛ්‍යයට සැලකිය යුතු ගැටළු රාශියක් ඇතිකර ඇත.

අප ක්‍රියාශීලී ජීවිතයෙන් බැහැර වීම නිසා, බෝනොවන රෝග වැළඳීමට ඇති අවදානම ක්‍රමයෙන් වැඩිවී ඇත. එනම්, ක්‍රියාශීලී නොවීම යන්න බෝනොවන රෝග සඳහා ප්‍රබල අවදානම් සාධකයක් වී හමාරය. මෙය කොතරම් ගැටළුකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇතිදැයි අවබෝධ කරගැනීමට, වසරකදී ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ සංඛ්‍යාවෙන් බෝනොවන රෝග නිසා සිදුවන මරණ සංඛ්‍යාව කොපමණදැයි බැලීම පමණක් සෑහේ. බෝනොවන රෝග කිහිපයක් නිසා වසරකදී රෝහල් තුළ සිදුවන මරණ ප්‍රමාණය පහතින් දක්වා ඇත.

  • හෘද රෝග: 14.8%
  • පිළිකා: 11.7%
  • අංශභාගය හෙවත් ආඝාතය: 8.4%
  • දියවැඩියාව: 1.6%
  • අධික රුධිර පීඩනය: 1.5%

මෙම බෝනොවන රෝග පහෙන් පමණක්, වසරකදී රෝහල් තුළ මියයන ප්‍රමාණය, සමස්ථ මරණ සංඛ්‍යාවෙන් 38% ක් වේ. මෙසේ වීමට ප්‍රධාන හේතුව වන්නේ, අප සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක් ගත නොකිරීමයි. එයින්ද, අලස වීම ප්‍රධාන අවදානම් සාධකයක් වී ඇත.

බොහොමයක් අය කිලෝමීටරයක් හෝ දෙකක් ගමන්කිරීමට පවා කුලී රථ උපයෝගී කරගැනීමට පෙළඹී ඇත. කුඩා දුර ප්‍රමාණයන් පවා පාගමනින් ගමන්කිරීමට අප පෙළඹෙන්නේ නැත. දිනකට රූපවාහිනිය සහ පරිගණකය ඉදිරියේ අප ගතකරන කාලය පැය ගණනක් වී ඇත. මේ සඳහා, මෙගා ටෙලිනාට්‍ය සහ විදේශ ටෙලිනාට්‍ය සංස්කෘතිය බෙහෙවින් බලපා ඇත. අතීතයේදී යම් ටෙලිනාට්‍යයක් විකාශය වූයේ සතියකට වරක් පමණි. එමනිසා, අපට රූපවාහිනිය ඉදිරිපිට අඩු කාලයක් ගතකිරීමට හැකිවිය. නමුත්, වර්තමානයේ රූපවාහිනී නාලිකා වල රාත්‍රියට පැය කිහිපයක් බැගින් දිනපතාම දේශීය සහ විදේශීය මෙගා ටෙලිනාට්‍ය ගණනාවක් විකාශය වේ. එය, අප බොහොමයක් දෙනා රූපවාහිනිය ඉදිරිපිට අලස ලෙස කාලය ගතකිරීමට හේතුවක් වී ඇත.

පරම්පරාවෙන් පරම්පරාවට, අපට උරුම වී ඇති බිම් ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවීමද, අලස වීමට එක් හේතුවකි. අතීතයේ එක් පවුලකට අක්කර ගණන් වලින් ගොඩ සහ මඩ ඉඩම් පැවතියද, වත්මන් සමාජයේ පවුල් බොහොමයකට ඇත්තේ පර්චස් කිහිපයක ඉඩමකි. එමනිසා, ගෙවත්තේ වැඩකර ක්‍රියාශීලී වීමට අපට ඇති හැකියාව අවම වී ඇත. එමෙන්ම, කය වෙහෙසා භාවිතාකල යුතු වංගෙඩිය හා මෝල්ගහ, මිරිස් ගල, කුල්ල වැනි උපකරණ වත්මන් මුලුතැන්ගෙයින් අතුරුදන් වී ඇත. ඒ වෙනුවට, විදුළි උපකරණ අපගේ මුලුතැන්ගෙය ආක්‍රමණය කර ඇත. එමෙන්ම, රෙදි සෝදන යන්ත්‍ර මගින්, අතින් රෙදි සේදීමට ඇති අවකාශය අඩුකර ඇත. වතුර මෝටර්, ජලනල, කරාම ආදිය යොදා අපගේ ජීවිතය පහසුකර ගැනීම නිසා, කය වෙහෙසා ළිඳෙන් වතුර ගෙන ඒම සහ වතුර ඇද ස්නානය කිරීම අප අතරින් ක්‍රමයෙන් ඉවත්වී ඇත. කිසියම් තැනක විදුලි සෝපානයක් ඇත්නම්, අප පියගැටපෙළ භාවිතා කරන්නේ ඉතාමත් කලාතුරකිනි.

මෙසේ අලසවීම නිසා, හෘදයාබාධය, අංශභාගය හෙවත් ආඝාතය, දියවැඩියාව, ඇතැම් පිළිකා, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම වැනි බෝනොවන රෝග අප අතර බහුළ වෙමින් පවතී. එමෙන්ම, අප අතර ස්ථුලතාවය හෙවත් තරබාරුකම සහ සන්ධි ආශ්‍රිත ආත්‍රයිටිස් වැනි ආබාධ වැඩිවීමටද අලසභාවය හේතුවකි. එසේනම්, මේ අලස බවින් මිදී නිරෝගී වන්නේ කොහොමද?

හැකිනම්, කිලෝමීටරයක් දෙකක් වැනි කුඩා දුරක් ගමන්කිරීමට පාගමන තෝරාගන්න. සැමවිටම, විදුලි සෝපානය වෙනුවට පියගැටපෙළ භාවිතාකරන්න. හැකිනම්, බසයෙන් ගමනක් යනවිට ගමනාන්තයට බස් නැවතුම් 2-3 කට පෙර බසයෙන් බැස පයින් ගමන් කරන්න. එමෙන්ම, සතියකට අවම වශයෙන් දින 5 ක් වත්, දවසකට අවම වශයෙන් විනාඩි 30 ක් වත් බැගින් හැල්මේ ඇවිදීම, සෙමෙන් දිවීම, බයිසිකල් පැදීම, පිහිනීම වැනි මධ්‍යම ප්‍රමාණයේ තීව්‍රතාවයකින් යුතු ශාරීරික ක්‍රියාකාරකමක යෙදීමට කටයුතු කල හැක. මෙහිදී, පවුලේ අනෙක් සාමාජිකයන්, අසල්වාසීන්, හෝ මිතුරන් එක්කර ගැනීමෙන් ව්‍යායාම කිරීම විනෝදාත්මක වනු ඇත. හැකි පමණින්, කය වෙහෙසා ගෙවත්තේ වැඩකිරීමටද කාලය වෙන්කර ගන්න. රූපවාහිනිය ඉදිරිපිට හරසුන් වැඩසටහන් නරඹමින් කාලය ගතකිරීම අවම කරගැනීමෙන්ද, අපගේ දිවිය සක්‍රීය කරගත හැක. පරිගණක ඉදිරිපිට ගතකරන කාලයද අවම කරන්න. ඔබේ මුලුතැන්ගෙය තුළ වංගෙඩිය හා මෝල් ගහට, කුල්ලට, හා මිරිස් ගලටද ඉඩක් වෙන්කරන්න. හැකි පමණින් එවැනි උපකරණද නිතර භාවිතා කරන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Vilmos Vincze)

 

සබැඳි ලිපි:

නිතර ඉඳගෙන සිටීම හානිකර වන්නේ ඇයි?
සෞඛ්‍ය සම්පන්න මිනිසුන් අතර ඇති හොඳ පුරුදු
සුවැති දිවියක් සඳහා අනුගමනය කලයුතු කරුණු 4 ක්
සුවැති දිවියකට අනුගමනය කලයුතු හොඳ පුරුදු 8 ක්
යහපත් ජීවන රටාවක් මගින් සුවදායී දිවියක්…
බෝනොවන රෝග වලින් වැළකීමට ක්‍රියාශීලී වෙමු!

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "අලස වීම අපගේ සෞඛ්‍යයට ගැටළුවක් වී ඇත්තේ කෙසේද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*