කාන්තාවන්ගේ රූසපුව රැකගැනීමට ස්වභාවික උපක්‍රම 6 ක්

කාන්තාවන්ගේ රූසපුව රැකගැනීමට ස්වභාවික උපක්‍රම 6 ක්

කාන්තා ඔබගේ රුව රැකගැනීම සඳහා මිළ අධික රූපලාවණ්‍ය උපකරණ සහ ද්‍රව්‍ය භාවිතා කල යුතුයැයි ඔබ සිතනවා විය හැක. නමුත්, එය එසේ නොවන බව පැවසිය යුතුය. මක්නිසාද, කාන්තාවන්ගේ රූසපුව රැකගැනීම සඳහා යොදාගත හැකි ස්වභාවික උපක්‍රම පවතින අතර, ඒවා වැඩි මිළක් වැය නොකරම භාවිතා කල හැකිවීම විශේෂත්වයකි. මෙම උපක්‍රම, දිනපතාම පාහේ කලහැකි ඒවා වන අතර, එමගින් ඔබේ සමේ පැවැත්මට, හානි අලුත්වැඩියා කරගැනීමට, සහ මානසික ආතතිය නිසා සමට ඇතිවන බලපෑම් අවම කිරීමට අවශ්‍ය සියළුම සත්කාර ලැබෙනු ඇත. මෙම ස්වභාවික උපක්‍රම පිළිබඳව කරුණු ගොනුකර ඇත්තේ, පර්යේෂණ ගණනාවක ප්‍රතිඵල අධ්‍යයනය කිරීමෙන් අනතුරුවය.

 

  • හොඳින් නිදාගන්න.

කාලයක් තිස්සේ, නිදාගෙන අවදි වූ වහාම කැඩපත ඉදිරිපිට සිටගැනීමට ඔබ පුරුදුව සිටියා නම්, ඔබේ සමේ පැවැත්මට කොතරම් නින්දක් ලබාගත යුතුදැයි ඔබටම අවබෝධ වනු ඇත. 2013 වසරේ නින්ද පිළිබඳ සඟරාවේ (The Journal Sleep) පළවූ පර්යේෂණයකට අනුව, ප්‍රමාණවත් නින්දක් නොලැබූ අයගේ ඇස් ඉදිමීම, ඇස් රතුවීම, ඇස් යට කලුවීම, ඇස් අවට සම රැලි වැටීම, සහ ඇසිපිය එල්ලා වැටීම ආදිය, හොඳ නින්දක් ලැබූ අයට වඩා සැලකිය යුතු ලෙස වැඩිබව සොයාගෙන ඇත.

මෙයට හේතුව ලෙස අනුමාන කරන්නේ ආතති හෝමෝනයක් (Stress hormone) වන කෝටිසෝල් (Cortisol) ය. නින්දේ පසුවන විට කෝටිසෝල් හොමෝනය නිපදවීම අඩුවන අතර, ප්‍රමාණවත් නින්දක් නොලබන අවස්ථා වලදී රුධිරයේ කෝටිසෝල් සාන්ද්‍රණය වැඩිවනු දක්නට ලැබේ. කෝටිසෝල් සාන්ද්‍රණය වැඩිවන විට, සමේ ඇති සම්බන්ධක පටක වල කොලැජන් තන්තු ක්‍රමයෙන් බිඳී යන බැවින් ඉහත සඳහන් ලක්ෂණ පහළ වේ. එම ලක්ෂණ වලින් වැඩි ප්‍රමාණයක් ඇතිවීමට, එක් රැයක් නොනිදා සිටීම වුවද ප්‍රමාණවත් ය. එබැවින්, දිනකට පැය 7-8 ක් පමණ නිදාගැනීම, සමේ මනා පැවැත්මට වැදගත් වේ. හොඳ නින්දක් ලබාගැනීම ඔබේ සමට පමණක් නොව, සමස්ථ සෞඛ්‍යයටම එකසේ වැදගත් වනබව සිතට ගන්න.

 

  • ශාරීරික ක්‍රියාකාරකම් වලට යොමුවන්න.

වයස 40 ට වඩා වැඩි අය නිතර ව්‍යායාම කරන්නේ නම්, ඔවුන්ගේ සමෙහි පෙනුම, ඔවුන්ගේ වයසින් අඩක් වන පුද්ගලයන්ගේ සමෙහි ස්වභාවයට සමාන වනබව, 2014 වසරේදී ඔන්ටේරියෝහි මැක්මාස්ටර් විශ්ව විද්‍යාලය (McMaster University in Ontario) මගින් සිදුකල පර්යේෂණයකින් තහවුරු වී ඇත. මෙම ප්‍රතිඵල ලබාගැනීම සඳහා, මැරතන් දිවීම හෝ දිනකට පැය ගණනක් යෝග ව්‍යායාම කලයුතු නැත. මධ්‍යම ප්‍රමාණයේ තීව්‍රතාවයකින් යුතු ශාරීරික ක්‍රියාකාරකම් (Moderate-intensity physical activities) වන සෙමෙන් දිවීම, හැල්මේ (වේගයෙන්) ඇවිදීම, බයිසිකල් පැදීම වැනි ව්‍යායාම වලින් එකක් දිනකට විනාඩි 30 ක් බැගින්, සතියකට දින දෙකක් කිරීමෙන් වුවද ප්‍රතිඵල දැකිය හැක.

 

  • පාරේ ගමන්කරන විට සෙවන ඇති පැත්ත තෝරාගන්න.

හිරු එළියෙන් සම ආරක්ෂා කරන ආලේපන (Sunscreen), ඔබේ සමේ පැවැත්මට ප්‍රයෝජනවත් වුවද, එවා මතම විශ්වාසය තබන්න එපා. මක්නිසාද, දවස ගෙවී යද්දී එම ආලේපන ක්‍රමයෙන් සම මතුපිටින් ඉවත් වේ. එළිමහනේ ගමන් කරන විට හෝ කාලය ගෙවන විට, හිරු එළියේ ඇති පාරජම්බුල කිරණ (Ultraviolet rays or UV rays) වලින් ආරක්ෂා වීමට වගබලා ගන්න. හැකි සෑමවිටම, අවු කන්නාඩි සහ හොඳින් ඇඟ ආවරණය වනසේ ඇඳුම් ඇඳීම හා පැළඳීම සිදුකරන්න. එළිමහනේ සිටින විට, හැකි සෑමවිටකම සෙවනක් තෝරාගන්න. විශේෂයෙන්ම, උදෑසන 10 සහ සවස 4 අතර කාලයේදී, හිරු එළියෙන් ආරක්ෂා වීම වඩා උචිතය. මක්නිසාද, මෙම කාලය අතරතුර, වැඩියෙන්ම සම අවපැහැ ගන්වන හා පිළිකා ඇතිවීමේ අවදානම වැඩිකරන පාරජම්බුල B කිරණ (UVB) වල තීව්‍රතාවය වැඩිය. මුහුදු මට්ටමෙන් ඉහළට යත්ම, පාරජම්බුල කිරණ වල තීව්‍රතාවයද ක්‍රමයෙන් වැඩිවන බව සිතට ගන්න. මෙම කිරණ වලින් ඔබේ සම කොතරම් වයස්ගත ස්වභාවයකට පත්කරන්නේදැයි කිවහොත්, හිරු එළියට දිගටම නිරාවරණය වනවිට සමේ ඇති කොලැජන් තන්තු බිඳවැටීම, සම තුනීවීම, සමේ ලප ඇතිවීම, සහ සමේ අක්‍රමවත් ලෙස රුධිර වාහිනී ඇතිවීම නිසා රත්පැහැයක් ගැනීම සිදුවේ.

 

  • හොඳින් ජලය පානය කරන්න.

ඔබ භාවිතා කරන සමේ තෙතමනය ආරක්ෂා කරන ආලේපන (Moisturizer) වල අඩංගු වන්නේ මොනවාදැයි මදක් සොයා බලන්න. බොහොමයක් ආලේපන වල හයලුරොනික් අම්ලය (Hyaluronic acid) අඩංගු වනබව දැකිය හැක. එය, තෙතමනය රඳවාගැනීමට විශේෂ හැකියාවක් ඇති රසායන ද්‍රව්‍යයක් වන අතර, ස්වභාවිකවම ඔබේ සමේ පවතී. ඔබ ආහාර පාන වලින් ගන්නා ජලය සම තුළ රඳවා ගනිමින්, ඔබේ සමට පිරුණු සහ තද ස්වභාවයක් ඇතිකරන්නේ මේ හයලුරොනික් අම්ලයයි.

නමුත්, ඔබ විජලනයට පත්වූ විට, ඔබේ ශරීරයේ පවතින ජලය සමට නොගොස්, අභ්‍යන්තර අවයව පද්ධති කරා ගමන් කරයි. එවිට, සම වියලීම නිසා, සමේ ස්වභාවික පෙනුමට හානි සිදුවේ. එමනිසා, ඔබේ සමට ජලය අවශ්‍ය බව සොයාගන්නේ කෙසේද? පිටි අත්ල හෝ අතේ යටි බාහුව මදක් කොනිත්තා බලන්න. කොනිත්තන විට සමේ හැකිළුණු නැමුම, ක්ෂණිකව අතුරුදන් නොවේ නම්, ඔබ ජලය පානය කිරීම කල යුතුය. ඇල් ජලය පමණක් පානය කිරීමට ඇල්මක් නොමැති නම්, ජලය බහුල පිපිඤ්ඤා, කොමඩු, ගස්ලබු, තක්කාලි, දොඩම් වැනිදේ යොදාගෙන පානයක් සකසාගත හැක.

 

  • සතුටින් සහ සැහැල්ලුවෙන් සිටින්න.

මානසික ආතතිය වැඩිවූ විට, රුධිරයේ කෝටිසෝල් මට්ටම ඉහළ යන බැවින් සමේ කොලැජන් තන්තු වලට හානි සිදුවේ. එවිට, ඉක්මනින් සම වියළීම සහ රැළි වැටීම සිදුවේ. 2013 වසරේ ජීව විද්‍යා ලිපි (Biology letters) වල පළකරන ලද පර්යේෂණයකින් හෙළිවූයේ, ආතති හෝමෝන මට්ටම ඉහළ අගයක් ගන්නා කාන්තාවන්, පිරිමි අයගේ සිත් ඇදගන්නා සුළු නොවන බවය. එමනිසා, මානසික ආතතිය පාලනය කරගැනීම, සමේ පෙනුම රැකගැනීමට වැදගත් වන බව පෙනේ. භාවනා කිරීම, ව්‍යායාම කිරීම, සහ විවේක ගැනීම ආදී උපක්‍රමද මානසික ආතතිය අවම කරගැනීමට ඉවහල් වේ.

 

  • නිතර සමේ ඇති මැරුණු බාහිර කොටස් ඉවත්කරන්න.

සමේ අභ්‍යන්තරයේ ඇති සෛල නිතරම බෙදෙමින් අලුත් සෛල ඇතිකරන බැවින්, සම මතුපිට ඇති මියගිය වයස්ගත වූ සෛල ක්‍රමයෙන් ඉවත් විය යුතුය. නමුත්, බාහිර පරිසරයේ ස්වභාවය අනුව සහ ඔබ ක්‍රමයෙන් වයසට යත්ම, එවැනි සෛල සම්පූර්ණයෙන්ම ඉවත්කිරීමට අමතර උපක්‍රම භාවිතා කිරීමට අවශ්‍ය විය හැක. එමනිසා, සතියකට වරක් හෝ දෙවරක් සම අතුල්ලා මැරුණු සම ඉවත්කිරීම වඩාත් සුදුසුය.

නිව්යෝක් විශ්ව විද්‍යාලයේ, ලැන්ගෝන් වෛද්‍ය මධ්‍යස්ථානයේ (New York University Langone Medical Center) සායනික චර්ම රෝග පිළිබඳ සහාය මහාචාර්ය ඩොරිස් ඩේ (Clinical associate professor of dermatology Doris Day) පවසන ස්වභාවික වට්ටෝරුවකට අනුව, ලුණු, සීනි, මී පැණි, සහ පොල්තෙල් කලවම් කර සාදාගන්නා තලපයක් යොදා මදක් අතුල්ලා සෝදා දැමීමෙන්, සම මතුපිට ඇති මැරුණු සමේ කොටස් සාර්ථකව ඉවත් කරගත හැක. තෙල් සහිත සමකට, මෙම වට්ටෝරුව මදක් ඝනව සහ රළුව සාදාගැනීම සුදුසු වේ.

 

(ඡායාරූප අනුග්‍රහය: tommerton2010)

 

සබැඳි ලිපි:

නියපොතු ලස්සන කරගන්නේ කෙසේද?
කුරුලෑ වලින් රුව රැකගමු!
සමේ පිළිකා ඕනෑම අයෙකුට වැළඳෙන්න පුලුවන්!
කාන්තා ඔබගේ ශරීරයේ අනවශ්‍ය ලෙස රෝම වර්ධනය වෙලාද?
සුවැති කෙස් කලඹක් සඳහා රහස් 20 ක්…
අලුහම් වලින් මිදෙන්නේ කෙසේද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "කාන්තාවන්ගේ රූසපුව රැකගැනීමට ස්වභාවික උපක්‍රම 6 ක්" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*