බෝනොවන රෝග පිළිබඳව සමාජයේ පවතින වැරදි මත කිහිපයක්

බෝනොවන රෝග පිළිබඳව සමාජයේ පවතින වැරදි මත කිහිපයක්

බෝනොවන රෝග (Non-communicable diseases or NCDs) යනු කෙටිකාලීන ආසාදනයක් නිසා ඇති නොවන, දිගුකාලීනව ප්‍රතිකාර ගතයුතු හා සංකූලතා ඇතිකරන රෝග සමූහයකි. මෙවැනි රෝග, එක් පුද්ගලයෙකුගේ සිට තවත් අයෙකුට බෝවීම හෙවත් පැතිරීම සිදුනොවේ. බෝනොවන රෝග සඳහා උදාහරණ ලෙස හෘදයාබාධය, පිළිකා, අංශභාගය හෙවත් ආඝාතය, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම, සහ දියවැඩියාව දැක්විය හැක. බෝනොවන රෝග පිළිබඳව සමාජයේ වැරදි මත ගණනාවක් පවතින අතර, එයින් කිහිපයක් පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සිදුකිරීම මෙම ලිපියෙහි අරමුණයි.

 

අධික රුධිර පීඩනය සහ දියවැඩියාව කාලයක් ප්‍රතිකාර ගන්නා විට සුවවේ.

යම් පුද්ගලයෙකුට දියවැඩියාව වැළඳුනු පසුව, එය සම්පූර්ණයෙන්ම සුවකිරීම කල නොහැකි දෙයකි. රෝගය වැළඳීමෙන් පසුව කලහැක්කේ, දියවැඩියාව පාලනය කිරීම පමණි. ඒ සඳහා නිසි පරිදි ඖෂධ භාවිතා කිරීම, ආහාර පාලනය, සහ ශාරීරික ක්‍රියාකාරකම් කිරීම සිදුකල යුතුය. ප්‍රතිකාර ගන්නා අතරතුර, රුධිරයේ හෝ මුත්‍රාවල සීනි මට්ටම සාමාන්‍ය අගයක් වූ පමණින් දියවැඩියාව සුවවී ඇති බවට නොසිතිය යුතුය. එයින් ගම්‍ය වන්නේ දියවැඩියා රෝගය හොඳින් පාලනය වී ඇතිබව පමණි.

අධික රුධිර පීඩනය ඇති රෝගීන්ගෙන් 95% කට පමණ, එම රෝගය ඇතිවීම සඳහා හේතුවන ද්වීතීයික හේතුවක්, ඔවුන්ගේ සිරුර පරීක්ෂා කිරීමෙන් හෝ පරීක්ෂණ පැවැත්වීමෙන් සොයාගත නොහැක. එවැනි රෝගීන්ගේ අධික රුධිර පීඩනය, රෝගය ඇතිවූ පසු යලි සුවකිරීමට නොහැකිය. එවන් රෝගීන්ට, අධික රුධිර පීඩනය වැළඳීමෙන් පසුව කලහැක්කේ නිසි අයුරින් ඖෂධ ලබාගැනීම, ආහාර පාලනය, සහ ශාරීරික ක්‍රියාකාරකම් සිදුකිරීම මගින් රුධිර පීඩනය පාලනය කිරීම පමණි. ප්‍රතිකාර ගන්නා අතරතුර, රුධිර පීඩනය පහත වැටී සාමාන්‍ය අගයකට පත්වීමෙන්, අධික රුධිර පීඩනය ප්‍රතිකාර මගින් සුවවී ඇතිබව නොසිතිය යුතුය. අධික රුධිර පීඩනය ඇතිවීම සඳහා ශරීරය තුළ පවතින ද්වීතියික හේතුවක් සොයාගත හැක්කේ, අධික රුධිර පීඩනය වැළඳුනු රෝගීන්ගෙන් 5% කගේ පමණි. එවැනි ද්වීතියික හේතූන් සුවකල හැකි තත්ත්වයේ පවතී නම්, ඒවාට නිසි පරිදි පිළියම් යෙදීමෙන් අධික රුධිර පීඩනය සුවකර ගැනීමට ඇතැම්විට හැකියාව ලැබේ.

එබැවින්, දියවැඩියාව හෝ අධික රුධිර පීඩනය වැළඳුනහොත්, ජීවිත කාලය පුරාවටම ප්‍රතිකාර ගැනීමට සිදුවේ.

 

අධික රුධිර පීඩනය, දියවැඩියාව, සහ කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම ඇති රෝගීන්ට කිසිඳු රෝග ලක්ෂණයක් හෝ ශාරීරික අපහසුතාවයක් නැත්නම් ඔවුන් නිරෝගීය.

මෙයද, සාවද්‍ය මතයකි. මෙම රෝග වැළඳුනු රෝගීන්ගෙන් බහුතරයකට කිසිඳු රෝග ලක්ෂණයක් හෝ ශාරීරික අපහසුතාවයක් නොමැතිවීම සාමාන්‍ය ලක්ෂණයකි. ශරීරයට කිසිඳු අපහසුතාවයක් හෝ රෝග ලක්ෂණයක් නොමැති වූ පමණින්, ඔවුන් සම්පූර්ණයෙන්ම නිරෝගී බව නොසිතිය යුතුය. කිසිඳු රෝග ලක්ෂණයක් නොමැතිව වුවද, ශරීරයේ අභ්‍යන්තරයේ එවැනි රෝග ආශ්‍රිතව ඇතිවිය හැකි හෘදයාබාධය, අංශභාගය හෙවත් ආඝාතය, වකුගඩු රෝගය වැනි දරුණු සංකූලතා වැළඳීමට අවශ්‍ය පසුබිම ක්‍රමයෙන් නිර්මාණය වෙමින් පැවතිය හැක. එමනිසා, එවැනි බෝනොවන රෝගයක් වැළඳුනු පසුව, දිගටම නිසි අයුරින් ප්‍රතිකර්ම භාවිතා කරමින් හැකි උපරිමයෙන් රෝගය පාලනය කිරීම කල යුතුය. එවිට, සංකූලතා වැළඳීමට ඇති අවදානම අවම කරගත හැක.

 

බෝනොවන රෝග පාලනය කිරීම සඳහා ඖෂධ භාවිතය පමණක් ප්‍රමාණවත් ය.

බෝනොවන රෝග සඳහා ප්‍රතිකර්ම ලෙස පවතින්නේ ඖෂධ පමණක් නොවේ. ඖෂධ භාවිතය යනු සමස්ථ ප්‍රතිකර්මයෙන් කොටසක් පමණි. ශරීරයේ සෞඛ්‍ය සම්පන්න, ප්‍රශස්ථ බරක් පවත්වා ගැනීම, සෞඛ්‍ය සම්පන්න ලෙස ආහාර ගැනීම, නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් සිදුකිරීම, නිසි කලට වෛද්‍යවරයා හමුවීම හෝ සායනයට සහභාගී වීම, සහ නිසි කලට අදාළ පරීක්ෂණ සිදුකිරීම ආදියද ප්‍රතිකර්ම වලට ඇතුළත් වන අනෙක් කොටස් ය. බෝනොවන රෝගයක් නිසි පරිදි පාලනය කිරීම සඳහා මෙම සියළු සාධක හැකි උපරිමයෙන් භාවිතා කිරීම කල යුතුය. මින් එක් සාධකයක් හෝ මගහැරීමෙන්, අදාළ රෝගය නිසි අයුරින් පාලනය කිරීමට නොහැකි වේ.

 

පිළිකා රෝග වැළඳීම වළක්වා ගැනීම හෝ සුවකිරීම කල නොහැක.

සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීම මගින්, පිළිකා රෝග වලින් තුනෙන් එකක් (1/3) පමණ වැළඳීම වළක්වා ගත හැක. එමෙන්ම, පිළිකා රෝග වලින් 1/2 ක් පමණ මූලික අවස්ථාවේදීම හඳුනාගතහොත්, නිසි ප්‍රතිකර්ම සිදුකිරීම මගින් සම්පූර්ණයෙන්ම සුවකිරීමට හැකියාව ඇත. පිළිකා රෝගයක් වැළඳීමෙන් වැළකීමට සෞඛ්‍ය සම්පන්නව ජීවත් වියයුතු ආකාරය පහත පරිදි දැක්විය හැක.

  • සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර වේලක් ගැනීම.
  • ශරීරයේ බර ප්‍රශස්ථ මට්ටමක පවත්වා ගැනීම.
  • නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් සිදුකිරීම.
  • මත්පැන් පානයෙන් වැළකීම.
  • සක්‍රීය සහ අක්‍රීය දුම්පානයෙන් වැළකීම.
  • දුම්කොළ භාවිතයෙන් වැළකීම.
  • මානසික ආතතිය පාලනය කරගැනීම.

 

(ඡායාරූප අනුග්‍රහය: Fort George G. Meade Public Affairs Office)

 

සබැඳි ලිපි:

සුවදිවි මධ්‍යස්ථාන වෙත ඔබ පියනැගිය යුත්තේ ඇයි?
බෝනොවන රෝග වලින් වැළකීමට ක්‍රියාශීලී වෙමු!
හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම අඩුකර ගන්නේ කෙසේද?
ඔබේ බත්පත කෙසේ සකස් විය යුතුද?
අධික රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ඉඟි 10 ක්…
ඔබගේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්නේ කොහොමද?
දියවැඩියාව පාලනය කිරීමට ඉඟි 10 ක්

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "බෝනොවන රෝග පිළිබඳව සමාජයේ පවතින වැරදි මත කිහිපයක්" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*