විටමින් A ඌණතාවයෙන් මිදී සුවපත් වෙමු.

විටමින් A ඌණතාවයෙන් මිදී සුවපත් වෙමු

විටමින් A යනු ශරීරයට අත්‍යාවශ්‍ය වන මේදයේ දියවන විටමින් වර්ගයකි. අප ලබාගන්නා ශාඛමය සහ සත්ත්වමය ආහාර ඔස්සේ විටමින් A ශරීරයට ලැබේ. කෙසේ වුවත්, ශ්‍රී ලංකාවේ වෙසෙන වයස අවුරුදු 6 ට අඩු දරුවන්ගෙන් තුනෙන් එකක් (1/3) පමණ විටමින් A ඌණතාවයෙන් පෙළෙන බව සොයාගෙන ඇත. එයින් වැඩිම ප්‍රමාණයක් පෙර පාසල් ළමුන් වීම විශේෂ ලක්ෂණයකි.

 

විටමින් A සිරුරට වැදගත් වන්නේ ඇයි?

අපගේ ඇසේ පෙනීම සඳහා ඉතාම වැදගත් වන කොටසක් ලෙස දෘෂ්ටිවිතානය (Retina) හැඳින්විය හැක. එහි ඇති පෙනීම ලබාදීමට වැදගත් වන ස්නායු සෛල වල අඩංගු වර්ණක නිෂ්පාදනය සඳහා විටමින් A අත්‍යාවශ්‍ය සංඝටකයකි. එනම්, විටමින් A යනු පෙනීම ලබාදීම පිනිස ඉතා වැදගත් වන පෝෂ්‍ය පදාර්ථයකි.

රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව හෙවත් ප්‍රතිශක්තිය මනාව පවත්වා ගැනීමට මෙම විටමිනය වැදගත් වේ. එමනිසා, විටමින් A ඌණතාවයෙන් පෙළෙන දරුවෙක් ලෙඩ රෝග වලට ගොදුරුවීමට ඇති හැකියාව වැඩිය. එමෙන්ම, සම, හිසකෙස්, සහ ශරීරයේ ශ්ලේෂ්මල පටල (Mucous membranes) වල නිරෝගීභාවය සඳහා විටමින් A වල ක්‍රියාකාරීත්වය වැදගත් වේ. තවද, විටමින් A, ශරීරය තුළ මුක්ත ඛණ්ඩක (Free radicals) නැමැති අධි ක්‍රියාකාරී අණු විශේෂයක් හටගන්නා අතර, එම අණු වලින් ශරීරයේ සෛල වලට හානි සිදුවේ. එමනිසා, ප්‍රතිඔක්සිකාරක ශරීරයේ සෛල ආරක්ෂා කරයි.’>ප්‍රතිඔක්සිකාරකයක් (Antioxidant) ලෙස ක්‍රියාත්මක වේ. එමනිසා, අපගේ ශරීරය තුළ සිදුවන දහස් ගණනක් වූ පරිවෘත්තීය ප්‍රතික්‍රියා වල අතුරු ප්‍රතිඵලයන් ලෙස නිපදවෙන, ශරීරයේ සෛලවලට හානිකර වූ මුක්ත ඛණ්ඩක (Free radicals) අක්‍රීය කිරීමට විටමින් A වැදගත් වේ.

ශරීරයේ සෛල බෙදීම සහ ඒවා විවිධ පටක වලට අනන්‍ය වූ ලක්ෂණ සහිතව වර්ධනය කිරීම (විශේෂණය) නිසි පරිදි යාමනය කිරීමටද, විටමින් A වල ක්‍රියාකාරීත්වය අත්‍යාවශ්‍ය සාධකයකි.

 

විටමින් A ශරීරයට ලැබෙන ප්‍රධාන ආහාර ප්‍රභවයන් මොනවාද?

  • සත්ත්වමය ආහාර

සත්ත්ව ආහාර වල අඩංගු රෙටිනෝල් ලෙස පවතින විටමින් A පහසුවෙන් ශරීරයට උරාගැනීම විශේෂ ලක්ෂණයකි. මාළු, මස්, කිරි, බිත්තර වැනි සත්ත්වමය ආහාර වල විටමින් A වැඩිපුර අඩංගු වේ.

  • ශාඛමය ආහාර

කහ, තැඹිලි වැනි විවිධ වර්ණ වලින් යුතු එළවළු හා පළතුරු, සහ තද කොළ පැහැති පළා වර්ග වල විටමින් A බහුළව අඩංගු වේ.

 

ළදරුවන්ගේ විටමින් A ඌණතාවය වළක්වා ගැනීමට කළ හැකි දේවල් මොනවාද?

දරුවෙකුගේ බිහිවීමත් සමගම මවගේ පියයුරු වලින් මුලින්ම ශ්‍රාවය වන කොලස්ට්‍රම් හෙවත් මුල් කිරි වල විටමින් A බහුලව අඩංගු වේ. එමනිසා, ළදරුවාට මෙම මුල් කිරි අනිවාර්යයෙන්ම ලබාදිය යුතුවේ. එමෙන්ම, ළදරුවාගේ වයස මාස 6 සම්පූර්ණ වනතුරු මව්කිරි පමණක් ලබාදෙන්න.

ඉන් පසුව, දරුවාට වයස අවුරුදු 2 සම්පූර්ණ වනතෙක් පරිපූරක ආහාර සමග මව්කිරි ලබාදිය හැකියි. පරිපූරක ආහාර පිළියෙල කිරීමේදී, මේදය හෙවත් තෙල් නිසි පරිදි එකතු කිරීමෙන්ද විටමින් A ඌණතාවය වළක්වා ගැනීමට හැකියාව ලැබේ. ළදරුවා රෝගී වූ විටෙක වුවද, මව්කිරි ලබාදීම අඛණ්ඩව සිදුකරන්න. මව්කිරි ලබාදෙන කාලය තුළ, මවගේ ආහාර වලට විටමින් A බහුල ආහාර එකතු කර ගැනීමද ඉතා වැදගත් වේ.

 

විටමින් A ඌණතාවයෙන් වැළකීමට අපට කලහැකි දේවල් මොනවාද?

ආහාර වල විවිධත්වයක් ඇතිකර ගැනීම සහ විටමින් A බහුල ආහාර දිනපතා ආහාරයට එක්කර ගැනීම, විටමින් A ඌණතාවයෙන් මිදීමට කලහැකි වැදගත් ක්‍රියාමාර්ගයකි. එමෙන්ම, විටමින් A යනු මේදයේ දියවන විටමින් වර්ගයක් බැවින්, ශරීරයට හිතකර මේදය අඩංගු ආහාර නිසි ප්‍රමාණ වලින් ලබාගැනීමද කලහැක. ආහාර අධික උෂ්ණත්වයක වැඩි වේලාවක් පිසීමෙන්, එහි අඩංගු විටමින් A විනාශ වීම සිදුවේ. එමනිසා, ආහාර පිසීමේදී, වැඩි උෂ්ණත්වයක ඉක්මනින් පිසගන්න. උදාහරණයක් ලෙස, මැල්ලුම් සෑදීම සඳහා පළා වර්ග යොදාගන්නා විට, වැඩි උෂ්ණත්වයක ඉක්මනින් පිසගැනීම දැක්විය හැක. ආහාර වල පිසීමට පෙර වර්ණය, අවම ප්‍රමාණයකින් වෙනස්වන පරිදි පිසගැනීමෙන්, විටමින් A විනාශ වීම අවම කරගත හැක. හැකි සෑමවිටම, පිසගැනීමෙන් තොරව එළවලු සහ පළතුරු ආහාරයට ගතහැකි ආකාරයට ආහාර සකස්කර ගන්න. උදාහරණයක් වශයෙන්, සලාදයක් සකස්කර ගැනීම දැක්විය හැක.

 

මූලාශ්‍රය : පෝෂණ අංශය, සෞඛ්‍ය අමාත්‍යංශය

(ඡායාරූප අනුග්‍රහය: U.S. Department of Agriculture)

 

සබැඳි ලිපි:

සෞඛ්‍ය සම්පන්න දිවියකට එළවළු සහ පළතුරු
ආහාරයේ ඇති ෆ්ලේවොනොයිඩ වලින් ඇති ප්‍රයෝජන
සුවැති දිවියකට විවිධ වර්ගයේ ආහාර කෑමට ගන්න.
එළවලු සමග සුවැති දිවියක්…

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "විටමින් A ඌණතාවයෙන් මිදී සුවපත් වෙමු." පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*