නිවසේදී ඔබේ කුඩා දරුවා ආරක්ෂා කරගන්නේ කෙසේද?

නිවසේදී ඔබේ කුඩා දරුවා ආරක්ෂා කරගන්නේ කෙසේද

සාමාන්‍යයෙන්, කුඩා දරුවන් ඉතා සක්‍රීය වේ. ඔවුන් වේගයෙන් ඇවිදීමට, දණගෑමට, අවට ඇති දේවල් ඇදීමට, සහ අතට හසුවන දේවල් මුවේ රුවා ගැනීමට පෙළඹීම සාමාන්‍ය දෙයකි. ඒවා, ඔවුන් අවට පරිසරය සහ තම ශරීරය කුතුහලයෙන් යුතුව විමර්ශණය කිරීමට කටයුතු කිරීම නිසා සිදුවන දේවල් ය. මෙහිදී, වැඩිහිටියන් තම දරුවා ගැන සහ නිවසේ පරිසරය පිළිබඳව හොඳ අවධානයකින් පසු නොවුනහොත්, දරුවාට විපතක් හෝ අනතුරක් සිදුවීමට එයම ප්‍රමාණවත් වේ. එමනිසා, නිවසේදී ඔබේ කුඩා දරුවා ආරක්ෂා කරගන්නේ කෙසේදැයි මදක් විමසා බැලීම මෙම ලිපියෙහි අරමුණයි.

  • ශ්‍රී ලංකාව වැනි දිළිඳු ජනතාව බහුලව සිටින රටක, බොහෝ නිවාස වල දර ලිප පවතින්නේ මුළුතැන්ගෙය තුළ ගෙබිම මතය. එවැනි නිවාසයක ජීවත්වන්නේ නම්, කුඩා දරුවාට මුළුතැන්ගෙයට යාමට නොහැකි වන පරිදි ආවරණය කිරීම හෝ සැමවිටම දරුවාට මුළුතැන්ගෙයට යාමට නොහැකි වනසේ අවධානයෙන් පසුවීම වැදගත් වේ. නැතහොත්, ඔබේ ආදරණීය දරුවාට ගින්නෙන් හෝ උණු දියර වලින් අනතුරක් වීමට වැඩි අවදානමක් ඇත.
  • කුප්පි ලාම්පු, චිමිනි ලාම්පු ආදිය දරුවාගේ අත නොගැටෙන සේ ආරක්ෂිතව ඈත්කර තබන්න.
  • දරුවාට මේස රෙද්ද මත එල්ලීමට නොහැකිවන අයුරින්, එහි දාර ඇතුළට නවා තබන්න. එමෙන්ම, දරුවාට ඇදීමට හෝ අතට ගැනීමට නොහැකිවන දුරකින් භාජන සහ වෙනත් ද්‍රව්‍ය මේසය මත ඈතින් තබන්න.
  • ඔබේ දරුවා පුටු, සෝෆා, ඇඳ, මේස, පියගැටපෙළ ආදිය මත අනාරක්ෂිතව නගින්නේද, නැතහොත් ඒවා මත සිට පනින්නට උත්සාහ කරන්නේද යන්න පිළිබඳව සැමවිටම අවධානයෙන් පසුවන්න.
  • කුඩා දරුවාට අනාරක්ෂිත අයුරින් නිවසෙන් එළියට යාමට නොහැකි වනසේ දොරවල් ආවරණය කර තබන්න. එමෙන්ම, ගෙවත්තේ ඇති අනාරක්ෂිත ළිං, අගල්, සහ වළවල් ආරක්ෂිතව ආවරණය කිරීම හෝ වසාදැමීම සිදුකරන්න.
  • රැවුළ කපන රේසර්, කතුරු, පිහි වැනි කැපෙන හෝ ඇනෙන සුළු, තියුණු උපකරණ සහ ආයුධ දරුවාට ගැනීමට නොහැකිවන සේ ආරක්ෂිතව කැබිනට්ටුවක හෝ කබඩ් එකක අගුළු ලා තබන්න. දරුවා ඇඟිලි හෝ ශරීරයේ වෙනත් කොටසක් සිරකරගැනීමට ඉඩ ඇති උපකරණ සහ බර උපකරණ හා ආයුධ ආරක්ෂිතව අගුළු ලා තබන්න.
  • සැමවිටම ශීතකරණ, අල්මාරි, කබඩ් ආදිය වසා අගුළු ලා තබන්න. නැතහොත්, ඔබේ දරුවා ඒවායේ ඇති දේවල් ඇදීම හෝ ඒවා තුළට ඇතුළු වී දොර වසාගැනීම නිසා අනතුරට පත්විය හැක.
  • නිවසේ ඇති නාන කාමරයේ උණු වතුර හීටරයක් ඇත්නම්, සැමවිටම එහි උෂ්ණත්වය යාමනය කරන රෙගියුලේටරය ආරක්ෂිත උෂ්ණත්ව මට්ටමක පවතින්නේදැයි සැලකිලිමත් වන්න. නැතහොත්, දරුවා නාවන විට හෝ ඇඟ සෝදන විට පිළිස්සීමට ලක්වීමට ඉඩ ඇත.
  • නිවසේ ඇති විද්‍යුත් පරිපථය නිසි පරිදි භූගත කර ඇත්දැයි පරීක්ෂාකාරී වන්න. එමෙන්ම, විද්‍යුත් පරිපථයේ ආරක්ෂිත උපාංග නිසි පරිදි ක්‍රියාත්මක වන්නේදැයි, විදුලි කාර්මිකයෙක් ලවා පරීක්ෂා කරගන්න. සියළු පේනු සහ ස්විච දෝෂ රහිත, අබලන් නොවූ ඒවා බවට තහවුරු කරගන්න. දරුවාට ස්පර්ශ කල නොහැකි මට්ටමේ උසකින් නිවසේ පේනු සහ ස්විච සවිකරන්න. එමෙන්ම, නිවසේ විද්‍යුත් පරිපථයේ කිසිඳු ස්ථානයක්, තෙමීමට ලක් නොවන පරිදි තබාගන්න.
  • නිවසේ ගෙබිම, ජලය, තෙල්, හෝ වෙනත් දියර වර්ගයකින් තෙත්ව පැවතීමට ඉඩ තබන්න එපා. එමෙන්ම, දරුවා ලිස්සා හෝ පැටලී ඇදවැටීමට හැකිවන අයුරින් ඉටිකවර, බෑග්, ලණු, වයර් ආදිය බිම තබන්න එපා. ගෙබිම මත, බෙහෙත් පෙති, කරල්, බොත්තම්, පබළු, හෝ දරුවාට තම මුවෙහි, නාසයෙහි, හෝ කණ තුළ රුවාගත හැකි කිසිවක් තිබෙන්නට හරින්න එපා.
  • සැමවිටම, නාන කාමරයේ, වැසිකිලියේ, හෝ දරුවා ඇතුළට ගොස් වසාගැනීමට ඉඩ ඇති කාමරවල දොරවල් ආරක්ෂිතව වසා තබන්න. රෙදි සෝදන යන්ත්‍රයද, භාවිතා නොකරන සැමවිටම ජලය ඉවත්කර ආරක්ෂිතව වසා තබන්න.
  • මදුරු දඟර, මදුරු නාශක දියර අඩංගු භාජන සහ උපකරණ, කෘමීන් පලවාහරින දියර, හෝ වෙනත් ඕනෑම රසායන ද්‍රව්‍යයක් දරුවාට ගැනීමට නොහැකිවන අයුරින් ආරක්ෂිතව තබන්න.
  • නිවසේ කුණු එකතු කරන භාජන දරුවාට ලඟාවිය නොහැකිවන අයුරින් ආරක්ෂිතව තැබීමට කටයුතු කරන්න.
  • ඉස්තිරික්ක, හීටර් ආදී රත්වන විදුලි උපාංග ඇතුළු සෑම විදුලි උපාංගයක්ම දරුවාට ස්පර්ශ කල නොහැකි වනසේ ආරක්ෂිතව තබන්න. එවැනි උපකරණ, භාවිතා නොකරන සෑමවිටම විද්‍යුත් පරිපථයෙන් ගලවා ඉවත්කර තබන්න.
  • මුව සෝදන දියර, වර්ණක, ඖෂධ, සුවඳ විලවුන්, වෙනත් රූපලාවන්‍ය ද්‍රව්‍ය, පිරිසිදු කිරීමට භාවිතා කරන දියර හා කුඩු, සබන්, හෝ වෙනත් ඕනෑම රසායන ද්‍රව්‍යයක් ආරක්ෂිතව කැබිනට්ටුවල හෝ කබඩ් වල අගුළු ලා තබන්න.
  • දරුවාට තනිවම ඔංචිල්ලාව භාවිතා කරන්න ඉඩ දෙන්න එපා. සුළු වැරදීමකින් ගෙල සිරවීමට ඉඩ ඇති බැවින්, වැඩිහිටියෙකුගේ සුපරීක්ෂාව යටතේ සෙල්ලම් කිරීමට ඉඩදෙන්න. එමෙන්ම, එල්ලා වැටෙන ලණු, රෙදි පටි ආදියද ඉවත්කර තබන්න.
  • කිසිඳු විටෙක, කුඩා දරුවන්ට වීදුරු භාජන හෝ වීදුරු උපකරණ අතට හසුවන සේ තබන්න එපා.
  • මිදුලේ සෙල්ලම් කරන විට, ශරීරය හොඳින් ආවරණය වනසේ ඇඳුමක් අන්දවා, පාවහන් පළඳවන්න. මල් පෝච්චි සහ පඳුරු තුළට අත දැමීමට ඉඩ දෙන්න එපා. සැමවිටම, වැඩිහිටියෙක් දරුවා පිළිබඳව සුපරීක්ෂාවෙන් සිටීම වැදගත් වේ.

 

(ඡායාරූප අනුග්‍රහය: Gordon)

 

සබැඳි ලිපි:

දරුවාගේ කැපුම් තුවාළයක් සිදුවුවහොත් කුමක් කලයුතුද?
දරුවාගේ හිසට සිදුවන අනතුරු වලදී කුමක් කල යුතුද?
දරුවාගේ ඇසට අනතුරක් වූ විට කුමක් කල යුතුද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "නිවසේදී ඔබේ කුඩා දරුවා ආරක්ෂා කරගන්නේ කෙසේද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*