ශරීර ස්කන්ධ දර්ශකය අඩුවීමෙන් ඇතිවන සෞඛ්‍ය ගැටළු

ශරීර ස්කන්ධ දර්ශකය අඩුවීමෙන් ඇතිවන සෞඛ්‍ය ගැටළු

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18-59 අතර පිරිසගේ කෘෂ බව හෙවත් අඩු ශරීර ස්කන්ධ දර්ශකය (Body mass index or BMI) පවතින ප්‍රමාණයන් සැලකූ කල, 16.2% ක් පිරිමි අය සහ 14.9% ක් ගැහැණු අය කෘෂ බවෙන් පෙළෙන බව සොයාගෙන ඇත. නමුත්, සමාජයේ බොහෝ දෙනාගේ අවධානය යොමුවී ඇත්තේ, අධිබර (Overweight) හෝ තරබාරු (Obesity) වීම නිසා ඇතිවන සෞඛ්‍ය ගැටළු පිළිබඳ පමණි. එබැවින්, ශරීර ස්කන්ධ දර්ශකය අඩුවීම හෙවත් එහි අගය 18.5 ට වඩා අඩුවීම නිසා ඇතිවන සෞඛ්‍ය ගැටළු පිළිබඳ අවධානය අප අතරින් ගිලිහී ඇත.

ශරීර ස්කන්ධ දර්ශකය අඩු කෙනෙක් තුළ පෝෂණ ඌණතා පැවතීමට යම් ඉඩක් පවතින අතර, එය දෙයාකාරයකට ඇතිවිය හැක. ඉන් පළමු ආකාරයේදී, කෘෂ බවින් පෙළෙන තැනැත්තා, තම ආහාර ඔස්සේ ලබාගන්නා පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය ප්‍රමාණවත් නොවිය හැක. දෙවන ආකාරයේදී, කෘෂ බවින් පෙළෙන තැනැත්තාගේ ශරීරය තුළ ඇමිනෝ අම්ල, විටමින්, සහ ඛණිජ ලවණ වැනි පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය වීම දුර්වල තත්ත්වයක පැවතිය හැක. විටමින් D සහ කැල්සියම් අවශෝෂණය දුර්වල වීමෙන්, ඔස්ටියොපොරෝසිස් තත්ත්වය ඇතිවන අතර, යකඩ අවශෝෂණය අඩුවීමෙන් යකඩ-ඌණ රක්තහීනතාවය (Iron-deficiency anaemia) ඇතිවේ. ප්‍රමාණවත් පරිදි, පෝෂ්‍ය පදාර්ථ නොලැබීම මගින්, කෙස් හැලීයාම සහ මාංශ පේශි කෘෂවීමද සිදුවිය හැක.

නව එංගලන්ත වෛද්‍ය සඟරාව (New England Medical Journal) මගින් පලකරන ලද පර්යේෂණයක් මගින් සොයාගෙන ඇත්තේ, අඩු ශරීර ස්කන්ධ දර්ශකයක් ඇති අයට ශ්වසන පද්ධතියේ රෝග ඇතිවීමට වැඩි අවදානමක් ඇති බවයි. එමෙන්ම, කොරියානු ජාතිකයන් යොදාගෙන කරන ලද තවත් පර්යේෂණයකින්, අඩු ශරීර ස්කන්ධ දර්ශකයක් ඇති අය, ශ්වසන රෝග වලින් මියයාමට වැඩි අවදානමක් ඇතිබව සොයාගෙන ඇත.

කෘෂ බවෙන් පෙළෙන කාන්තාවන්ට, ගර්භණී සමයේ මුල් මාස තුන තුළ ගබ්සා වීමක් ඇතිවීමට 72% ක වැඩි අවදානමක් ඇතිබව, බීජේඕජී: නාරි සහ ප්‍රසව වේදය පිළිබඳ අන්තර්ජාතික සඟරාවක් (BJOG: An international journal of Obstetrics & Gynaecology) මගින් පලකරන ලද පර්යේෂණයකින් තහවුරු වී ඇත. එයට හේතුව ලෙස පර්යේෂකයින් දක්වා ඇත්තේ බර අඩුවීම නිසා ඇතිවන පෝෂණ ඌණතාවයන් ය. කෙසේ වුවත්, වෛද්‍ය උපදෙස් මත දිනපතා ෆෝලික් අම්ලය (Folic acid), යකඩ, සහ වෙනත් විටමින් වර්ග ලබාගන්නා කෘෂ බවෙන් පෙලෙන කාන්තාවන්ගේ ගබ්සා වීමට ඇති අවදානම 50% කින් පමණ අඩුවන බව සොයාගෙන ඇත.

එමෙන්ම, කෘෂ බවෙන් පෙලෙන අයට, දියවැඩියාව වැළඳීමට ඇති අවදානමද, ප්‍රශස්ථ බර ඇති අයට ඇති අවදානමට වඩා වැඩිය. එයට හේතුව, කෘෂ අයගේ ශරීරයේ ඇති මාංශ පේශි ප්‍රමාණය අඩු වීමය. මිනිස් ශරීරයේ, ශක්තිය ලබාගැනීම සඳහා වැඩි වශයෙන් සීනි භාවිතා කරන්නේ මාංශ පේශි මගිනි. ඒ සඳහා, ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය වැදගත් වන අතර, ඉන්සියුලින් හෝමෝනයට බැඳීමට හැකිවන අයුරින් විශේෂිත ප්‍රතිග්‍රාහක අණු (Receptors), මාංශ පේශි සෛල මත පිහිටයි. කෘෂ අයගේ මාංශ පේශි ප්‍රමාණය අඩු බැවින්ද, එමගින් ඉන්සියුලින් ප්‍රතිග්‍රාහක අණු සංඛ්‍යාව අඩුවන බැවින්ද, රුධිරයේ ඇති සීනි පරිභෝජනය කිරීමට ඇති හැකියාව අඩුවේ. එමනිසා, රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑමට වැඩි අවදානමක්, කෘෂ අයට ඇත.

 

(ඡායාරූප අනුග්‍රහය: Skinny Casual Lover)

 

සබැඳි ලිපි:

බර වැඩි කරගැනීමට සෞඛ්‍ය සම්පන්න ක්‍රමයක්
ඔබේ බර වැඩිකරගැනීමට අනුගමනය කලහැකි ඉඟි 10 ක්

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ශරීර ස්කන්ධ දර්ශකය අඩුවීමෙන් ඇතිවන සෞඛ්‍ය ගැටළු" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*