ඇදුම රෝගය (Bronchial Asthma) ගැන දැනගනිමු.

ඇදුම රෝගය (Bronchial Asthma) ගැන දැනගනිමු

ඇදුම රෝගය (Bronchial asthma) යනු පෙනහලු තුළට වාතය ගෙනයන ශ්වාසනාල වල ඇතිවන දිගුකාලීන ප්‍රදාහයකි (Chronic inflammation). එය, ශ්වාසනාල (Airways) වල ඇතිවන අසාත්මිකතාවයක් (Allergy) වශයෙන්ද හැඳින්විය හැක. එමෙන්ම, ඇදුම රෝගය පරම්පරාවෙන්, පරම්පරාවටද ඇතිවිය හැකි රෝගයකි. ඇතැම්විට, පවුලේ එක් අයෙකුට වඩා ඇදුම රෝගයෙන් පීඩා විඳියි නම්, පවුලේ තවත් කෙනෙකුට ඇදුම රෝගය වැළඳීමට අවදානමක් පවතී. කෙසේ වුවත්, ඇදුම රෝගියෙකුගෙන්, නිරෝගී අයෙකුට රෝගය බෝවන්නේ නැත. ඇදුම රෝගය, සුළු රෝග තත්ත්වයක සිට දරුණු රෝග ලක්ෂණ දක්වා පරාසයක වෙනස් විය හැක.

ඇදුම රෝගයේ රෝග ලක්ෂණ

  • කැස්ස, විශේෂයෙන් රාත්‍රී කාලයට ඇතිවේ.
  • හුස්ම ගන්නා විට, පපුවෙන් “රාං රූං” ශබ්දයක් (Wheezing) ඇතිවීම. විශේෂයෙන්, මෙය හුස්ම පිටකරන විට ඇතිවේ.
  • හුස්ම ගැනීමට අපහසුවක් ඇතිවීම. එමනිසා, නිදාගැනීමට අපහසුතා ඇතිවිය හැක.
  • පපුවේ තද ස්වභාවයක්, වේදනාවක්, හෝ පීඩනයක් දැනීම.
  • ශ්වසන පද්ධතියේ ආසාදනයක් ඇතිවූ විට, ඇදුම රෝග ලක්ෂණ උත්සන්න වීම දැකිය හැක.

ඇදුම රෝගයේදී සිදුවන්නේ කුමක්ද?

සාමාන්‍යයෙන්, පෙනහලු තුළට වාතය ගෙනයන නාල පද්ධතියේ ආස්තරණය (Lining) සිනිදු මතුපිටකින් යුක්ත පටකයක් වන අතර, ඒවායේ කිසිඳු අවහිරතාවයක් නොපවතී. එමනිසා, එම නාල පද්ධතිය හරහා පෙනහලු තුළට සහ පෙනහලු වලින් පිටතට බාධාවකින් තොරව වාතය ගමන්කිරීම සිදුවේ.

ඇදුම රෝගය වැළඳුනු විට, පෙනහලු තුලට වාතය ගෙනයන මෙම නාල පද්ධතියේ ඇති ආස්තරණයෙහි ප්‍රදාහයක් ඇතිවී, ඉදිමීමකට ලක්වේ. එවිට, ශ්වාසනාල වල ආස්තරණය මගින්, සාමාන්‍යයෙන් නිපදවන ශ්ලේෂ්මල (Mucus) හෙවත් දියර ප්‍රමාණයට වඩා වැඩි දියර ප්‍රමාණයක් නිපදවයි. කෙසේ වුවත්, මෙවැනි අවස්ථාවකදී වුවද ශ්වාසනාල පද්ධතිය හරහා මද අපහසුතාවයක් සහිතව වාතය ගමන් කරයි. එවිට, කැස්ස, පපුවේ තද ස්වභාවය, රාං රූං ශබ්දය, හුස්ම ගැනීමට අපහසු වීම, සහ වෙහෙසකාරී බව වැනි රෝග ලක්ෂණ ඇතිවේ.

ඇදුම රෝගය උත්සන්න වූ අවස්ථාවකදී, ප්‍රදාහය, ශ්ලේෂ්මල ස්‍රාවය, සහ ශ්වාසනාල බිත්තියේ ඇති සිනිදු පේශි (Smooth muscles) සංකෝචනය තවදුරටත් වර්ධනය වන බැවින්, ශ්වාසනාල වල කුහරය දරුණු ලෙස පටු වීමට මෙන්ම, ඇතැම් විට අවහිර වීමටද ලක්විය හැක. මෙහිදී, ශ්වාසනාල පද්ධතියේ කෙලවර පිහිටි, වාතය හුවමාරුවීම සිදුවන ගර්ත (Alveoli) නැමැති කෝෂ තුළ, වාතය පිටතට යා නොහැකිව සිරවීම සිදුවේ. එවිට, දරුණු ලෙස කැස්ස, රාං රූං ශබ්දය, සහ හුස්ම ගැනීමට අපහසුතාවය ඇතිවේ.

ඇදුම රෝගය උත්සන්න කරන සාධක මොනවාද?

පහත සඳහන් සාධක මගින්, ඇදුම රෝගය උත්සන්න වීම සිදුවේ.

  • නිවසේ සිටින දූවිලි කීඩෑවන් (House dust mites). මොවුන්, කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි, කාපට්, ගෘහ භාණ්ඩ වල කුෂන් හා කවර, ඉස්සොරි කැබලි මත වර්ධනය වේ. නිවස තුළ තෙතමනය වැඩිවිට වැඩිපුර වර්ධනය වේ.
  • සුරතල් සතුන් සහ වෙනත් ගෘහස්ථ සතුන් (සතුන්ගේ හැලෙන ලොම් හා සමේ කැබලි, මුත්‍රා, කෙල, සහ වසුරු)
  • පුස් වර්ග
  • කැරපොත්තන්ගේ වසුරු
  • ගස්, තණකොල ආදියෙහි පරාග
  • වාත දූෂණය, දුම් ආදිය
  • රසායන ද්‍රව්‍ය වල දැඩි ගන්ධය
  • තෙතමනය, සීතල, උණුසුම් පරිසරය, සහ වියලි පරිසර තත්ත්ව
  • දූවිල්ල
  • සක්‍රීය හෝ අක්‍රීය දුම්පානය
  • ශ්වසන පද්ධතියේ ආසාදන
  • අසාත්මිකතාවයන්
  • ඇතැම් විට, ව්‍යායාම කිරීම, ශාරීරික ක්‍රියාකාරකම්, සහ මානසික ආතතිය මගින්
  • ජඨර-අන්නස්‍රෝතස් ප්‍රතිවාහ රෝගය (Gastro-oesophageal reflux disease or GORD) හෙවත් ආමාශයේ ඇති අම්ලය ඉහලට ගමන් කිරීම නිසා බඩ, පපුව දැවිල්ල ඇතිවීම

(ඡායාරූප අනුග්‍රහය: kizzzbeth)

සබැඳි ලිපි:

දරුවාට ඇදුම රෝගය උත්සන්න වුවහොත් කුමක් කළ යුතුද?

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

2 Comments on "ඇදුම රෝගය (Bronchial Asthma) ගැන දැනගනිමු."

  1. හොද ලිපියක්. ප්‍රතිකාරයි වලක්වා ගැනීමට උපදෙස් දැම්මා නම් තවත් හොදයි.

    • වෛද්‍ය නාලක ප්‍රියන්ත | January 13, 2018 at 4:12 pm | Reply

      ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ලිපි පලකිරීමට අදහස් කරනවා.

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*