ඔබ ප්‍රමාණවත් තරම් ජලය පානය කරනවාද?

ඔබ ප්‍රමාණවත් තරම් ජලය පානය කරනවාද?

අපගේ ශරීරයෙන් 70% ක් පමණ සමන්විත වන්නේ ජලයෙන් වන අතර, එය ශරීරයේ පරිවෘත්තීය ප්‍රතික්‍රියා නිසි පරිදි සිදුවීමට අත්‍යාවශ්‍ය සංඝටකයක් වේ. සාමාන්‍යයෙන්, වැඩිහිටියෙක් දිනකට ජලය වීදුරු 6-8 ක් (ලීටර් 1.5-2 ක්) පමණ පානය කල යුතුය. එමනිසා, ජලය පානය කිරීමට පිපාසය දැනෙන තුරු නොසිට, දවස පුරා වරින් වර ජලය පානය කිරීම වඩා උචිත වේ.

ඔබ ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන්නේදැයි බැලීම සඳහා පහත නිර්දේශ අනුගමනය කරන්න. වැඩිහිටියෙක්, දිනකට කොතරම් ජලය පානය කල යුතුදැයි ගණනය කිරීමට මෙම සරළ සූත්‍රය යොදාගත හැක.

දියර ප්‍රමාණය (ලීටර්) = බර (කිලෝග්‍රෑම්)/30

උදාහරණයක් වශයෙන්, ඔබේ බර කිලෝග්‍රෑම් 60 ක් නම්, මෙම සූත්‍රයට අනුව ඔබ දිනකට දියර ලීටර් 2 ක් පානය කල යුතුය.

ඔබේ දරුවාගේ ජල අවශ්‍යතාවය, ඔහුගේ හෝ ඇයගේ ශරීරයේ බර ප්‍රමාණය අනුව වෙනස් වේ. ඔබේ දරුවා දිනකට කොතරම් ජලය ප්‍රමාණයක් පානය කල යුතුදැයි බැලීම සඳහා පහත නිර්දේශයන් අනුගමනය කරන්න.

  • වයස අවුරුදු 1-5: දියර මිලිලීටර් 750-ලීටර් 1
  • වයස අවුරුදු 6-10: දියර ලීටර් 1-1.5
  • වයස අවුරුදු 11-18: දියර ලීටර් 1.5-2

යමෙක් ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන්නේ නම්, ඔහුට හෝ ඇයට පිපාසය නොදැනෙන අතර, පිටවන මුත්‍රා අවර්ණ වේ.

 

වැඩිපුර ජලය පානය කල යුත්තේ කවුරුන්ද?

  • උණුසුම් පරිසරයක ජීවත් වන්නන්
  • උණ රෝගයක් වැළඳුනු රෝගීන්
  • කිරි දෙන මව්වරුන්
  • කය වෙහෙසා වැඩ කරන්නන්
  • ව්‍යායාම හෝ ක්‍රීඩා කරන්නන්

 

ඔබ පානය කරන්නේ පිරිසිදු ජලය බව තහවුරු කරගන්න.

ඔබ භාවිතා කරන ජලය විෂබීජ වලින් මෙන්ම, විවිධ රසායන ද්‍රව්‍ය වලින්ද අපවිත්‍ර වී තිබිය හැක. ස්වභාවික පරිසරයේදී, රසායන ද්‍රව්‍ය මගින් අපවිත්‍ර වීම බහුලවම සිදුවන්නේ ෆ්ලුවොරයිඩ් මගිනි. ෆ්ලුවොරයිඩ් මගින් අපවිත්‍ර වූ ජලය දිගුකාලීනව පානය කිරීමෙන්, අස්ථි සහ දත් දුර්වල වීම සිදුවේ.

ජලය පිරිසිදු නැත්නම්, නටන තුරු රත්කර විනාඩි 5 ක් පමණ නටවා භාවිතයට ගැනීමෙන්, බොහොමයක් විෂබීජ විනාශ වේ. ජලයේ ෆ්ලුවොරයිඩ් සාන්ද්‍රණය වැඩි උතුරු මැද පළාත වැනි ප්‍රදේශ වල ජලය භාවිතා කිරීමට පෙර, ජල සම්පාදන මණ්ඩලය මගින් අනුමත විශේෂිත පෙරණයන් (Filters) මගින් පෙරා භාවිතා කිරීමෙන්, ජලයේ ඇති ෆ්ලුවොරයිඩ් සාන්ද්‍රණය අඩුකරගත හැක. එමෙන්ම, එවැනි ප්‍රදේශ වල ෆ්ලුවොරයිඩ් අඩංගු දන්තාලේප භාවිතයෙන්ද වැළකිය යුතුවේ.

 

ජලය වෙනුවට වෙනත් පානයන් භාවිතා කල හැකිද?

  • පිපාසය සමනය කරගැනීමට හොඳම පානය වන්නේ ජලයයි.
  • කිරි සහ සීනි එකතු නොකරන ලද තේ පානය කිරීම මගින්, ඇතැම් සෞඛ්‍ය ප්‍රතිලාභ හිමිවේ. එයට හේතුව, එමගින් ශරීරයට මුක්ත ඛණ්ඩක (Free radicals) නැමැති අධි ක්‍රියාකාරී අණු විශේෂයක් හටගන්නා අතර, එම අණු වලින් ශරීරයේ සෛල වලට හානි සිදුවේ. එමනිසා, ප්‍රතිඔක්සිකාරක ශරීරයේ සෛල ආරක්ෂා කරයි.’>ප්‍රතිඔක්සිකාරක ලැබීමයි. කෙසේ වුවත්, ප්‍රධාන ආහාර වේලක් ගැනීමට පෙර සහ වහාම පසුව තේ හෝ කෝපි පානය කිරීම නිසා ආහාරයේ ඇති යකඩ අවශෝෂණය අඩුවන බැවින්, එලෙස කිරීමෙන් වැළකිය යුතුවේ.
  • පළතුරු යුෂ පානය කරන්නේ නම්, සීනි එකතු නොකර සහ තන්තු ඉවත් නොකර පානය කල යුතුය.
  • සීනි අධිකව අඩංගු පානයන් මගින්, දිගුකාලීනව ශරීරයේ බර වැඩිවිය හැකි අතර, ආහාර රුචියද අඩුවේ. එවැනි පානයන් වල අඩංගු වන ෆොස්පරික් අම්ලය (Phosphoric acid) හේතුවෙන්, දත් දිරායාම, අසාත්මිකතා (Allergies) ඇතිවීම, සහ ඇදුම රෝගය වැළඳීම හෝ උත්සන්න වීම සිදුවිය හැක. එමනිසා, එවැනි පානයන් පරිභෝජනය කිරීමෙන් හැකිතරම් වැළකීම උචිතය.

 

මත්පැන්

ඇල්කොහොල් අඩංගු පානයන් ඔබේ සෞඛ්‍යයට හිතකර නොවේ. එවැනි පානයන් මගින් අධික රුධිර පීඩනය, සිරෝසිස් (Cirrhosis), ආමාශයේ තුවාළ, සහ ඇතැම් පිළිකා (අක්මාවේ, ගුද මාර්ගයේ, මහා අන්ත්‍රයේ, පියයුරු වල, ගලනාලයේ, උගුරේ, සහ මුඛයේ ඇතිවන පිළිකා) වැළඳීම සිදුවිය හැක. මත්පැන් පානය කරන්නන්ට, එසේ නොකරන්නන්ට වඩා සිරෝසිස් රෝගයට ගොදුරුවීමට හත් ගුණයක අවදානමක් ඇත.

 

මූලාශ්‍රය : පෝෂණ අංශය, සෞඛ්‍ය අමාත්‍යංශය

(ඡායාරූප අනුග්‍රහය: Ben Andreas Harding)

 

සබැඳි ලිපි:

හරිත තේ (Green Tea) ගුණයිද?
නිවැරදිව ලුණු ආහාරයට ගන්නේ කෙසේද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ඔබ ප්‍රමාණවත් තරම් ජලය පානය කරනවාද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*