දරුවාට උණ වලිප්පුව සෑදුන විට කුමක් කරමුද?

උණ වලිප්පුව

උණ තත්ත්වයක් ඇතිවිට වලිප්පුව සෑදීම ඇතැම් කුඩා දරුවන්ගේ දැකිය හැකි ලක්ෂණයකි. සාමාන්‍යයෙන්, මෙසේ ඇතිවන්නේ දරුවාට මාස 6 සිට, අවුරුදු 6 ක් දක්වා ය. මෙම තත්ත්වය වැඩිපුරම දක්නට ලැබෙන්නේ අවුරුද්දත්, අවුරුදු එකහමාරත් අතර දරුවන් අතර ය. මෙසේ ඇතිවන උණ වලිප්පුව, බොහෝවිට පවතින්නේ විනාඩි කිහිපයක් පමණක් වන අතර, ශරීරයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 100.4 (සෙල්සියස් අංශක 38) ට වඩා වැඩිවූ විට හටගනී.

උණ වලිප්පුව සෑදුන විට, දෙමව්පියන් සහ අනෙක් වැඩිහිටියන් බොහෝවිට කලබලයට සහ බියට පත්වන මුත්, සාමාන්‍යයෙන් ඒ සඳහා විශේෂිත ප්‍රතිකාරයක් අවශ්‍ය නොවන අතර, වෙනත් සෞඛ්‍ය ගැටළු ඇතිවීමද සිදුනොවේ. එක්වරක්, උණ වලිප්පුව සෑදුනු පමණින්, දරුවාට අපස්මාරය (Epilepsy) වැළඳේ යැයි හෝ දරුවාගේ මොළයට හානි සිදුවේ යැයි බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නැත.

මෙම තත්ත්වය ප්‍රධාන වශයෙන් ආකාර දෙකකි.

සරළ උණ වලිප්පුව (Simple febrile seizures)

සාමාන්‍යයෙන්, මෙය පවතින්නේ විනාඩි කිහිපයක් වුවත්, ඉතාමත් කලාතුරකින් විනාඩි 15 ක් දක්වා කාලයක් පැවතිය හැක.
මෙහිදී,

  • දරුවාගේ මුළු ශරීරයම ගැහීම හෙවත් වෙව්ලීම සිදුවිය හැක.
  • ඇස් උඩ යෑම සිදුවිය හැක.
  • කෙඳිරියක් පිටවීම හෝ සිහිනැතිවීම සිදුවිය හැක.
  • ඇතැම් විට, වමනය යෑම, මුත්‍රා පහවීම, හෝ මළපහ පිටවීම සිදුවිය හැක.

සංකීර්ණ උණ වලිප්පුව (Complex febrile seizures)

මෙම ආකාරය, විනාඩි 15 කට වඩා පැවතීම හෝ පැය 24 ක් තුළ එක් වරකට වඩා ඇතිවීම සිදුවිය හැක. ඇතැම් විට, ශරීරයේ කොටසක් පමණක් ගැහීම හෝ වෙව්ලීම සිදුවිය හැක.

 

උණ තවදුරටත් පැවතියද, උණ වලිප්පුව සෑදීමෙන් අනතුරුව ඉබේම පහව යයි. ඇතැම් දරුවන්, උණ වලිප්පුව සෑදීමෙන් අනතුරුව නිදිමත ස්වභාවයකින් පසුවිය හැක. අනෙක් දරුවන් තුළ, දිගටම පවතින ලක්ෂණ කිසිවක් ඇති නොවේ.

උණ වලිප්පුව ඇතිවන්නේ ඇයිදැයි යන්න තවමත් අපැහැදිළි කරුණකි. නමුත්, ඇතැම් වෛරස් සහ දරුවාගේ වර්ධනය වන මොළය තද උණ සඳහා ප්‍රතිචාර දක්වන ආකාරය සමග උණ වලිප්පුව සම්බන්ධ බවට සාධක පවතී.

යම් දරුවෙක්ට, උණ වලිප්පුව සෑදුනු ඥාතියෙක් පවුලේ සිටී නම්, ඔහුට හෝ ඇයට උණ වලිප්පුව සෑදීමට අවදානමක් ඇත. එමෙන්ම, එක් වරක් උණ වලිප්පුව සෑදුනු දරුවන් තුන්දෙනෙකුගෙන් එක් අයෙකුට, නැවත වරක් සෑදීම සිදුවේ. බොහෝ විට, එසේ වන්නේ මුලින්ම උණ වලිප්පුව සෑදී වසර 1-2 ක කාලයක් තුළය. වයස මාස 15 ක් වීමට පෙර පළමු උණ වලිප්පුව සෑදුනු දරුවන්ටද, යලි එම තත්ත්වය ඇතිවීමට වැඩි අවදානමක් පවතී. කෙසේ වුවත්, බොහෝ දරුවන්ට වයස අවුරුදු 5 න් පසුව, උණ වලිප්පුව සෑදීම නතර වේ.

උණ වලිප්පුව, අපස්මාර තත්ත්වයක් ලෙස නොසැලකේ. නමුත්, එක් වරක් හෝ උණ වලිප්පුව සෑදුනු දරුවෙක්ට අනාගතයේදී, අපස්මාරය වැළඳීමට කුඩා අවදානමක් ඇත.

 

උණ වලිප්පුව ඇතිවූ විට කුමක් කල යුතුද?

  • එකවරම, කලබල වෙන්න එපා.
  • දරුවා වැටීමට හෝ යමක තදින් වැදීමට ඉඩ නොමැති, ආරක්ෂිත මතුපිටක (ඇඳක හෝ බිම) තබන්න.
  • දරුවා, පැත්තකට හරවා තබන්න. කිසිවිටෙක, උඩුබැලි අතට තබන්න එපා. මෙසේ කිරීමෙන්, දරුවාගේ මුඛයෙන් පිටවන කෙළ හෝ සෙම මගින්, හුස්ම හිරවීම වැළකේ.
  • දරුවාට හුස්ම ගැනීමට අපහසුතාවයක් ඇත්දැයි විමසිලිමත්ව සිටින්න. එසේ කිරීමේදී, දරුවාගේ මුහුණේ ඇතිවන ඕනෑම වර්ණ වෙනසක් පිළිබඳව සැලකිලිමත් වන්න.
  • උණ වලිප්පුව, විනාඩි 5 කට වඩා පවතී නම් හෝ දරුවාගේ ශරීරය නිල් පැහැයට හැරේ නම්, එය දරුණු ආකාරයේ උණ වලිප්පුවක් විය හැක. ඉක්මනින්, දරුවා පැත්තකට හරවා තබාගනිමින්ම ලඟම ඇති රෝහලට ගෙනයන්න.

 

උණ වලිප්පුව ඇතිවිට නොකල යුතු දේවල් මොනවාද?

  • දරුවා වඩාගැනීමට හෝ කෙලින් කිරීමට උත්සාහ කරන්න එපා.
  • දරුවාගේ මුඛයට කිසිවක් ඇතුළුකරන්න එපා.
  • කිසිඳු ඖෂධයක්, ජලය, හෝ වෙනත් දියරයක් පොවන්න උත්සාහ කරන්න එපා.
  • උණ අඩුකිරීම සඳහා දරුවාගේ ශරීරය සීතල හෝ ඇල් ජලයේ ගිල්වීමට උත්සාහ කරන්න එපා.

 

උණ වලිප්පුව සෑදීම අවසන් වූ පසු, උණ ඇතිවීමට හේතුව සොයා ප්‍රතිකාර ආරම්භ කිරීම සඳහා ඔබේ වෛද්‍යවරයා හමුවන්න. වෛද්‍යවරයා, වලිප්පුව සෑදුනු ආකාරය පිළිබඳ විස්තර විමසා, දරුවා පරීක්ෂා කරනු ඇත. බොහෝ විට, උණ වලිප්පුව සඳහා විශේෂිත ප්‍රතිකර්ම අවශ්‍ය නොවේ. ඔබේ දරුවාගේ වයස අවුරුදු එකට අඩුනම්, සහ උණ සමග වමනය හෝ පාචනය වැනි වෙනත් රෝග ලක්ෂණ ඇත්නම්, ඇතැම් විට පරීක්ෂණ කිහිපයක් සිදුකිරීමට නිර්දේශ කරනු ඇත.

උණ පාලනය කිරීම සඳහා, ඔබේ වෛද්‍යවරයා දරුවාට පැරසිටමෝල් (Paracetamol) වැනි ඖෂධයක් නියම කරනු ඇත. මෙවැනි ඖෂධ, දවස පුරා ලබාදීම නිර්දේශ නොකරන අතර, එසේ කිරීමෙන් උණ වලිප්පුව සෑදීම වැළකීමද සිදුනොවේ.

විනාඩි 5 කට වඩා කාලයක් පවතින, උණ වලිප්පුව අවස්ථා එකකට හෝ දෙකකට වඩා වැළඳී ඇත්නම්, ඔබේ දරුවාට ප්‍රති-අපස්මාර ඖෂධ (Anti-seizure medicines) ලබාදීමට අවශ්‍ය වියහැකි බැවින්, ඔබේ වෛද්‍යවරයා දරුවාව විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකරනු ඇත.

ඔබේ දරුවාට පහත සඳහන් ලක්ෂණ එකක් හෝ ඇත්නම්, ඉක්මනින් ලඟම ඇති රෝහලට ගෙනයන්න.

  • උණ වලිප්පුව විනාඩි 5 කට වඩා කාලයක් පැවතීම.
  • ශරීරයේ එක් පැත්තක හෝ එක් කොටසක පමණක් ගැහීම හෝ වෙව්ලීම සිදුවීම.
  • දරුවාගේ සමේ වර්ණය වෙනස්වීම හෝ හුස්ම ගැනීමට අපහසුතාවයක් පෙන්වීම.
  • දරුවා වෙනදාට වඩා උදාසීන ස්වභාවයක් පෙන්වීම.
  • දරුවා සාමාන්‍ය පරිදි ප්‍රතිචාර නොදැක්වීම.
  • උණ වලිප්පුව සෑදීමෙන් පැයකට පසුව, දරුවාගේ හැසිරීම යථා තත්ත්වයට පත් නොවීම.
  • දරුවා විජලනය වූ ස්වභාවයක් පෙන්වීම.
  • පළමු උණ වලිප්පුවට පසුව, පැය 24 ක් තුළ නැවත සෑදීම.

 

ඔබේ දරුවා නිසි අයුරින් එන්නත් කර නොමැති නම් සහ ඔහුට හෝ ඇයට උණ වලිප්පුවක් සෑදුනි නම්, එය ආවෘතිදාහය (Meningitis) නිසා සිදුවීමට විශාල අවදානමක් ඇත. ආවෘතිදාහය යනු මොළය සහ සුෂුම්නාව ආවරණය කරන මෙනින්ජි පටළ (Meninges) වල ආසාදනයක් ඇතිවීම නිසා ඇතිවන ප්‍රදාහයකි. ඔබේ දරුවාට, ගෙල නැවීමට අපහසු වීම, දිගටම වමනය යෑම, නැතහොත් ළදරුවන්ගේ හිසේ තෙල් වල (Anterior fontanelle) ඉදිමී ඇත්නම්, වහාම දරුවා රෝහලකට රැගෙන යන්න.

උණ වලිප්පුව දැකීමට බියජනක දෙයක් වුවත්, එය කුඩා දරුවන් තුළ බහුලව දක්නට ලැබෙන තත්ත්වයක් වන අතර, බොහෝ විට දරුණු රෝගයක ලක්ෂණයක් නොවේ. බොහෝ විට, එය වෙනත් සෞඛ්‍ය ගැටළු හෝ දරුවාගේ වර්ධනයට බලපෑමක් ඇති නොකරයි. සැමවිටම, ඔබේ වෛද්‍යවරයාගෙන් වැඩිදුර විස්තර විමසීමට අමතක නොකරන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: greg westfall)

 

සබැඳි ලිපි:

ඔබේ දරුවාට උණ සෑදුන විට කුමක් කලයුතුද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දරුවාට උණ වලිප්පුව සෑදුන විට කුමක් කරමුද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*