සෞඛ්‍ය සම්පන්න මිනිසුන් අතර ඇති හොඳ පුරුදු

සෞඛ්‍ය සම්පන්න මිනිසුන් අතර ඇති හොඳ පුරුදු

සෞඛ්‍ය සම්පන්න දිවියක් ගෙවන අය අතර, සුවැති දිවියකට හේතුවන ප්‍රබල සාධක හෙවත් හොඳ පුරුදු තිබීම දැකිය හැක. සත්‍ය වශයෙන්ම, එවැනි පුරුදු එකක් වත් රහසක් නොවේ. බොහෝවිට, සෞඛ්‍ය සම්පන්න දිවියකින් අපගමනය වීමට හේතුවන්නේ, ඒවා නොදැන සිටීම නොව, එවැනි හොඳ පුරුදු අපගේ ජීවිතයට එක්කර නොගැනීමයි. එබැවින්, සෞඛ්‍ය සම්පන්න මිනිසුන් අතර ඇති, සුවැති දිවියකට හේතුවන හොඳ පුරුදු මොනවාදැයි විමසා බලා, ඒවා අපගේ ජීවිතයටද එක්කර ගැනීම කලයුතුම දෙයකි.

 

උදෑසන ආහාරය ගැනීම.

බොහෝ අය කාර්යබහුල ජීවිතයක් ගතකරන බැවින්, උදෑසන ආහාරය මගහැරීමට හෝ සුළු ආහාරයකින් ලහි ලහියේ කුස පුරවාගැනීමට කටයුතු කරති. මෙම පුරුද්ද එතරම් සෞඛ්‍ය සම්පන්න දෙයක් නොවේ. හොඳ, සමබර උදෑසන ආහාර වේලක් ගැනීම හේතු ගණනාවක් නිසා වැදගත් වේ. උදෑසන ආහාර වේල මගින්, ඔබේ ශරීරයේ පරිවෘත්තීය ප්‍රතික්‍රියා පණගැන්වීම ආරම්භ වන අතර, දවස පුරා පමණ ඉක්මවා ආහාර ගැනීම සහ සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර වලට යොමුවීම වැළැක්වීමට ප්‍රබල හේතුවක් වේ. එමෙන්ම, උදෑසන ආහාරය ගන්නා වැඩිහිටියන්ට, දවස පුරා සක්‍රීයව සහ කාර්යක්ෂමව වැඩකිරීමට හැකියාව ලැබෙන බවද, උදෑසන ආහාරය ගන්නා දරුවන් සාර්ථකව විභාග සහ පරීක්ෂණ වලට මුහුණ දෙන බවද පර්යේෂණ මගින් තහවුරු වී ඇත. එබැවින්, උදෑසන ආහාර වේල මගහැරීමෙන් වැළකීම වටිනා පුරුද්දක් ලෙස සැලකිය හැක.

 

ආහාර වේල් සැලසුම් කිරීම.

දිනපතා ආහාර වේල් සැලසුම් කිරීමෙන්, දිගුකාලීනව මුදල් මෙන්ම, කාලයද ඉතිරිවීම සිදුවේ. එදිනෙදා ජීවිතය තුළ, ආහාර වේල් සැලසුම් කිරීමටද කුඩා වේලාවක් වෙන්කර ගන්න. එහිදී, ඔබගේ ඉලක්ක, කාර්යයන්, සහ අවශ්‍යතා අනුව කටයුතු කිරීම වැදගත් වේ. ඔබට බර අඩුකරගැනීමට අවශ්‍ය නම්, සීනි, මේදය, සහ පිෂ්ඨය අධික ආහාර ගැනීම අඩුකරන්න. ඒ වෙනුවට, ප්‍රෝටීන්, විටමින්, ඛණිජ ලවණ, තන්තු ආදිය බහුළ ස්වභාවික සහ නැවුම් ආහාර කරා යොමුවන්න. ආහාර වේල් සැලසුම් කිරීමේදී, කුමක් ආහාරයට ගත යුතුද, කුමන වේලාවට ආහාර ගත යුතුද වශයෙන් ඔබ තුළම ස්වයං පාලනය ඇතිවේ.

 

ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම.

හොඳින් ජලය පානය කිරීමෙන්, යහපත් ප්‍රතිඵල ගණනාවක් ඇතිවේ. ඉන් එකක් ලෙස, ශරීරය විජලනය වීමෙන් වැළකීම දැක්විය හැක. එපමණක් නොව, ජලය පානය කිරීමෙන්, ඔබේ බර අඩුකර ගැනීමටද හැකියාව ලැබේ. ජලය පානයට යොමුවීම නිසා, සීනි සහිත පානයන් වෙත යොමුවීමට ඇති නැඹුරුතාවය අඩුවීමෙන්, ස්ථුලභාවය සහ දියවැඩියාව වැළඳීමට ඇති අවදානම අඩුවේ. ඇල් ජලය පානය කිරීමට ප්‍රියමනාප බවක් නැත්නම්, එයට දොඩම්, ලෙමන්, දෙහි, පිපිඤ්ඤා, හෝ කොමඩු යුෂ ස්වල්පයක් කලවම් කරගත හැක.

 

ශාරීරික ක්‍රියාකාරකම් කිරීම.

කෝපි හෝ තේ කෝප්ප හිස්කරමින්, වාඩිවී සිටින්න එපා. ඒ වෙනුවට, නිතර සක්‍රීයව වැඩකරන්න. ව්‍යායාම කරන්න. එය ඔබගේ ශරීරයට මෙන්ම, මනසටද සෞඛ්‍ය සම්පන්න දෙයකි. දවසකට විනාඩි 30 ක් පමණ බැගින්, සතියකට දින පහක් ඇවිදීමෙන්, බොහොමයක් බෝනොවන රෝග ඔබේ දිවියෙන් ඈත්කර තැබීමට හැකියාව ලැබේ. ව්‍යායාම කිරීමට එක දිගට සැලකිය යුතු වේලාවක් වෙන්කිරීමට අපහසු නම්, දිනකට කෙටි කාල සීමාවන් කිහිපයක් ලෙස ව්‍යායාම කලහැක. නැතහොත් අධි-තීව්‍ර විරාම පුහුණු වැඩසටහනක් (High intensity interval training or HIIT) කරන්න.

 

අන්තර්ජාලයට විවේකයක් ලබාදීම.

ඔබ නිතර, විද්‍යුත් තැපෑල (E-mail) සහ මුහුණුපොත (Facebook) වැනි සමාජ ජාල වෙබ් අඩවි නරඹමින් බොහෝ කාලයක් දිනකට වැයකරනවා නම්, අන්තර්ජාලයට මදක් විවේක දෙන්න. දිනපතා, පරිගණකය සහ ජංගම දුරකථනය භාවිතා නොකරන කාලයක් වෙන්කරගන්න. එමගින්, එම කාලය තුළ, ඇවිදීම, පොතක් කියවීම, අන් අයට උදවු කිරීම වැනි වෙනත් කාර්යයන් කිරීමට ඔබට අවකාශ ලැබෙනු ඇත.

 

අලුත් යමක් ඉගෙනගැනීම.

අලුතෙන් යම් කුසලතාවයක් වර්ධනය කරගැනීම, ඔබගේ මොළය සෞඛ්‍ය සම්පන්න කරයි. නර්තනය, චිත්‍ර ඇඳීම, ඡායාරූපකරණය, ලිවීම, වෙනත් භාෂාවක් හැදෑරීම වැනි නව කුසලතාවයක් වැඩිදියුණු කරගැනීමට යොමුවන්න. එමගින්, ඔබ මානසිකව සහ කායිකව වයස්ගතවීම මදක් ප්‍රමාද වනු ඇත. එමෙන්ම, ඔබේ මොළයේ ක්‍රියාකාරීත්වයද වර්ධනය වනු ඇත.

 

දුම්පානයෙන් වැළකීම.

ඔබ දුම්පානය කිරීමට හුරුවී ඇති අයෙක් නම්, එයින් මිදෙන්න. එවිට, ඔබේ ශරීරය නැවත අලුත්වැඩියා කරගනු ඇත. ඔබගේ අන්තිම දුම්වැටියෙන් විනාඩි 20 කට පසු, ඔබේ හෘද ස්පන්දන වේගය සහ රුධිර පීඩනය අඩුවේ. ප්‍රමාද වෙන්න එපා. අදම ඔබේ නරක පුරුද්දට නැවතීමේ තිත තබන්න. අවශ්‍ය නම්, ඒ සඳහා ඔබේ වෛද්‍යවරයාගේ සහාය ඔබට ලබාගත හැක.

 

හොඳින් නිදාගැනීම.

හොඳ නින්දකින් ලැබෙන ප්‍රතිලාභ අතිමහත් ය. හොඳ නින්දකට පසු, ඔබ අවදි වන්නේ නැවුම් මනසක්, තියුණු මතකයක්, සහ හොඳ අවධානයක් සමගිනි. එමගින්, අලුත් දේවල් අධ්‍යයනය කිරීමට හැකියාව ලැබේ. එය, දිගුකාලීනව ඔබ හෘද රෝග වලින් ඈත්කර තබනු ඇත. දිනකට පැය 6-8 ක් පමණ නිදාගැනීමට හුරුවන්න. සෑම දිනකම, එකම වේලාවන් වලට නිදාගැනීමට සහ අවදිවීමට සැලසුම් කරගන්න.

 

මාංශ පේශි පුහුණු කිරීම.

ශක්තිජනක ව්‍යායාම (Strength training) හෙවත් ප්‍රතිරෝධ පුහුණුව (Resistance training) මගින්, ඔබේ ශරීරයේ ඇති අමතර මේදය දහනය කර, මාංශ පේශි වර්ධනය කරයි. එමගින්, ඔබ විවේකයෙන් සිටින විට පවා, අමතර කැලරි ප්‍රමාණයක් දහනය වීම සිදුවේ. එපමණක් නොව, ව්‍යායාම කිරීමෙන් ඔබේ ශරීරය හැඩවන අතර, හෘදය සහ අස්ථි ශක්තිමත් සහ නිරෝගීවීම සිදුවේ. එමනිසා, අවම වශයෙන් සතියකට දෙවරක් වත් ශක්තිජනක ව්‍යායාම හෙවත් ප්‍රතිරෝධ පුහුණුව කරන්න.

 

එළිමහනේ සිටින කාලය වැඩිකිරීම.

විනාඩි කිහිපයක් හිරුඑළිය පතිත වීම, ඔබගේ ශරීරයේ විටමින් D මට්ටම ඉහළ යාමට ප්‍රමාණවත් වන අතර, එමගින් ඔබේ අස්ථි හා හෘදය නිරෝගී වීම සහ මානසික තත්ත්වය වර්ධනය වීම සිදුවේ. එපමණක් නොව, බාහිර පරිසරයේ සිටීම මගින්, ඔබගේ ශරීරය චලනය කිරීමට ඇති ඉඩකඩ වැඩිවේ. එමගින්, ඔබ රූපවාහිනියක් හෝ පරිගණකයක් ඉදිරිපිට අක්‍රීයව ගතකරන කාලය සැලකිය යුතු ලෙස අඩුකරගත හැක. හැකිතරම්, එළිමහනේ සිටීමට නාගරික පරිසරය වෙනුවට ස්වභාවික පරිසරයන් තෝරාගන්න. ස්වභාවික පරිසරයක කාලය ගතකරන අය, නාගරික පරිසරයක කාලය ගතකරන අයට වඩා, සංසුන් සහ තැන්පත් බව පර්යේෂණයක් මගින්ද තහවුරු වී ඇත.

 

සමබරතාවය රැකගැනීම.

ඔබ තරුණ සහ ක්‍රියාශීලී නම්, ශරීරයේ හොඳ සමබරතාවයක් තිබීම අනතුරු අවම කරගැනීමට පිටුවහලක් වනු ඇත. ඔබ වයස්ගත කෙනෙක් වුවද, හොඳ සමබරතාවයක් පවත්වා ගැනීම මගින්, ඇදවැටීමට සහ අස්ථි බිඳීම් වලට ඇති ඉඩකඩ අවම වේ. ඔබගේ වයස කුමක් වුවත්, හොඳ සමබරතාවයක් ඇත්නම්, එයින් ගම්‍ය වන්නේ ඔබේ මාංශ පේශිවල තානය (Tone) හා හෘදය සෞඛ්‍ය සම්පන්න බව සහ ඔබට හොඳ ආත්ම විශ්වාසයක් ඇති බවයි. සමබරතාවය රැකගැනීම සඳහා, නිතිපතා සාමාන්‍ය ව්‍යායාම හෝ යෝග ව්‍යායාම කිරීම කලහැක. නැතහොත්, ඇවිදීම වුවද ප්‍රමාණවත් වේ.

 

මානසික ඒකාග්‍රතාවය හෙවත් සිහිය පවත්වා ගැනීම.

සිහිය පවත්වා ගැනීමට භාවනා කිරීම යොදාගත හැක. මලක් සිඹීම පවා, සිත එකඟ කරගැනීමට හොඳ උපක්‍රමයකි. මනස එකඟ කරගැනීමට ඔබ යොදාගන්නා උපක්‍රමය කුමක් වුවත්, එමගින් මානසික ආතතිය හා ශාරීරික වේදනා සමනය වන අතර, ඔබගේ මානසික මට්ටම වැඩිදියුණු වේ. සති අටක කාලයක් සාමාන්‍ය පරිදි භාවනා කිරීමෙන්, හැඟීම් ඇතිවීම, ඉගෙනගැනීම, සහ මතකය සඳහා අදාළ වන මොළයේ කොටස් වල ක්‍රියාකාරීත්වය වෙනස් වී, වැඩිදියුණු වනබව පර්යේෂණයක් මගින්ද තහවුරු වී ඇත. ඔබ හොඳ මානසික ඒකාග්‍රතාවයක් ඇතිව කරන්නේ නම්, පිඟානක් සේදීම පවා ඔබගේ මානසික සෞඛ්‍යයට යහපත් ප්‍රතිඵල ඇතිකරයි.

 

(ඡායාරූප අනුග්‍රහය: Chris Price)

 

සබැඳි ලිපි:

ඔබේ සෞඛ්‍යය වැඩිදියුණු කරගැනීමට ඉඟි 20 ක්
බොහෝ කල් ජීවත්වෙන්න ඉඟි කිහිපයක්…
යහපත් ජීවන රටාවක් මගින් සුවදායී දිවියක්…
සුවැති දිවියකට අනුගමනය කලයුතු හොඳ පුරුදු 8 ක්
සුවැති දිවියක් සඳහා අනුගමනය කලයුතු කරුණු 4 ක්

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "සෞඛ්‍ය සම්පන්න මිනිසුන් අතර ඇති හොඳ පුරුදු" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*