උළුක්කුවක්, ඇදීමක් සිදුවුවහොත් කලයුත්තේ කුමක්ද?

උළුක්කුවක්, ඇදීමක් සිදුවුවහොත් කලයුත්තේ කුමක්ද?

දෛනික වැඩ කටයුතු කරගෙන යාමේදී, ශරීරයේ උළුක්කුවක් හෝ ඇදීමක් සිදුනොවුන කෙනෙක් සොයාගැනීමට අපහසු තරම්ය. ඒ තරමටම, උළුක්කුව සහ ඇදීම යනු නිතර සිදුවන අනතුරක් වේ. එමනිසා, උළුක්කුවක් හෝ ඇදීමක් සිදුවුවහොත්, ඔබට කලහැක්කේ කුමක්ද යන්න දැනගැනීම වැදගත් වේ. නමුත්, උළුක්කුවෙහි සහ ඇදීමෙහි අර්ථයන්, සිංහල බසින් එකිනෙක මාරුවී යෙදෙන අයුරු දැකිය හැක.

 

උළුක්කුවක් (Sprain) යනු කුමක්ද?

උළුක්කුවක් යනු සන්ධියක ඇති අස්ථි හෙවත් ඇට එකිනෙක සම්බන්ධ කරන අස්ථි බන්ධනි (Ligaments) වලට සිදුවන අනතුරකි. මෙහිදී, අස්ථි බන්ධනි එකක් හෝ කිහිපයක් ඇදීම හෝ ඉරීයාම සිදුවේ.

 

උළුක්කුවක් ඇතිවන්නේ ඇයි?

හේතු කිහිපයක් නිසා උළුක්කුව ඇතිවිය හැක. වැටීම, ඇඹරීම, හෝ යම් සන්ධියකට පහරක් එල්ලවීම මගින් සන්ධියේ ස්වභාවික පිහිටීම වෙනස්වීමෙන්, උළුක්කුව හටගනී. එවිට, අදාළ සන්ධිය අවට ඇති අස්ථි බන්ධනි ඇදීමට ලක්වීම හෝ ඉරීයාම සිදුවේ. පහත සඳහන් අවස්ථා වලදී, උලුක්කු වීමක් සිදුවිය හැක.

  • බිම වැටෙන විට අත් වලින් බිමට වාරුවීම.
  • පාදයේ පැත්තක් මත වැටීම.
  • දණහිස ඇඹරීම.

 

උළුක්කුව, බහුලව සිදුවන ස්ථාන මොනවාද?

උළුක්කුවීම නිතරම සිදුවන ස්ථානයක් ලෙස වළලුකර දැක්විය හැක. ඇතැම්විට, යමෙක් වැටෙන විට දෑත බිම තැබීම මගින්, මැණික්කටුවෙහි උළුක්කුවීමක් ඇතිවිය හැක. ක්‍රීඩා කරන අය අතර, මහපටැඟිල්ල උළුක්කුවීම නිතර දැකිය හැක.

 

උළුක්කු වීමකදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

  • වේදනාව.
  • ඉදිමීම.
  • සන්ධිය රතුවීම හෝ තදපැහැයක් ගැනීම.
  • සන්ධිය චලනය කිරීමට හෝ භාවිතා කිරීමට අපහසුවීම.

ඇතැම්විට, අනතුර සිදුවන අවස්ථාවේදී මද ශබ්දයක් ඇසීම හෝ පටක ඉරීමක් දැනීමද සිදුවිය හැක. උළුක්කුවක ස්වභාවය, සුළු අනතුරක සිට දරුණු තත්වයක් දක්වා පරාසයක වෙනස්විය හැක.

 

ඇදීමක් (Strain) යනු කුමක්ද?

ඇදීමක් යනු, මාංශ පේශියකට හෝ මාංශ පේශියක් අස්ථියකට සම්බන්ධ කරන පේශි කණ්ඩරාවකට (Tendon) සිදුවන අනතුරකි. ඇදීමකදී, මාංශ පේශිය හෝ පේශි කණ්ඩරාව ඇදීම හෝ ඉරීයාම සිදුවේ.

 

ඇදීමක් ඇතිවන්නේ ඇයි?

මාංශ පේශියක් හෝ පේශි කණ්ඩරාවක් ඇඹරීයාම හෝ පමණ ඉක්මවා ආතතියකට ලක්වීම මගින්, ඇදීමක් සිදුවිය හැක. එය ක්ෂණිකව මෙන්ම, දින කිහිපයක් හෝ සති ගණනක් තිස්සේ වර්ධනය විය හැක. ක්ෂණිකව සිදුවන ඇදීමක්, පහත හේතූන් නිසා ඇතිවිය හැක.

  • මෑතකදී සිදුවූ අනතුරක්.
  • වැරදි ආකාරයකට බරක් එසවීම.
  • පමණ ඉක්මවා මාංශ පේශි ආතතියකට ලක්වීම.

දිගින් දිගටම, යම් මාංශ පේශි සහ පේශි කණ්ඩරා සමූහයක් එකම ආකාරයකට භාවිතා කිරීමෙන්, දිගුකාලීනව සිදුවන ඇදීම් ඇතිවනු දැකිය හැක.

 

ඇදීම් බහුලව සිදුවන ස්ථාන මොනවාද?

කොන්ද සහ කලවයේ පිටුපස ප්‍රදේශයේ ඇති හැම්ස්ට්‍රින්ග් (Hamstring) මාංශ පේශි, බහුලව ඇදීමට ලක්වන ස්ථාන වේ. පාපන්දු, රගර්, හොකී, බොක්සිං, මල්ලවපොර වැනි ක්‍රීඩා වලදී, කොන්දේ සහ පාද වල ඇදීම් ඇතිවීමට අවදානම වැඩිවේ. එමෙන්ම, ජිම්නාස්ටික්, ටෙනිස්, ඔරු පැදීම, ගෝල්ෆ් වැනි ක්‍රීඩා වලදී, අත්වල සහ බාහුවල ඇදීම් සිදුවීමට ඇති හැකියාව වැඩිය. ඇතැම්විට, ක්‍රීඩා කරනවිට වැළමිට ආශ්‍රිතව ඇදීම් සිදුවනු දැකිය හැක.

 

ඇදීමකදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

  • වේදනාව
  • මාංශ පේශි තදවීම.
  • මාංශ පේශි දුර්වලවීම.
  • ඉදිමීම.
  • මස් පෙරලීම.
  • අදාළ මාංශ පේශිය චලනය කිරීම අපහසුවීම.

මාංශ පේශිය හෝ පේශි කණ්ඩරාව සම්පූර්ණයෙන්ම ඉරී ගියවිට, දැඩි වේදනාවක් මෙන්ම, චලනය කිරීමට නොහැකි වීමද සිදුවේ.

 

උළුක්කුවකට හෝ ඇදීමකට ප්‍රතිකාර කරන්නේ කෙසේද?

මෙම අනතුරු දෙකටම සිදුකරන ප්‍රතිකර්මයන් සමාන වේ. එමනිසා, වේදනාව සහ ඉදිමීම සමනය කිරීම සඳහා, සාමාන්‍යයෙන් වෛද්‍යවරුන් පහත ප්‍රතිකර්ම නිර්දේශ කරයි.

  • අනතුර සිදුවූ ශරීරයේ කොටසට විවේක ලබාදීම. අනතුර සිදුවී ඇත්තේ දණහිසේ හෝ වළලුකරෙහි නම්, ඇවිදින විට ආධාරකයක් ලෙස සැරයටියක් හෝ කිහිලිකරු භාවිතාකිරීමට උපදෙස් දෙනු ඇත.
  • දිනකට වාර 4-8 ක් පමණ, එක් වරකට විනාඩි 20 ක් බැගින්, අනතුර සිදුවූ ප්‍රදේශය අයිස් වලින් තැවීම.
  • අනතුර සිදුවූ ප්‍රදේශය මදක් තෙරපෙන සේ විශේෂ බැන්ඩේජ්, ප්ලාස්ටර් ඔෆ් පැරිස් බදාමයක්, විශේෂ පා වැසුමක්, හෝ පතුරක් (Splint) යෙදීම. මෙහිදී, වඩා සුදුසු ප්‍රතිකර්මය කුමක්ද සහ කොතරම් පීඩනයක් යෙදිය යුතුද යන්න වෛද්‍යවරයා තීරණය කරනු ඇත.
  • අනතුර සිදුවූ වළලුකර, දණහිස, වැළමිට, හෝ මැණික්කටුව කොට්ටයක් මත තබා මදක් ඔසවා තැබීම.
  • ඔබේ වෛද්‍යවරයා වේදනාව සමනය කිරීම සඳහා වේදනා නාශක ඖෂධ (Pain killers) නියම කරනු ඇත.

වේදනාවට සහ ඉදිමීමට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව, ඔබේ වෛද්‍යවරයා අනතුර සිදුවූ ප්‍රදේශය ආශ්‍රිතව ව්‍යායාම කිරීමට නිර්දේශ කරනු ඇත. එමගින්, අදාළ සන්ධියේ තදවීමක් ඇතිවීම වැළකී, ශක්තිය වැඩිදියුණු වේ. ඇතැම් අයට, භෞතචිකිත්සක ප්‍රතිකාර (Physiotherapy) අවශ්‍ය විය හැක. සාමාන්‍යයෙන්, අනතුර සිදුවූ ප්‍රදේශය ඉලක්ක කර සති කිහිපයක් යනතුරු ව්‍යායාම කිරීම හෝ භෞතචිකිත්සක ප්‍රතිකර්ම කිරීම අවශ්‍ය වේ. යලි සාමාන්‍ය පරිදි වැඩකිරීමට හෝ ක්‍රීඩා කිරීමට හැකිවන්නේ කවදා දැයි ඔබේ වෛද්‍යවරයා හෝ භෞතචිකිත්සකවරයා (Physiotherapist) පවසනු ඇත. මක්නිසාද, නියමිත කාලයට පෙර ශාරීරික ක්‍රියාකාරකම් කිරීම ආරම්භ කලහොත්, අදාළ ප්‍රදේශය යලි අනතුරකට ලක්වනු ඇත.

ඔබට වේදනාකාරී උළුක්කුවක් හෝ ඇදීමක් ඇත්නම්, වෛද්‍යවරයෙක් මුණගැසීම වැදගත් වේ. එමගින්, නිවැරදි ප්‍රතිකර්ම ලබාගැනීමට හැකිවනු ඇත.

 

උළුක්කු වීම සහ ඇදීම වැළැක්විය හැකිද?

පහත සඳහන් ක්‍රියාමාර්ග මගින්, උළුක්කුව සහ ඇදීම වළක්වා ගැනීමට හැකියාව ලැබේ.

  • වෙහෙසකාරී වූ විට සහ ශරීරයේ වේදනාවක් ඇතිවිට, ව්‍යායාම සහ ක්‍රීඩා කිරීමෙන් වළකින්න.
  • මාංශ පේශි ශක්තිමත් වීම සඳහා සමබර, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්න.
  • ඔබේ උසට සරිලන ප්‍රශස්ත සහ සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගන්න.
  • ඇදවැටීම් වලින් හැකිතරම් වැළකෙන්න.
  • හොඳින් ගැලපෙන සපත්තු පළඳින්න.
  • සපත්තු වල අඩිය ගෙවී ඇතිවිට හෝ පැත්තක් ගෙවී ඇතිවිට, අලුත් සපත්තු යුවලක් භාවිතයට ගන්න.
  • දිනපතා ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදෙන්න.
  • යම් ශාරීරික ක්‍රියාකාරකමක් හෝ ක්‍රිඩාවක් කිරීමට පෙර, මනා ශාරීරික යෝග්‍යතාවයකින් සිටීමට වගබලා ගන්න.
  • යම් ක්‍රීඩාවක හෝ ව්‍යායාම වැඩසටහනක යෙදීමට පෙර, නිසිලෙස ශරීරය උණුසුම් කරගැනීම (Warm-up) සහ ඇදීමේ ව්‍යායාම (Stretching exercises) කිරීම සිදුකරන්න.
  • හැකි සෑමවිටම, ක්‍රීඩා කරන විට නියමිත ආරක්ෂිත උපාංග පළඳින්න.
  • හැකි සෑමවිටම, දිවීම සඳහා සමතල මතුපිටක් තෝරාගන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Quinn Dombrowski)

 

සබැඳි ලිපි:

දණහිසේ ආත්‍රයිටිස් වලට ව්‍යායාම මගින් ප්‍රතිකාර
දණහිසේ වේදනාව අඩුකරගැනීමට ඇවිදින්න.
ව්‍යායාම නොකරන විවේක දිනයක් අවශ්‍ය බවට සලකුණු 5ක්
ව්‍යායාම සහ නිතර වේදනා නාශක භාවිතය
ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම කිරීම වැදගත් වන්නේ ඇයි?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "උළුක්කුවක්, ඇදීමක් සිදුවුවහොත් කලයුත්තේ කුමක්ද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*