දරුවාගේ හිසරදය ඔබටත් හිසරදයක්ද?

හිසරදය

සාමාන්‍යයෙන්, හිසරදයක් පවතින්නේ කෙටිකාලයක් වන අතර, එය ඇතිවීමට හේතු ගණනාවක් පැවතිය හැක. ඒ අතර, නිදිවැරීම, ඇස් විඩාවට පත්වීම, මානසික ආතතිය, කෝටර දාහය, හිසට පහරක් වැදීම වැනි හේතූන් පවතී. ඇතැම් විට, හිසරදය වෙනත් රෝග ලක්ෂණ සමග වැඩි වේලාවක් පවතින අවස්ථාද ඇත. ඉතාමත් කලාතුරකින්, හිසරදය යනු, වෙනත් බරපතළ රෝග තත්ත්වයක රෝග ලක්ෂණයක් වියහැක.

 

රෝග ලක්ෂණ

කුඩා දරුවන්ට සහ නවයොවුන් වියේ දරුවන්ට වැළඳෙන හිසරදයේ බහුළතම ආකාර දෙක ලෙස ආතති හිසරදය (Tension headache) සහ ඉරුවාරදය (Migraine) හැඳින්විය හැක.

ආතති හිසරදයේ රෝග ලක්ෂණ

  • හිසේ ඉදිරිපස, දෙපස, සහ පිටුපස හිසේ මිරිකීමක් හෝ පීඩනයක් මෙන් වේදනාවක් හටගැනීම
  • එකම ආකාරයට දිගටම පවතින හිසරදය
  • ක්‍රියාකාරී වීමෙන් හිසරදය උත්සන්න නොවේ.
  • ඔක්කාරය හෝ වමනය සිදුනොවීම.
  • හිස්කබලෙහි මාංශ පේශි, මුහුණ, සහ උරහිස් ස්පර්ශ කරනවිට වේදනාවක් ඇතිවීමට ඉඩ ඇත.

ඉරුවාරදයේ රෝග ලක්ෂණ

  • හිසේ එක පැත්තක හෝ දෙපසම කොටන්නාක් මෙන් හෝ අනින්නාක් මෙන් ඇතිවන වේදනාව.
  • ශරීරයේ ක්ෂණික චලන මගින් හිසරදය උත්සන්න වීම.
  • කරකැවිල්ල.
  • වෙහෙසකර බවක් දැනීම.
  • ඔක්කාරය සහ/හෝ වමනය ඇතිවීම.
  • උදරයේ වේදනාවක් හටගැනීම.
  • ලප හෝ රැස් පෙනීම.
  • ආලෝකයට, ශබ්දයට, සහ/හෝ ගන්ධයට සංවේදීතාවයක් ඇතිවීම.

 

දරුවාගේ හිසරදයට කුමක් කල යුතුද?

දරුවාගේ ඇතිවන බොහොමයක් හිසරදයන්ට, වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන්නේ කලාතුරකිනි. නමුත්, හිසරදය සමනය කිරීම සඳහා පහත උපක්‍රම භාවිතා කලහැක.

  • ආලෝකය සහ ශබ්දය අඩු කාමරයක විවේක ගැනීමට සැලැස්වීම.
  • අවශ්‍ය පරිදි, නියමිත මාත්‍රාවට අනුව පැරසිටමෝල් ලබාදීම.
  • දරුවාගේ නළල හෝ ඇස් ආවරණය වනසේ සිසිල්, තෙත රෙදි කැබැල්ලක් තැබීම.

 

වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවිය යුතු අවස්ථා මොනවාද?

පහත සඳහන් අවස්ථා වලදී, හිසරදය සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට කටයුතු කල යුතුය.

හිසරදය,

  • මසකට වරක් හෝ වැඩි වාර ගණනාවක් ඇතිවීම.
  • ඉක්මනින් හෝ පහසුවෙන් සමනය නොවීම.
  • සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වේදනාවක් ගෙනදීම.
  • දරුවාගේ දෛනික ක්‍රියාකාරකම් වලට බාධාවක් වීම.
  • හිසට පහරක් එල්ලවූ පසු හෝ සිහිය නැතිවීමකට පසු ඇතිවීම.
  • පහත සඳහන් එක් රෝග ලක්ෂණයක් සමග ඇතිවන්නේ නම්,
    • අසාමාන්‍ය ලෙස අවධානය අඩුවීම, නිදිමත ස්වභාවය, හෝ කල්පනාව වෙනස්වීම
    • උණ හෝ දිගටම පවතින වමනය
    • වලිප්පුව
    • පෙනීම වෙනස්වීම
    • ශරීරයේ පණනැති ස්වභාවයක් ඇතිවීම
    • සමේ පලු හටගැනීම
    • ගෙලෙහි වේදනාව හෝ තද ස්වභාවය

 

හිසරදය වළක්වාගන්නේ කෙසේද?

ඇතැම් ආකාරයේ හිසරදයන් හටගැනීම වළක්වාගත හැක. ඒ සඳහා, හිසරදය ඇතිවීමට හේතුවිය හැකි නිදිවැරීම, ඇතැම් ඖෂධ, ප්‍රමාණවත් පරිදි දියර පානය නොකිරීම, සහ දිගු වේලාවක් රූපවාහිනිය හෝ පරිගණකය නැරඹීම වැනි දේවල් වලින් වැළකී සිටිය හැක.

 

(ඡායාරූප අනුග්‍රහය: Melissa Wiese)

 

සබැඳි ලිපි:

දරුවාගේ හිසට සිදුවන අනතුරු වලදී කුමක් කල යුතුද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දරුවාගේ හිසරදය ඔබටත් හිසරදයක්ද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*