ඔබේ ගෙවත්තේ එළවළු සහ පළතුරු වැවීමේ වාසි සහ අවාසි

ඔබේ ගෙවත්තේ එළවළු සහ පළතුරු වැවීමේ වාසි සහ අවාසි

සමාජයේ වෙසෙන බොහොමයක් අය, තමන්ගේ ගෙවත්තේ කුමක් හෝ වැවීමට පුරුදුව සිටිනවා. ගෙවත්තේ වැවීමට භාවිතා කරන ශාඛ අතර එළවළු, පළතුරු, මල් වර්ග, සහ වෙනත් විසිතුරු පැළෑටි දැකිය හැකියි. නමුත්, ඒ සඳහා කිසිඳු උනන්දුවක් නොදක්වන පිරිසකුත් අප අතර සිටිනවා. අප මේ ලිපියෙන් පැහැදිලි කරන්නට සූදානම් වෙන්නේ, ඔබේ ගෙවත්තේ එළවළු සහ පළතුරු වැවීමේ වාසි සහ අවාසි පිළිබඳවයි.

 

පාරිසරික වාසි

ඔබේ ගෙවත්තේම, ඔබට හැකි අයුරින් එළවළු සහ පළතුරු භෝග කිහිපයක් වවන විට, නිෂ්පාදනයට සාපේක්ෂව වැයවන ශක්ති ප්‍රමාණය බොහෝවිට අඩුවේ. එමෙන්ම, අසුරා තැබීමට, ගබඩා කිරීමට, හෝ ප්‍රවාහනය කිරීමට විශාල ඉඩක් වැය නොවන අතර, ඒ සඳහා අමුද්‍රව්‍ය වැයවීමත් ඉතාම අඩුය. ඔබම වවන විට, පරිසරයට හානිකර වන කෘතිම පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී, කාබනික පොහොර යොදාගැනීම සහ රසායන ද්‍රව්‍ය වලින් තොර පළිබෝධ පාලනය මගින්, පරිසර හිතකාමී වගාවක් ඇතිකරගත හැකියි. වෙළඳපොලේ ඇති කෘෂි රසායන ද්‍රව්‍ය සහිත එළවළු සහ පළතුරු වෙනුවට, සෞඛ්‍යාරක්ෂිත විකල්පයක් ලෙස ගෙවතු වගාව දැක්විය හැක.

 

සෞඛ්‍යමය වාසි

දිනපතා ඔබේ ගෙවත්තේ වැඩකිරීම යනු, මධ්‍යම ප්‍රමාණයේ තීව්‍රතාවයකින් යුතු ශාරීරික ක්‍රියාකාරකමක් (Moderate intensity physical activity) වේ. එමගින්, ඔබේ අමතර මේද දහනය, මාංශ පේශි වර්ධනය, සහ ශාරීරික ක්‍රියාකාරීත්වය වැඩිදියුණු වීම වැනි වාසි රැසක් හිමිවේ. තමා විසින්ම වගාකර ගන්නා අය, තන්තු, විටමින් හා ඛණිජ ලවණ, මුක්ත ඛණ්ඩක (Free radicals) නැමැති අධි ක්‍රියාකාරී අණු විශේෂයක් හටගන්නා අතර, එම අණු වලින් ශරීරයේ සෛල වලට හානි සිදුවේ. එමනිසා, ප්‍රතිඔක්සිකාරක ශරීරයේ සෛල ආරක්ෂා කරයි.’>ප්‍රතිඔක්සිකාරක (Antioxidants) වැනි සෞඛ්‍ය සම්පන්න පෝෂක සංඝටක බහුල, නැවුම් ආහාර ගැනීමට නැඹුරුතාවයක් දැක්වීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. එමෙන්ම, තම ගෙවත්තේම වගාකර ගන්නා අය, කෘතිම විෂ රසායන ද්‍රව්‍ය වලට නිරාවරණය වන ප්‍රමාණයද ඉතා අවම වේ. ගෙවතු වගාව මගින්, මානසික සෞඛ්‍ය වර්ධනය වීමද, සැලකිය යුතු සෞඛ්‍යමය ප්‍රතිලාභයකි.

 

මූල්‍යමය වාසි සහ අවාසි

බොහෝවිට, ගෙවතු වගාව මගින් මුදල් ඉතිරියක් සිදුවේ. නමුත්, එය එසේ නොවන අවස්ථාද ඇතිවිය හැක. ඇතැම් බීජ වර්ග, කාබනික පොහොර, සහ උපකරණ අප සිතනවාටත් වඩා මිළ අධික වන අවස්ථාද පවතී. කෙසේ වුවත්, මූලික වියදම් වලින් පසුව, දිගටම ඔබේ ගෙවත්තේ වගා කිරීමෙන්, ක්‍රමයෙන් මූල්‍යමය වාසි වර්ධනය වන බව ඔබටම වැටහෙනු ඇත.

 

අස්වැන්නට සිදුවිය හැකි හානි

ඇතැම් විට, පළිබෝධකයන්, වල් පැලෑටි, රෝග, සහ වෙනත් සතුන් නිසා අනපේක්ෂිත ලෙස ඔබේ අස්වැන්නට හානි සිදුවිය හැක. නමුත්, එවැනි තත්ත්වයන් මැඩපැවැත්වීම සඳහා කෘතිම කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතා කලහොත්, පරිසරයට හානි සිදුවීම මෙන්ම, දිගුකාලීන සෞඛ්‍ය ගැටළු ඇතිවීමද සිදුවිය හැක. මෙහිදී, ඔබේ භෝග වගාව පිළිබඳ හොඳ අවධානයකින් පසුවීම, නිසි කලට කාබනික පොහොර යෙදීම, ස්වාභාවික පළිබෝධ මර්ධන ක්‍රම භාවිතා කිරීම වැනි උපක්‍රම මගින්, අස්වැන්නට සිදුවන හානි අවම කරගත හැක.

 

කාලය වැයවීම

කුමන ක්‍රමෝපායයන් භාවිතා කලද, ගෙවතු වගාවට සැලකිය යුතු කාලයක් වැයවීම වැළැක්විය නොහැක. ඇතැම් විට, වැයකල කාලයට සාපේක්ෂව, ලැබෙන අස්වැන්න ප්‍රමාණවත් නොවුනහොත්, ඕනෑම අයෙක් මන්දෝත්සාහී වීම සාමාන්‍ය දෙයකි.

කෙසේ වුවත්, ගෙවතු වගාව විනෝදාංශක් ලෙස කලහොත්, වාසි බොහොමයක් අත්වනු නොඅනුමානය. ඒ සඳහා විශාල ගෙවත්තක් තිබීම අත්‍යාවශ්‍ය දෙයක් නොවේ. එය, කුඩා ගෙවත්තක වුවද ආරම්භ කලහැක. ඇතැම් විට, මල් පෝච්චි කිහිපයක් වුවද, ගෙවතු වගාවක් ආරම්භ කිරීමට සෑහේ.

 

(ඡායාරූප අනුග්‍රහය: Mark)

 

සබැඳි ලිපි:

සරල ලෙස ජීවත්වන්නේ කෙසේද?
යහපත් ජීවන රටාවක් මගින් සුවදායී දිවියක්…

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ඔබේ ගෙවත්තේ එළවළු සහ පළතුරු වැවීමේ වාසි සහ අවාසි" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*