බර අඩුකරගැනීමට සරළ ඉඟි 3 ක් අනුගමනය කරමු.

බර අඩුකරගැනීමට සරළ ඉඟි 3 ක් අනුගමනය කරමු.

තම ශරීරයේ බර අඩුකරගැනීමට බළාපොරොත්තු වන බොහොමයක් අයගේ තිබෙන වැරදි ආකල්පයක් නම්, බර අඩුකරගැනීම සඳහා ජීවන රටාවේ විශාල වෙනස්කම් කලයුතු බවය. ඇතැම් අය ඒ සඳහා, සංකීර්ණ ව්‍යායාම වැඩසටහනකට යොමුවීමට, ව්‍යායාම ශාලාවකට (Gymnasium) සම්බන්ධ වීමට, හෝ ආහාර රටාවේ සංකීර්ණ වෙනස්කම් කිරීමට අවශ්‍ය යැයි සිතයි. එවැනි දේවල් කරා යොමුවීමේ වරදක් නොපෙනුනත්, ගැටළුව වන්නේ බොහෝ අයට එය දිගටම කරගෙන යාමට අපහසු වීමයි. නමුත්, බර අඩුකරගැනීම සඳහා එවැනි විශාල වෙනස්කම් ඔබේ ජීවන රටාව තුළ ඇතිකරගැනීම තවදුරටත් අත්‍යාවශ්‍ය කාරණයක් නොවේ.

ඔබේ බර අඩුකරගැනීම සඳහා කලයුතු මූලිකම දෙය වන්නේ, ක්‍රමයෙන් ඔබේ ජීවන රටාවට, කුඩා සහ සරළ වෙනස්කම් කිහිපයක් එකතු කරගැනීම පමණි. මෙහිදී, ඔබේ ජීවිතයේ සැලකිය යුතු වෙනසක් මෙන්ම, ඔබේ සෞඛ්‍ය තත්ත්වයේ වැඩිදියුණු වීමක්ද දැකිය හැක. එබැවින්, ඔබේ දිවියේ විශාල වෙනස්කම් කිහිපයක් ඇතිකරගෙන ඒවා පවත්වාගෙන යාම අපහසු නම්, අනුගමනය කලයුතු හොඳම ක්‍රමය වන්නේ, දිගටම පවත්වා ගැනීම අපහසු නොවන, කුඩා වෙනස්කම් කිහිපයක් ඔබේ දිවියට එකතුකර ගැනීමයි. එවිට, ඔබ අසාර්ථක වීමට ඇති හැකියාව අවම වන අතර, මානසික ආතතියක් නොමැතිව සෙමෙන් ඔබේ ඉලක්කය කරා ලඟාවීම පහසු වේ.

ඔබගේ බර අඩුකරගැනීමේ සැලසුමට එක්කරගත හැකි සරළ උපක්‍රම 3 ක් මෙසේ සඳහන් කල හැක.

 

  • වෙනදාට වඩා විනාඩි 15 ක් කලින් නිදාගන්න.

මෙය තරමක් විහිළු සහගත ඉඟියක් ලෙස ඔබට සිතෙනවා නම්, එය පුදුමයක් නොවේ. මදක් වැඩිපුර නිදාගැනීමෙන් බර අඩුවෙන්නේ කොහොමද? මේ ප්‍රශ්නය ඔබට පැනනගිනු නොඅනුමානය. ඔබගේ කුසගින්න පාලනය කරන හෝමෝන දෙකක් වන ලෙප්ටින් (Leptin) සහ ග්‍රෙලින් (Ghrelin) ශ්‍රාවය වීම මූලික වශයෙන්ම පාලනය වන්නේ නින්ද මගිනි. ඔබගේ නින්ද ප්‍රමානවත් නොවේ නම්, දවස පුරා ඔබට නිතර කුසගිනි දැනෙන අතර, පිෂ්ඨය අධික ආහාර වලට ඇති රුචියද, සැලකිය යුතු ලෙස ඉහළ යයි. ඔබ ප්‍රමාණවත් නින්දක් ලබාගත්විට, මෙම හෝමෝන දෙක ශ්‍රාවය වීම මෙන්ම, ඔබේ කුසගින්නද යම් පාලනයකට යටත් වේ. එමනිසා, ප්‍රථමයෙන් වෙනදාට වඩා විනාඩි 15 ක් කලින් නින්දට යෑමට උත්සාහ කරන්න. එයට කාලයත් සමග හුරුවූ විට, තවත් විනාඩි 15 ක් ඔබේ නින්දට එක්කර ගන්න.

 

  • ඔබේ පානයන් වලින් ලැබෙන සීනි ප්‍රමාණය අවම කරන්න.

අප සිසිල් බීම වලට යම් ප්‍රියතාවයක් දැක්වීම ස්වභාවිකය. වෙළඳපොලේ ඇති ඇතැම් සිසිල්බීම සහ පැණිබීම වල, සීනි වලට අමතරව රසකාරක ලෙස ඇස්පාටේම් (Aspartame) හෝ සුක්‍රලෝස් (Sucralose) අඩංගු වේ. මෙම රසකාරක දෙකට, ඔබේ ආහාර රුචිය වැඩිකිරීමට හැකිබව ඔබ දන්නවාද? එබැවින්, හැකිතරම් සිසිල්බීම සහ පැණිබීම පානය කිරීමෙන් වළකින්න.

සැමවිටම, වෙළඳපොලෙන් මිළදී ගන්නා පානයන් වල අඩංගු සීනි ප්‍රමාණයන් පිළිබඳව අවබෝධයකින් සිටීම වැදගත් වේ. එමෙන්ම, තේ, කෝපි, හෝ කිරි වැනි පානයන් නිවසේදී සකස්කර ගැනීමේදී, එකතුකරන සීනි ප්‍රමාණයන් පිළිබඳව සැලකිලිමත් වන්න. දියවැඩියාව නොමැති වැඩිහිටියෙක්ට වුවද, දිනකට පරිභෝජනය කලහැක්කේ කපාපු සීනි තේ හැඳි හයක් පමණක් බව සිතට ගන්න.

 

  • සෑම ආහාර වේලකටම ප්‍රෝටීන් එකතුකර ගන්න.

ප්‍රෝටීන් යනු, බර අඩුකරගැනීමට අත්‍යාවශ්‍ය සාධකයකි. උදෑසන ආහාරයට, අවම වශයෙන් ප්‍රෝටීන් ග්‍රෑම් 30 ක් එක්කර ගැනීම හොඳ ආරම්භයකි. මක්නිසාද, එය දවස පුරා කුසගින්න ඇතිවීම මෙන්ම, ආහාර වලට ඇති රුචියද අඩුකිරීමට සමත්ය. එමෙන්ම, ප්‍රෝටීන් මගින් ශරීරයේ මාංශ පේශි වර්ධනය වීමද සිදුවන බැවින්, ශරීරයේ ඇති අමතර මේදය දහනය වීමේ ක්‍රියාවලිය මදක් වේගවත්වීම සිදුවේ.

ආහාර ගැනීමේ රටාවේ විශාල වෙනස්කම් ඇතිකරගැනීමෙන් තොරව, මෙවැනි කුඩා සහ සරළ වෙනස්කම් කිහිපයක් ඇතිකිරීමෙන්, ක්‍රමයෙන් ධනාත්මක ප්‍රතිඵල ලබාගැනීමට හැකියාව ලැබේ. එවිට, වැඩිපුර බර අඩුකරගැනීමට හැකි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටද, ඔබ තුළ හොඳ පෙළඹවීමක් හටගනු ඇත.

 

(ඡායාරූප අනුග්‍රහය: Magnus D)

 

සබැඳි ලිපි:

බර අඩුකරගැනීම පහසු කරවන ඉඟි 10 ක්
බර අඩුකරගැනීම පිළිබඳ වැරදි මත 10 ක්
බර පාලනය කිරීමට අප උනන්දු නොවන්නේ ඇයි?
ශරීරයේ බර අඩු කරගැනීමට සරල සැලසුමක්

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "බර අඩුකරගැනීමට සරළ ඉඟි 3 ක් අනුගමනය කරමු." පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*